තදබදයට නීති තදින්ම
ක්‍රියාත්මක කළ යුතුය


මේ රටේ ජනතාවට තිබෙන අටෝරාශියක්‌ ප්‍රශ්න අතර මාර්ග තදබදය ප්‍රධානය. අද දවස වන විට මාර්ග තදබදය යනු රටේ ජනතාවගේ දෛනික ජීවිතයේ හුරු පුරුදු අංගයක්‌ බවට පත්ව තිබේ. දිනපතා මිනිස්‌ පැය ලක්‍ෂ ගණනක්‌ අහිමි කරමින් ඉන්ධන ලීටර ලක්‍ෂ ගණනක්‌ පුච්චා දමන මේ මාර්ග තදබදයට හේතු හරිහැටි හඳුනාගෙන, ඊට වහා පිළියම් යොදන්නට කටයුතු නොකළහොත් කොළඹ නගරයේ වාහන ධාවනය කළ හැකි වේගය ඉදිරි සිවු වසර තුළ පැයට කිලෝමීටර තුනත්, පහත් අතර කාලයකට අඩුවනු ඇතැයි ප්‍රවාහන විශේෂඥයන් මෙන්ම රථවාහන පොලිසියද අනතුරු අඟවා තිබේ.

කෙසේ හෝ මේ මාර්ග තදබදයට විසඳුම් තැබීම සඳහා වරින්වර ගත් ක්‍රියාමාර්ග කිසිවක්‌ සාර්ථක වූයේ නැත. ඊයේ පෙරේදා එනම් පසුගිය 12 වැනි ඉරිදා සිට රාජගිරිය ආයුර්වේද මංසන්ධිය කේන්ද්‍රකර ගනිමින් සතියක කාලයක්‌ "ප්‍රමුඛතා මංතීරු" ක්‍රමයක්‌ අත්හදා බැලිණි. ඒ අනුව මෙම ප්‍රමුඛතා මංතීරුව වෙන්කර තිබුණේ මගී ප්‍රවාහන බස්‌ රථ සඳහා ය. පළමු දිනයේදී මේ ප්‍රමුඛතා මංතීරුව නිසාම විශාල මාර්ග තදබදයක්‌ නිර්මාණය වී තිබිණි. ඊට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ ඒ ගැන නිසි පරිදි එම ප්‍රදේශයේ රථවාහන රියෑදුරන් හෝ ජනතාව දැනුවත් කර නොතිබීමය. එහෙත් පළමු දිනයේ ඇතිව තිබූ අවුල ක්‍රමයෙන් ලිහා ගන්නා තත්ත්වයක්‌ දක්‌නට ලැබුණද වැඩි වශයෙන් මේ සැලසුම් කෙරෙහි වැඩිදෙනෙක්‌ විරෝධය පෑ බව පෙනෙන්නට තිබිණි. කොහොමත් මෙවැනි සැලසුමක්‌ ක්‍රියාත්මක කරන විට ඉක්‌මන් ප්‍රතිඵල බලාපොරොත්තු වීමට ඉක්‌මන් වීම එතරම් සුදුසු නැත. එහෙත් මොන දේ කළත් මූලිකව ම විරෝධය පෑම අපේ පුරුද්දක්‌ වී ඇති නිසා ඒ ගැන වැඩි යමක්‌ කතා නොකරමු. එහෙත් මෙවැනි ක්‍රමවේදයක්‌ දැනටමත් ලොව බොහෝ රටවල අත්හදා බලා ක්‍රියාත්මක කරන බව කිව යුතුය. 2016 වර්ෂය අවසන් වනවිට මේ රටේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව හැටහය ලක්‍ෂය ඉක්‌මවන බව කියති. මේ හැටහය ලක්‍ෂයට අමතරව අවම වශයෙන් වාහන ලක්‍ෂ පහක ප්‍රමාණයක්‌ ධාවනයට එක්‌වේ. රටේ සමස්‌ත ජනතාවගෙන් සියයට හැට පහක්‌ම පොදු ප්‍රවාහන සේවය භාවිත කළේ මීට වසර දහයකට පමණ ඉහතදීය. මේ වනවිට එය සියයට හතළිහක්‌ තරම් පහළ බැස තිබේ. පොදු ප්‍රවාහන සේවය වෙනුවට පෞද්ගලික වාහන භාවිතය පසුගිය දශකය වනවිට බෙහෙවින් ඉහළ ගොස්‌ තිබේ. මාර්ග තදබදය අවම කරගන්නට රජය විසින් ගනු ලබන කවර සැලසුමකදී වුව මූලික වශයෙන් සැළකිල්ලට ගත යුත්තේ ඒ කාරණයයි.

පොදු ප්‍රවාහන සේවයේ තිබෙන පහසුකම් වැඩි කිරීමත් ඒවායේ ක්‍රමවත් බව වැඩිදියුණු කිරීමත් මගින් රටේ ජනතාව පොදු ප්‍රවාහන සේවයට ආකර්ෂණය කරගත හැකි වේ. එමෙන්ම කාර්යාල සහ පාසල් වේලාවන් වෙනස්‌ කිරීම, උදේ හයේ සිට උදේ නවය දක්‌වාත්, සවස හතරේ Êසිට රාත්‍රී නවය දක්‌වාත් ප්‍රධාන මාර්ගවල ලොරි, කන්ටේනර්, බවුසර්, ටිපර් ධාවනය තහනම් කිරීම, එම කාලය තුළ ප්‍රධාන මාර්ගවල දෙපස වාහන නතර කිරීම තහනම් කිරීම, එක්‌ අයෙක්‌ හෝ දෙදෙනෙක්‌ ගමන් කරන වාහනයක්‌ කොළඹ නගරයට ඇතුළු වන්නේනම් වැඩි ගාස්‌තුවක්‌ අය කිරීම, වාහනයක සිවු දෙනෙක්‌වත් පැමිණෙන්නේ නම් අදාළ ගාස්‌තුවෙන් නිදහස්‌ කිරීම, මෝටර් සයිකල් හා ත්‍රීවීල් සඳහා මංතීරු නීති දවසේ පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කිරීම ආදී නව ක්‍රියාමාර්ග ඉක්‌මනින් ම ක්‍රියාත්මක කිරීම රජයටත් - ජනතාවටත් ඉතා හොඳ බව සිහිපත් කළ යුතුය. මේ ක්‍රියාමාර්ග ගත් විට අඩුම වශයෙන් 'පොලිසිය' නිකරුණේ බැණුම් අසන එක හෝ නතරවෙනවා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.