අදට අනූ වසරක්‌ සපිරි සිංහල ශබ්ද කෝෂය

භාෂාවේ ප්‍රමුඛ කාර්යය නම් අදහස්‌ පැවැසුම යෑයි කියෑවේ. ඒ පවසන අදහස්‌ ඉපැදැවෙනුයේ ද බොහෝ විට භාෂාව මගින්මය. මෙසේ අදහස්‌ ඉපැදැවෙනුයේ ද පැවැසෙනුයේද භාෂාවේ පවත්නා වචන හෙවත් ශබ්ද එක්‌තරා පිළිවෙළකට යෙදීමෙනි. එයින් පෙනෙනුයේ භාෂාවේ කොටස්‌ දෙකක්‌ ඇති බවයි. එනම් වචන හා ඒ වචන අර්ථාන්විත වැ යෙදෙන පිළිවෙළ හා යනුයි. භාෂාව හසුරුවන නීති සමුදාය හෙවත් ව්‍යාකරණ යනු ඒ පිළිවෙළයි. ව්‍යාකරණය මගින් හැසිරැවෙන්නට නම් ශබ්ද තිබිය යුතුය. ඒ හෙයින් භාෂාව ශබ්ද මූල වූවකැයි සැලැකේ.

භාෂාවක ශබ්ද සියල්ල ඒ භාෂාව ව්‍යවහාර කරන සියල්ලවත් නොදනිති. දන්නා ශබ්දවල වුව ද සියලු අර්ථ දන්න වූන් සිටිනුයේ ඉතා කලාතුරෙකිනි. එහෙයින් භාෂාව ව්‍යවහාර කරන්නවුන් හට ශබ්ද අර්ථ පහසුවෙන් දැනගත හැකි සේ ශබ්ද කෝෂ සම්පාදනය ඉතා පැරැණි කල පටන් පෙරපර දෙදිගම වියතුන් විසින් සිදු කැරිණි.

පුරාතන භාරතීය ශබ්ද කෝෂ නිඝණ්‌ටු නමින් හැදින්විණ. වාචස්‌පත්‍යය එහිලා පුරාණනමය සේ සැලැකේ. වඩාත් ප්‍රකට වූයේ අමරකෝෂයයි ශබ්ද කල්ප ද්‍රeම ආදිය පසුවැ ලියෑවුණ වඩාත් සම්පූර්ණ කෝෂ ග්‍රන්ථ වෙයි. පාලියෙහි දූ අභිධානප්පදීපිකා ඇරැඹුණු නිඝණ්‌ටු ගණයක්‌ වෙයි.

සිංහලයෙහි පැරැණිතම නිඝණ්‌ටුව සෙයින් ගැනෙනුයේ පියුම් මලයි. එය දඹදෙණි අවධියේ ලියෑවිණි. ඉක්‌බිති කෝට්‌ටේ අවධියේ දී නාමාවලිය, රුවන් මල යන නිඝණ්‌ටු ද සෙංකඩගල අවධියේ දී නව නාම්වලිය හෙළදිව් අබිදානවත ආදිය ද ලියෑවිණ. මෙයින් ඉතාමවැදගත් වනුයේ ද වඩාත් විස්‌තර සහිත වනුයේ ද රුවන්මල බව සැලැකේ.

මේ බඳු නිඝණ්‌ටු ශබ්ද කෝෂ වුවද ශබ්දයේ අර්ථය විනා රූපය කෙරෙහි මෙහිදී එ තරම් අවධානයක්‌ යොමු වුයේ නොවේ. එහෙයින් අකාරාදී ක්‍රමයට ශබ්ද පෙළ ගැස්‌වීමක්‌ මෙහිලා නොකැරිණ. අකාරාදී ක්‍රමයට ශබ්ද පෙළ ගස්‌වා නූතන ආකාරයට ශබ්ද කෝෂ කරණය මෙරට ඇරැඹුණේ ප්‍රතිචීන ජාතීන්ගේ ආගමයෙන්ම පසුවැයි. එළවුවද මුල දී ඒ අයුරින් ලියෑලූ භාෂාන්තර ශබ්ද කෝෂයි. එනම්, සිංහල - පෘතුගීසි - පෘතුගීසි, සිංහල සිංහල ලන්දේසි -ලන්දේසි සිංහල ආදිය යි. පසු කලෙක්‌හි (වේරගම පුංචි බණ්‌ඩාර පඬිතුමාගේ) ශබ්ද මුක්‌තාවලිය, (හෙන්ද්‍රික්‌ ජයතිලකයන්ගේ) ශුද්ධ අකාරාදිය වැනි සිංහල ශබ්දවලට සිංහලයෙන්ම අරුත් කෝෂ ග්‍රන්ථ ද ලියෑවිණ.

