අත උස්‌සා හිස පීරා ගන්න බැරිද
කොණ්‌ඩය ගැට ගසා ගන්න අපහසුද

උරහිස එසවීම සහ උරහිස සහිතව අත එහා මෙහා කිරීමේ තදබල වේදනාවකින් පෙළෙන පිරිසක්‌ සිටී. එම තත්ත්වය ෆ්රෝසන් ෂෝල්ඩර් (Frozen Shoulder) නමින් හඳුන්වනු ලැබේ.

මෙම තත්ත්වය බහුලව ඇති වන්නේ වයස අවුරුදු 40 වැඩි වයසක අයටයි. අවුරුදු 40 අඩු වයසේදී ඇති වීමේ හැකියාව අඩුය.

මෙම තත්ත්වය ඇති වීමට හේතු ගණනාවක්‌ තිබේ. දියවැඩියා රෝගී තත්ත්වය නිසා ෆ්රෝසන් ෂෝල්ඩර් තත්ත්වය ඇති වන අවස්‌ථා තිබේ.

උරහිසේ මාංශ පේශි සහ කාටිලේජ ඝන වීම නිසා මෙම තත්ත්වය ඇති වන බව පෙනේ. උරහිසේ මාංශ පේශි සහ කාටිලේජ ඝන වීම නිසාවෙන් අත ඉහළට එසවීම, අත පැත්තට පිටුපසට ගැනීමේදී අධික වේදනාවක්‌ පීඩාවක්‌ දැනෙන්නට ගනී.

මෙවැනි අවස්‌ථාවකදී කොණ්‌ඩය පීරා ගැනීමට, කොණ්‌ඩය බැඳ ගැනීමට පවා නොහැකි වනු ඇත. අත උස්‌සා කොණ්‌ඩය බැඳ ගැනීම ට නොහැකි බවට මැසිවිලි නඟන බොහෝ කාන්තාවන් ෆ්රෝසන් ෂෝල්ඩර් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පෙනේ.

මෙම තත්ත්වය කාන්තාවන්ට පමණක්‌ නොව කාන්තා පිරිමි යන දෙපිරිසටම ඇති විය හැක.

රෝගය අනුව රාත්‍රියේදී වේදනාව වැඩි වේ. එයට හේතුව රාත්‍රියේදී පරිසරයෙහි පවතින සීතල ඒ සඳහා හේතුවක්‌ වීමයි. වේදනාව ඇති වීමට වාතය ප්‍රධාන බව පිළිගැනේ. වාත වර්ධක හේතුවක්‌aaaa ලෙසට සීතල බලපෑම හමුවේ වේදනාව අධික වනු ඇත.

මෙම රෝගී තත්ත්වය සඳහා ආහාර පානවල බලපෑමක්‌ තිබීමට පුළුවන. දියවැඩියා රෝගියකුට මෙම රෝග තත්ත්වය තිබේ නම් නුසුදුසු ආහාර පාන ගැනීමේදී රෝගය වැඩි වීමට එම ආහාර පාන හේතුවක්‌ වන අවස්‌ථා තිබේ. දියවැඩියා රෝගීන් මෙම රෝග තත්ත්වයෙන් පීඩා විඳීමේදී ඇති වන වේදනාව අධික වන අවස්‌ථා බොහෝ බහුල වේ.

වේදනාව උරහිසේ වේදනාව සමඟ අත දිගට වැලමිට දක්‌වා පැතිරී යන තත්ත්වයක්‌ තිබේ. මාංශ පේශි ඇල්ලීමේදී තද කිරීමේදී වේදනාවක්‌ ඇති වේ.

ෆ්රෝසන් ෂෝල්ඩර් සහ ස්‌නායු තෙරපුමක්‌ අතර වෙනස එයයි. ස්‌නායු තෙරපුමකදී මාංශ පේශි ඇල්ලීමේදී, තද කිරීමේදී වේදනාවක්‌ දැනෙන්නේ නැත. තවද ස්‌නායු තෙරපුමකදී උරහිස එසවීමේද හැකියාව තිබේ.

ෆ්aරෝසන් ෂෝල්ඩර්හිදී උරහිස සිට උරහිස්‌ පත්ත දක්‌වා වේදනාව ඇති වේ. එහෙත් බෙල්ල හරවන්න බැරි තත්ත්වයක්‌ ඇති වන්නේ කලාතුරකිනි.

මෙහිදී මුලින්ම සන්ධියේ තද ගතිය නැති වීමට තෙල් වර්ග ආලේප කර සම්භාහනය කරනු ලැබේ. සම්භාහනයෙන් පසු තැවීම් සිදු කරයි. ඖෂධීය පොට්‌ටනිවලින් තැවීම සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි. එමඟින් මාංශ පේශි සහ පටක ලිහිල් වීමක්‌ සිදු වෙයි.

ප්‍රතිකාර ක්‍රම හමුවේ හානි වී ඇති පටක සහ මාංශ පේශි ලිහිල් වෙයි. හානි වී ඇති කාටිලේජ නැවත යථා තත්ත්වයට පත් කිරීම මේ අනුව සිදු වේ.

තවද තිබෙන කාටිලේජ ආරක්‌ෂා කිරීම සඳහාද ප්‍රතිකාර ක්‍රම ලබා දෙයි.

සන්ධි ප්‍රාවරයේ ඇති දියර ගතිය නැතිව යැමේදී සන්ධිය වියළෙයි. වැටීමකදී සිදු වන උරහිස්‌ සන්ධියට පෝෂණය ගෙන එන රුධිර නාලවල අවහිරතාවයක්‌ නිසා මෙම තත්ත්වය ඇති වීමේ හැකියාව තිබේ. රෝග තත්ත්වයට හේතුව වෛද්‍යවරයා විසින් ප්‍රවේශමින් සොයා ගත යුතු වෙයි.

අධික දියවැඩියාව නම් රුධිරයෙන් ලැබෙන පෝෂණය නියම ලෙස ලැබෙන්නේ නැති නිසා මෙම තත්ත්වය ඇති වන අවස්‌ථා තිබේ.

මෙම රෝගී අවස්‌ථාවේදී සාමාන්‍ය රෝගයකට වඩා එහා ගිය වේදනාවක්‌ දැනේ. වේදනාව පහව ගොස්‌ අත එසවීම සඳහා මාසයක්‌ වැනි කාලයක්‌ දිගටම ප්‍රතිකාර කළ යුතුය.

මෙවැනි අවස්‌ථාවක කැල්සියම් අධික ආහාර නොගත යුතුය. සන්ධි පෝෂක ආහාර නිවිති වැනි පලා වර්ග, බණ්‌ඩාක්‌කා වැනි ආහාර, ආහාරයට එක්‌ කර ගැනීම යෝග්‍යය.

ව්‍යායාම අත්‍යවශ්‍ය තත්ත්වයකි. එහෙත් ව්‍යායාම සඳහා වෛද්‍ය උපදෙස්‌ ලබා ගත යුතුය. රෝග සුවයෙන් පසුවද ව්‍යායාම කිරීම වැදගත් වේ.


වීදාගම පාරම්පරික (සන්ධි සහ අස්‌ථිරෝග විශේෂඥ)
ආයුර්වේද වෛද්‍ය
හසිත කොතලාවල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.