නාමල් උයනට 26 වසරයි
පරිසරය වනසන අයට
සොබා දහමෙන් දඬුවම් ලැබෙනවා

- වනවාසී රාහුල හිමි


මෙම 28 වැනිදාට ජාතික නාමල් උයනේ 26 වැනි සංවත්සරය යෙදී ඇත. ඒ නිමිත්තෙන් නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් සමඟ පැවැත් වූ සාකච්ඡාවකි මේ

ජාතික නාමල් උයන කියන්නෙ අද ලෝකයේම ඉතා ප්‍රසිද්ධ ජනප්‍රිය ස්‌ථානයක්‌. ඒ ගැන ඔබ වහන්සේ සතුටු වෙනවාද?

මගේ දසක දෙක හමාරකට වැඩි මේ ජාතික පාරිසරික සේවාව ගැන ගහට කොළට සතා සිව්පාවාට ආදරය කරන සොබාදහම ගැන විශ්වාස කරන කෙනෙක්‌ හැටියට ආපස්‌සට හැරිල බලා මම අවංකවම සතුටු වෙනවා. කවුරුවත් සතුටු කරන්න මම කොයි වෙලාවකදිවත් වැඩ කරන්නේ නෑ. හැබැයි කරන දේ නිවැරදිව ඉදිරි දැක්‌මක්‌ ඇතිව හොඳ කළමනාකාරිත්වයකින් සිදු කරනවා. පැහැදෙන එක හෝ අපැහැදෙන එක තව කෙනෙකුගේ කැමැත්ත. මට ඒක අදාල නෑ.

විශේෂයෙන් මම සතුටු වෙනවා වගේම 1991 මාර්තු 28 වැනිදා සිට අද දක්‌වා මට ගොඩනැගෙන්න ජාතික නාමල් උයන සහිත මේ රෝසතිරිවාන නිධිය මතු පරපුරට ආරක්‍ෂා කර දෙන්න උර දුන් සහ උරදෙන මේ රටේ සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන් හා වේදිනියන් සතුටු වෙනවා ඇති. මම මේ වෙලාවේ ඒ සියලුම මාධ්‍යවේදීන් මම ගෞරවයෙන් සිහිපත් කිරීම හා මියගිය මාධ්‍යවේදීන් හට නිවන් ප්‍රාර්ථනා කරන්න ඉතා නිහතමානීව අවස්‌ථාවක්‌ කරගන්නවා. ඇත්තටම නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක්‌ ඉන්නවා.

ඒ නිසා මා කෙටියෙන් දැන ගැනීම සඳහා දිවයින පුවත්පත් සමුහය, ලේක්‌හවුස්‌ පුවත් සමූහය, විජය පුවත් පත් සමූහය, රිවිර පුවත් සමූහය, ලක්‌බිම පුවත් පත් සමුහය, මව්බිම පුවත්පත් සමූහය, සන්ඩේලීඩර් පුවත් සමූහය ඇතුළු සියලුම විද්යුත් මාධ්‍ය නාලිකා සියල්ලම මම ඉතා ගෞරවයෙන් සිහි කරනවා.

අද රටේ ඕනෑතරම් පන්සල් තියෙනවා. ඇයි මෙහෙම ඔබ වහන්සේ කැළෑවකට වෙලා ජීවත් වෙන්නේ.

