සිසිල් බීම පිළිබඳ ඔබ නොදත් දේ...

ඔබත් අධික ලෙස සිසිල් බීම පානයට හුරු වූ අයෙක්‌ද? එසේ නම් ඒ හා ඔබ නොදන්නා පැතිකඩක්‌ දෙසට අපි ඔබේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු.

ලොකු කුඩා සියලු දෙනා අතර එක සේ ජනප්‍රිය පානයක්‌ ලෙස සිසිල් බීම හැඳින්විය හැක. මීට වසර කීපයක කාලය හා සසඳන කල සිසිල් බීම පානය ඉහළ ගොස්‌ ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. වෙළෙඳ ප්‍රචාරණ කටයුතුවල බලපෑම මීට නොමඳව ඉවහල් වී ඇත. මුලින්ම තරුණ පරපුර ඉලක්‌ක කර ගනිමින් ප්‍රචලිත කෙරුණු සිසිල් බීම වර්තමානයේ පවුලේ කෑම මේසය දක්‌වා ව්‍යාප්ත වී හමාරය.

පාසල්, ආපනශාලා, බොජුන්හල්, සුඛෝපභෝගී බොජුන් හල්, කාර්යාලයීය ආපනශාලා, උත්සව අවස්‌ථා ආදී සියලු තැන් අද සමාජය තුළ සිසිල් බීම කොතරම් සුලභව හා අධිකව පරිභෝජනය වන්නේ දැයි උදාහරණ සපයනු ඇත. වඩාත්ම ෙ€දනීය කරුණ නම් තරුණ පරපුර සිය ප්‍රධාන ආහාර වේල් සමඟ පැවතිය යුතු අත්‍යවශ්‍ය අංගයක්‌ බවට සිසිල් බීම පත්කර ගෙන තිබීමයි.

ඇත්ත වශයෙන්ම සිසිල් බීම යනු කුමක්‌ද? සිසිල් බීම වල ප්‍රධානම අන්තර්ගතය වනුයේ කාබනීකෘත ජලය, පැණිරස ගැන්වීමේ ද්‍රව්‍ය, කෘත්‍රිම රසකාරක ආදියයි. මීට අමතරව කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණක ආදිය එක්‌ කරනු ලැබේ. කැෆේන් නම් වූ රසායන ද්‍රව්‍ය අන්තර්ගත සිසිල් බීම (කෝලා පාන වර්ග) වර්ග ද වඩාත් ප්‍රචලිත සිසිල් බීම වර්ගයකි. කෙසේ වෙතත් මේ සියලු ද්‍රව්‍ය වල සම්මිශ්‍රණය ඔබගේ සෞඛ්‍යයට හානිකර බලපෑම් ඇති කරයි.

වත්මන් සමාජයේ පවතින නොයෙකුත් බෝ නොවන රෝග තත්ත්වයන්ට අතවනන එක්‌ ප්‍රධාන හේතු කාරකයක්‌ බවට සිසිල් බීම පත් වී ඇත.

* සිසිල් බීම හා ස්‌ථුලතාව

බොහෝ පර්යේෂණ ප්‍රතිඵලයන්ට අනුව සිසිල්බීම පානය හා ස්‌ථුලතාව අතර ඉතා පැහැදිලි සම්බන්ධතාවයක්‌ පවතී. බොහෝමයක්‌ සිසිල් බීම වර්ග කැලරි අධික ප්‍රමාණයක්‌ ලබා දෙන පාන වර්ග වන අතර ඒවා ඔබගේ ශරීරයේ බර ඉහළ නංවන්නේ තවත් නොයෙකුත් රෝගී තත්ත්වයන්ට මඟ පාදමිනි.

* සිසිල් බීම හා අස්‌ථි රෝග

සිසිල් බීම යනු අධික ලෙස පොස්‌පේට්‌ අඩංගු වන පානයක්‌ වන අතර, පොස්‌පේට්‌ මගින් අස්‌ථි සවිමත් වීමට අත්‍යවශ්‍ය සාධකයක්‌ වන ආහාරයේ අඩංගු කැල්සියම් අවශෝෂණයට බාධා ඇති කරයි. මේ තත්ත්වය ශරීරයේ අස්‌ථි දුර්වල කිරීමට හේතු වන අතර, අවසානයේ ආතරයිටිස්‌ වැනි රෝග තත්ත්ව දක්‌වා දීර්ඝ වීමේ අවදානම පවතී. විශේෂයෙන්ම මෙය නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ අස්‌ථි නිසි ලෙස වර්ධනයට බලපෑම් ඇති කළ හැක.