තතු මෙසේ වන අතර සිංහලය උදෙසා නූතන ක්‍රමානුකූල වූද සම්පූර්ණ වූ ද ශබ්ද කෝෂයෙක අවශ්‍යතාව මතු වැ පෙනිණ. 1881 දී චාර්ල්ස්‌ බ්රූස්‌ නම් ඉංගිරිසි ජාතික වියකා රාජකීය ආසියාතික සංගමයට ඒ බව පෙන්වා දුන්නයි කියෑවේ. එහි ප්‍රතිඵල වශයෙන් (සිංහල - සිංහල නොව) සිංහල - ඉංගිරිසි ශබ්ද කෝෂයක්‌ සැකැසීම පිළිබඳ වැ කටයුතු කරනු වස්‌ කමිටුවෙකුදු පත් කැරිණ. එලුවද එහි කටයුතු ලත් තැනම ලොප් වූ බවත් පෙනේ.

යළිදු, ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර මුදලිතුමන්ගේ මහදුත්සාහයෙන් 1923 දී මෙ කරුණ නැවැත රාජකීය ආසියාතික සංගමයේ අවධානයට යොමු කරන ලදුයෙන් සිංහල ශබ්ද කෝෂයක්‌ සම්පාදනය ගැන සොයා බලනුව නැවැත ද කමිටුවක්‌ පත් කැරිණ. ආර්. මාස්‌, මැන්දිස්‌ ගුණසේකර, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක සූරියගොඩ සුමංගල හිමි, වාසල මුදලි ගුණවර්ධන යන වියත්හු එයට අයත් වූහ.

මේ කමිටුවෙහි උපදෙස්‌ පරිදි 1927 මාර්තු 21 වන දින, එතෙක්‌ සිංහල භාෂා විෂයක වැ පැවැති මහත් අඩුවක්‌ සපුරාලන සිංහල ශබ්ද කෝෂයක්‌ සම්පාදනය කිරීමේ ජාතික කාර්යය ඇරැඹිණ. ප්‍රාචීන, ප්‍රතිචීන භාෂාවල බැසගත් දැනුමෙන් හොබනා සම්භාවනීය විද්වතකු වූ ශ්‍රීමද් ජයතිලකයෝම මෙහි ප්‍රධාන සංස්‌කාරක ධූරයට පත් කරන ලදහ. මුදලි ගුණසේකර, වාසල මුදලි ගුණවර්ධන දෙදෙන අනෙක්‌ සංස්‌කාරකයෝ වූහ.

මුලදී පැවැති අදහස නම් නෛරුක්‌තික හෙවත් නිරුක්‌ත සහිත (eඑහපදකටසජ්ක) ශබ්ද කෝෂයක්‌ සම්පාදනය කිරීමයි. ඒ හෙයින් ඒ සඳහා උපදෙස්‌ ලබනු වස්‌ මහාචාර්ය විල්හෙලම් ගයිගර්හු ලංකාවට කැඳවන ලදහ. ගයිගර්හු වනාහි ප්‍රාචීන භාෂා විෂයයෙහි ජගත් කීර්තිමත් විද්වතෙක්‌ ද නිරුක්‌ති ශාස්‌ත්‍රයෙහි ප්‍රාමාණිකයෙක්‌ ද වූහ. 1931 දී ඔහු සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන උපදේශක ධුරයට පත් කරන ලදහ. ගයිගරයන් වැනි බටහිර විද්වතකු ගෙන් සිංහල ශබ්දකෝෂය සඳහා උපදෙස්‌ ගැනීම තත්කාලීන ඇතැම් උගතුන්ගේ උපහාසයටත් විරෝධයටත් හේතු විය. එහෙත් ඔවුන් හෝ උපදෙස්‌ ගැනුණේ ශබ්දකෝෂකරණය හා නිරුක්‌ති ශාස්‌ත්‍රය හා පිළිබඳව ය යනු මේ උගතුන්ගේ සැලැකිල්ලට යොමු නොවීය.