මම කැලෑවෙ ඉඳගෙන මගේ මාතෘ භූමියට කරන සේවාව අතිවිශාලයි කියලයි මම හිතන්නේ. පන්සලකින් කෙරෙන සේවාවයි මගේ සේවාවයි අතර ගොඩක්‌ වෙනස්‌. හැම කෙනාම කරන දේ මම කරන්න කැමති නෑ. ඒ වගේම මම හිතන්නෙ අලුත් දෙයක්‌ නව දැක්‌මකින් යුතුව සමාජයට රටට දෙන්න ඕනෑ කියන එකයි. නාමල් උයන මේ තත්ත්වයට ගෙනාවේ මම. මේ ප්‍රදේශයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක්‌ ගෙන දුන්නේ මම. විශේෂයෙන් මේ ප්‍රදේශයේ යම් ප්‍රමාණයකට යටිතල පහසුකම් සංවර්ධනය වුණා ද නාමල් උයන එයට ප්‍රධාන වුණා. ඒවගේම මම අවුරුදු 26 ක්‌ පුරාවට කොන්ද කෙලින් තියාගෙන අයුක්‌තිය අසාධාරණය පිටු දකිමින් අවංකව කටයුතු කරනවා. මේ රටේ කිසිම කෙනෙකුට මට ඇඟිල්ල දික්‌ කරන්න බැහැ. මට හොඳ ආධ්‍යාත්මයක්‌ තියෙනවා. නිරවුල් මනසක්‌ තියෙනවා. මට සැහැල්ලුවෙන් නින්ද යනවා. ඒ වගේම මේ සුන්දර වනපෙත මේ වන විට සොබාවික සම්පත් විනාශ කරන සංවිධාන හා පුද්ගලයින්ගෙන් බේරා ගන්න මම ඉදිරිපත් වුණේ නැතිනම් අද සමහර විට මේ අක්‌කර දෙදහසම විනාශ කරල. රෝසතිරිවාන නිsධියත් එක්‌කම මගේ සේවාවේ වැදගත්කම අද තේරුම් ගන්න පුළුවන්. මම අනිත් හාමුදුරුවරු කරන සේවය අඩු තක්‌සේරුවට ලක්‌ කරන්නේ නෑ. නමුත් වර්තමානයේ පන්සලෙන් ගමට සිදුවිය යුතු යුතුකම් හරිහැටි සිදුවන බවක්‌ මට පේන්නෙ නෑ. හරියට තේරුම් ගෙන මේ වෙලාවෙ තමන්ට සිව්පසයෙන් සලකන මිනිසුන්ගේ දුකේ දී හා සැපේ දී කටයුතු කිරීම වර්තමාන භික්‌ෂූවගේ කාර්යභාරය විය යුතුයි. හැබැයි එහෙම යුතුකම් පන්සලෙන් ගමට සිදු වුනා නම් ගමයි පන්සලයි ඈත් වන්නේ නෑ. එනිසා මගේ කාර්යභාරය පන්සලේ කාර්යභාරය හා සමාන කරන්න එපා. තවමත් අපේ හාමුදුරුවරු පරක්‌කු නෑ. විධිමත් සංවිධානයකින් යුතු අර්ථවත් වැඩ පිළිවෙලකට යන්න කාලය දැන් උදාවෙලා.

වර්තමානයේ හාමුදුරුනමක්‌ උනහම ධර්ම ප්‍රචාරය කරනවා. බණ කියනවා. ඒත් අපි ඔබ වහන්සේගේ එහෙම දෙයක්‌ අහල නෑනෙ

මෙහෙම බණ කියන රටක්‌ බණ අහන රටක්‌ ලෝකෙ තවත් තියනවද? නමුත් එහෙව් රටේ හිරගෙවල් වැහුනද? අපරාද අඩු උනාද? බණ අහල කව්රුහරි ගිහියෙක්‌ හෝ පැවිද්දෙක්‌ රහත් උනාද? අද හාමුදුරුවරු මිනිසුන්ට බණ කියන්නෙ මුදලටනෙ. වර්තමානයේ මිනිසුන්ට බණ කියල වැඩක්‌ නෑ. අද පවතින මේ සමාජ ක්‍රමය වෙනස්‌ කරන්න රට ජාතිය ආගම ගැන හිතන්න. යහපත් මිනිසුන් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය දෙයක්‌ තමයි කියන්න ඕන.

අද කියන බන කාලීන වන නිසා මිනිසුන්ට µන් "එක ගන්න හොඳයි. දැන් මේ රටේ ගොඩක්‌ හාමුදුරුවරු නළුවො, විහිළුකාරයො බවට පත්වෙලානෙ ඉන්නේ. බොරු වැඩ කරල පලයක්‌ නැහැ. මම ඒවා කරන්නෙ නෑ. හැබැයි මට බණ කියන්න එන්න කියල ආරාධනා කළොත් මම යනවා. මුදලට නොවෙයි. එදාට අහන්න පුළුවන් මගේ බණ කොහොමද කියලා.

අනිත් එක බණ කියන එක මගේ රස්‌සාව නොවෙයි. මට කරන්න වෙනම රාජකාරියක්‌ තියෙනවා. රට වෙනුවෙන් එය මම නිවැරදිව කරනවා. ඒක තමයි නාමල් උයන රකින එක. පරිසරය රකින එක.

හැමදාම මාධ්‍යයෙන් ඔබ වහන්සේගේ ලිපි පින්තූර පළවෙනවා. නාමල් උයන තියාගෙන ප්‍රචාර ව්‍යාපාරයක්‌ කරනවාද?

වැඩ බැරි එකාට මොකුත් බෑ. තව කෙනෙකුට වෛර කර කර ඉරිසියා කරමින් ඇගේ ලේ අපිරිසිදු කර ගනිමින් ඉන්නවා. මේ රටේ ගිහි පැවිදි බොහෝ අයගෙ හැටි එහෙමයි. මම මොනවා හරි කරලා මාධ්‍ය තුළ ඉඳගෙන කටයුතු කරනවා. මේ ටික හොඳට තේරුම් ගන්න. මාධ්‍ය නැතිව මේ රටේ කිසිම හොඳ හෝ නරක දෙයක්‌ කරන්න බෑ. මිනිසෙකුට ගොඩනැගෙන්න මාධ්‍ය පාවිච්චි කිරීමත් එක ක්‍රමයක්‌. ඉතින් මගේ අභිවෘද්ධියට නාමල් උයනේ ආරක්‍ෂාව වෙනුවෙන් මාධ්‍ය පාවිච්චි කරනවා. ඒකෙ තියන වැරැද්ද මොකක්‌ද?