* සිසිල් බීම හා දියවැඩියාව

සාමාන්‍යයෙන් පුද්ගලයකු දෛනිකව සීනි තේ හැඳි 9 ත් (පිරිමි) - 6 ත්a (ගැහැනු), (37ග5-25ට) ප්‍රමාණය නො ඉක්‌මවා පරිභෝජනය කළ යුතුය. නමුත් සමහර 355 පක ප්‍රමාණය සිසිල් බීම කෑන් 9(ජ්බ) එකක පමණක්‌ සීනි තේ හැඳි 9 - 10 ත් අතර ප්‍රමාණයක්‌ අඩංගු වේ. එසේ නම් ඔබ නොදැනුවත්වම ඔබේ ශරීරයට අධික සීනි ප්‍රමාණයක්‌ සිසිල් බීම පානය නිසාවෙන් ඇතුළු වේ. මේ නිසා දීර්ඝ කාලීන සිසිල්බීම පානය රුධිරගත ග්ලූකෝස්‌ ප්‍රමාණය ඉහළ නංවා අවසානයේ දියවැඩියාව දක්‌වා වැඩි දියුණු විය හැක.

* සිසිල් බීම හා හෘද රෝග

දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවතින අධික ස්‌ථුලතාව, දියවැඩියාව, හෘදරෝග දක්‌වා සංකීර්ණ වීමේ අවදානම පවතී. අධික ලෙස කැලරි අඩංගු මෙම පාන වර්ග හේතුවෙන් රුධිරගත කොලෙස්‌ටරෝල් ප්‍රමාණය, ග්ලූකෝස්‌ ප්‍රමාණය ඉහළ යන අතර පසුකාලීනව හෘදයාබාධ දක්‌වා දීර්ඝ වීමේ අවදානම පවතී, එසේම කැෆේන් නම් වූ රසායන ද්‍රව්‍ය අඩංගු සිසිල් බීම වර්ග අධික පානයට හුරු වූ පුද්ගලයන්ට හෘද රෝග වැළඳීමේ අවදානම පවතී.

* සිසිල් බීම හා ස්‌වසන රෝග

සිසිල් බීම වලට එක්‌ කරන නොයෙකුත් වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය හේතුවෙන් ඇදුම වැනි රෝග තත්ත්ව උත්සන්න වීමේ හැකියාව පවතී. විශේෂයෙන් සල්µර් අඩංගු රසායන ද්‍රව්‍ය මීට හේතු වේ.

මීට අමතරව කැෆේන් අන්තර්ගත සිසිල් බීම වර්ග ආහාර සමඟ පරිභෝජනය කිරීම ආහාරයේ අඩංගු පෝෂකයක්‌ වන යකඩ අවශෝෂණයට බාධා ඇති කරයි.

ඔබ ඉතාමත් ප්‍රිය කරන සිසිල් බීම පසුපස වූ කටුක සත්‍ය මෙයයි. සිසිල් බීම වල අහිතකර ප්‍රතිඵලවලින් වැළකීමට නම් හැකිතාක්‌ අවම ලෙස සිසිල් බීම පානයට හුරු වන්න. ඔබ ඔබගේ සීමාවන් දැන අවස්‌ථානුකූලව සිසිල් බීම පානයට හුරු වීම වඩාත් යෝග්‍ය වේ. තවද ඔබේ පිපාසය සංසිඳුවා ගැනීමට ජලය පානයට හුරු වන්න. එය ඔබේ සෞඛ්‍යයට වඩාත් හිතකර වනු ඇත.

එසේම වැඩිහිටියන් ලෙස ඔබ ඔබේ දරුවාගේ සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත්ව ඔවුන් නිරෝගී පුරවැසියන් කරවීමේ අඩිතාලම ලෙසට යහපත් ආහාර තෝරා ගැනීම් හා ආහාර පුරුදු වලට අද සිටම උනන්දු කරවන්න.

* ඒ. ඒ. කේ. එස්‌. අබේසිංහ
තෙවන වසර
ව්‍යවහාරික පෝෂණ අධ්‍යයන අංශය,
පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.