ජුලියස්‌ ද ලැනරෝල්, ඩී. ඊ. හෙට්‌ටිආරච්චි යන දෙදෙනා ගයිගරයන් යටතේ ශබ්ද කෝෂ තරණය පුහුණු වූහ. මෙ දෙදෙනම පසු කලෙක සිහල ශබ්ද කෝෂයෙහි ප්‍රධාන සංස්‌කාරක ධුරය දැරූහ. ශ්‍රීමද් ජයතිලකයෝ 1944 දී අභාවප්‍රාප්ත වුහ. එයට පෙරම ශබ්ද කෝෂ සම්පාදනය ලංකා විශ්වවිද්‍යාලයයට පැවැරුණෙන් මහාචාර්ය එම්. ඩී. රත්නසූරිය එය ප්‍රධාන සංස්‌කාරක ධූරයට පත් විය. පසුව ජුලියස්‌ ද ලැනරෝල්, මහාචාර්ය ඩී. හෙට්‌ටිආරච්චි, මහාචාර්ය පී. බී. එෆ්. විෙ-රත්න, මහාචාර්ය පී. බී. සන්නස්‌ගල, මහාචාර්ය විමල් බලගල්ලේ, මහාචාර්ය විනී විතාරණ, අකුරටියේ නන්ද හිමි යන වියත්හු ඒ තනතුර හෙබැවූහ. සිංහල ශබ්ද කෝෂයට අනූ වසරක්‌ පිරෙන මෙ කල්හි, එහි ප්‍රධාන සංස්‌කාරකධූරය හොබවන්නෝ නිඝණ්‌ටු සාහිත්‍යය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධනයෝයි.

නෛරුක්‌තික කෝෂයක්‌ වශයෙන් පටන් ගැහුණ ද පසු වැ එහි නිරුක්‌ති කථනය නතර කැරිණ. සිංහල ශබ්ද කෝෂය කිසිදා අවසන් නොවන්නකැයි සමාප් ගත වැ තුබු අදහස නිසා එහි කටයුතු ඉක්‌මන් කරන්නට ඇවැසි වූයෙන් එක්‌ කලෙකදී, හෙළ හවුලේ වියතුන්ගේ සහය ද එයට ලබාගැනිණ. එහෙත් ඔවුහු වැඩි කලත් එ කටයුත්තේ නිරත නොවුහ.

1990 දශකයේ මුල දී සිංහල මහා ශබ්ද කෝෂයේ කටයුතු නිමහම් දක්‌නා ලදැයි නිල විසින් පැවැසුණු ද ශබ්ද කෝෂ කාර්යාලයේ කටයුතු එතෙනින් නතර වුයේ නොවේ. ශබ්ද කෝෂයක්‌ යනු නිරතුරු වැ යාවත්කාලීන කළ යුත්තෙකි. එ බැවිනුදු, මහා කෝෂයට අතිරේක වැ, සිංහල - ඉංගිරිසි, ෙත්‍රෙභාෂික (සිංහල, දෙමළ, ඉංගිරිසි) සංක්‌ෂිප්ත ආදි තවත් කෝෂ ගණනත් සකස්‌ කැරෙන බැවිනුදු සිංහල ශබ්ද කෝෂ කාර්යාලයය අඛණ්‌ඩ වැ පවත්වාගෙන යා යුතුවේ.

භාෂාවෙක වචන මාලාව - විශේෂයෙන් වචනවල අක්‌ෂර වින්‍යාසය පිළිබඳ පරමාදර්ශී ග්‍රන්ථයක්‌ වශයෙන් සැලැකේ. ඒ හෙයින් මාතෘකා වචන මෙන්ම විස්‌තර කිරීම් ද ඉතාම නිවැරැදි විය යුතුය. අපගේ මහා ශබ්ද කෝෂයට සුභාශිංසන පූර්වක වැ නමුදු කිය යුත්තේ එය එ අතින් නම් තවද දියුණු විය යුතු බවයි.

ශ්‍රිනාත් ගණේවත්ත

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.