ජිනීවා මානව හිමිකම් සමුළුවේ සිදු වන්නේ කුමක්‌ද?

ශ්‍රී ලංකාව පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් හෙට (22) තම වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශයක්‌ කරනු ඇත.

මේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර උතුරේ එන්. ජී. ඕ. ඩයස්‌පෝරාවේ ගෝඩ් පාදර්ලා 21 ක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ වෙත සන්දේශයක්‌ එවා තිබුණි.

එහි සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙසයි.

මේ ද්‍රවිඩ ගෝඩ්පාදර්ලාට ඊ. පී. ආර්. එල්. එෆ් සහ ටෙලෝ සංවිධාන මෙන් ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයද සම්බන්ධ වී ඇත.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට තවත් කල්දීමේ යෝජනාව ද අද ඉදිරිපත් වේ.

එහෙත් යුරෝපා සංගමය ෂයිලොක්‌ නම් වූ යුදෙව්වා මෙන් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලා සිටී. යුරෝපා සංගමයේ මෙම ඉල්ලීම මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉලක්‌කය අනුමත කිරීමකි. මෙයට සති කීපයකට පෙර ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය පිළිබඳව යුරෝපා සංගමය බේරා ගැනීමට ඉදිරිපත් වූයේ ජනාධිපති කාර්යාලයේ සේවය කරන එන්. ජී. ඕ. ක්‍රියාකාරිකයෙකි.

එහෙත් ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බව යුරෝපා සංගමය දැන් කියා සිටී. ඊට අමතරව ස්‌විස්‌ටර්ලන්තය අද කටයුතු කරන්නේ ඩයස්‌පෝරා නියෝජිත ලෙසිනි.

ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අදාළ ජාත්‍යන්තර අධිකරණයට අත්සන් කළ යුතු බවද ස්‌විස්‌ටර්ලන්තය කියා සිටී.

එහෙත් මේ තොරතුරු ජනතාවට වසන් වී ඇත. නවසීලන්තය මෙහිදී පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධව අද ඉදිරිපත් වන යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.

ජපානයද ප්‍රකාශ කර ඇත්තේ ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවය. එසේම ස්‌වීඩනය ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාදාමයට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය බව සඳහන් කර ඇත.

මෙම පසුබිම මැද ශ්‍රී ලංකාව තම රටේ ආරක්‍ෂක හමුදාවට එරෙහිව විමර්ශන පැවැත්වීමේ අධිකරණ යාන්ත්‍රණ ස්‌ථාපිත කිරීමට වසර 2 ක්‌ කල් ඉල්ලා තිබේ.

එහෙත් මානව හිමිකම් කවුන්සිලය අදහස්‌ කර ඇත්තේ එම ඉල්ලීමට වසරක කාලයක්‌ කල් දෙන බවයි. මෙහිදී මේ යුද අපරාධ චෝදනාවලට ශ්‍රී ලංකා රජය අභියෝග කර නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත නොකරන බව පවසද්දී විදේශ ඇමැති මංගල සමරවීර යුද අපරාධ චෝදනා විමර්ශනයට කල් ඉල්ලා තිබේ.

එහෙත් මානව හිමිකම් සමුළුව හමුවේ මුළු ආරක්‍ෂක හමුදාව වෙනුවෙන්ම රියර් අද්මිරාල් සරත් වීරසේකර පෙනීසිටීම විශේෂ සිද්ධියකි. කොටි හිතවාදීන් ඔහු හඳුන්වා ඇත්තේ ගෝඨාගේ වීරයා නමිනි.

එහෙත් ඔහු ජිනීවා පැමිණියේ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් කෙටුම්පත් කළ විත්තියේ වාචකය නමැති පිටු 200 ක වාර්තාව සමඟය.

මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කළ කරුණු හතටම එම වාර්තාවෙන් ප්‍රතිචාරය දක්‌වා තිබේ.

එසේම විදේශ විනිසුරුවන් හතකගේ වාර්තාද ඊට ඇතුළත් කර ඇත. මේ වාර්තා තුළින් මානව හිමිකම් කොමසාරිස්‌ට පවසන්නේ ශ්‍රී ලංකාවේ හමුදාව නිදොස්‌ බවය. ඩෙස්‌මන්ඩ් ද සිල්වා මහාචාර්ය ඩී. එම්. ක්‍රේන් පෙපරි නයිප්, රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය මිචෙල් නිව්ටන්, සහ මේජර් ජෙනරාල් ජෝන් හොම්ස්‌ විසින් සකස්‌ කළ මෙම විමර්ශන වාර්තා මෙතෙක්‌ ප්‍රකාශයට පත් වී නැත.

එහෙත් මුල්වරට එම වාර්තා මානව හිමිකම් කොමසාරිස්‌ට යොමු වී තිබේ.

මේ නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමකට පත් වී ඇත.

විශේෂයෙන් රියර් අද්මිරාල්, සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණීම වාර්තාවකි. ඒ ලොව කිසිදු හමුදා නිලධාරියෙක්‌ තම රටේ හමුදාව වෙනුවෙන් කරුණු දැක්‌වීමට ජිනීවා නොපැමිණීමයි. වසර අටකට පසු ශ්‍රී ලංකාවේ හමුදාව වෙනුවෙන් මේ මහඟු කාර්යයට මැදිහත් වූයේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයයි. විදේශ ඇමැතිවරයා මානව හිමිකම් සමුළුව තුළ කුමක්‌ පැවසුවත් අපේ මෙහෙයුම් නතර කිරීමට ඔහුට නොහැකි වී යෑයි එම සංසදයේ ප්‍රකාශකයෙක්‌ ජිනීවාහිදී පැවසීය.

එසේම රටවල් අටක සිට ජිනීවා වෙත එන ශ්‍රී ලාංකිකයෝ අද එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පවත්වති. ඒ රජයේ සහායකින් තොරවය. මෙවන් තත්ත්වයක්‌ තුළ රජයේ දේශපාලනඥයන් පසුගියදා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා නිවැරදි කරන බවයි.

මෙය හාස්‍ය ජනක ප්‍රකාශයක්‌ නොවේද? ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා නිවැරදි කිරීමට පිටු 200 ක වාර්තාවක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ට යොමු කර ඇත්තේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයයි.

චෝදනා නිවැරදි කිරීමට වඩා රජය ඉදිරිපත් වී ඇත්තේ එම යුද අපරාධ චෝදනා ඉටු කිරීමට කල් ඉල්ලීමටයි.

මේ අන්දමේ පසුබිමක්‌ මැද රටවල් රැසක්‌ ශ්‍රී ලංකාවට සහාය දෙන බවට ප්‍රචාරය වී ඇත. ශ්‍රී ලංකාවට සහාය දීමට ඉදිරිපත් වී ඇත්තේ පාකිස්‌තානය, චීනය වැනි රටවල් පමණකි.

* කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.