ඒවගේම මාධ්‍ය භාවිතා කරල මම ස්‌වඋත්සාහයෙන් ගොඩනැගුණ සුපිරි දක්‍ෂයෙක්‌. එහෙම කියන්නෙ වසර සිය දහස්‌ ගානක්‌ වැලිතලාවෙන් යටව තිබූ මේ අපේ ජාතියේ ප්‍රමුඛ ඉතිහාසය ලෝකයට කියලා, අද වන විට මෙම ස්‌ථානය ලෝ සුපතල තැනක්‌ බවට පත් කරන්න හැකියාව ලැබුනේ නිසි පරිදි මාධ්‍ය භාවිතා කරපු නිසාවෙන්.

එනිසා මම දසක දෙක හමාරකටත් වඩා වැඩි කාලයක්‌ මාධ්‍ය සමග ඉතා හොඳින් කටයුතු කළා. ඉදිරියටත් මේ ගමන යනවා. හැබැයි මාධ්‍යයට පුළුවන් කෙනෙක්‌ හෝ ආයතනයක්‌ රටක්‌ එක තප්පරෙන් විනාශ කරන්න. එය සැම දෙනාම දැනගත යුතු කාරනයක්‌.

ඇත්තටම ඔබ වහන්සේ තරමක්‌ සැර පරුෂ හාමුදුරු නමක්‌ කියල හැමෝම කියනවා. ඒ ඇත්තද?

බැලු බැල්මට එහෙම පේනව ඇති. ඒවගේ සැර නැතුව මේ වගේ ආයතන පාලනය කරන්න පුළුවන්ද? එක එකාට ඕන විදියට නා මල් උයනට ඇවිත් කටයුතු කරන්න දුන්නොත් මේ ස්‌ථානයට මොකද වෙන්නෙ. එනිසා මා ඉතා තදින් පාලනය කරන නිසා මිනිස්‌සු එහෙම කියනවා. එය කවුරුවත් දන්න දෙයක්‌නෙ. මම මොකටද බව වෙන්නෙ හොඳ වැඩ කරන්න.

හැමෝම දැන් විවිධ පැතිවලින් පරිසරය ආරක්‍ෂා කරන්න කතා කරනවා. ඒ වුනාට එහෙම බවක්‌ පේන්නෙ නෑ. ඔබ වහන්සේ කැළෑවට වෙලා හැමදාම ඉන්නද කල්පනාව?

මගේ අවසන් හුස්‌ම තියන කල් මම මේ සුන්දර වනපෙතේ සොබා දහම විඳමින් ජීවත් වෙනවා. ඒවගේම රටක්‌ විදිහට ගත්තහම සංවර්ධනය අත්‍යාවශ්‍ය සාධකයක්‌. නමුත් සියලු දේම සමබරව කළ යුතුයි. එහිදී සංවර්ධන සැලසුම් සෑදීමේදී වගකිව යුත්තන් මේවා ගැන තදින් සිතා බලා කළ යුතුය. පරිසරයට හානි කිරීම පසු ගිය වකවානුවේ සහ වර්තමානයේ සිදු වෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න පිටරටින් ඩොලර් අරගෙන වීදුරු කාමරවලට වෙලා ඉඳගෙන බෑ. ඔය සමහර පරිසර සංවිධාන හොඳට වැඩ කරනවා. නමුත් වැඩි පිරිසක්‌ ඩොලර් වලට යට වෙලා.

රට කරවන පාලකයන්ට වගකීමක්‌ තියනවා මේ රටේ සොභාවික සම්පත් රැකගන්න. ඒවාට විධිමත් ලෙස කළමනාකරණය කරමින් රටේ සංවර්ධනයට දායක කර ගන්න එහෙම නොවුනොත් රටේ විනාශය වළක්‌ වන්න බෑ. එහෙම දැන් ඕනතරම් පේන්ඩ තියනවානෙ. එම විනාශකාරී ක්‍රියා කලාපයන් දැන් "මාපියාවක්‌" ලෙස පැතිරිලා තියෙන්නෙ. සියල්ලම මුදලට යට වුන සමාජයක්‌ ඇතිවී තියෙන්නෙ. මෙයට ප්‍රධාන හේතු මම දකින්නෙ බල්ලෝ මරල හරි සල්ලි හොයන්ඩ මිනිස්‌සු පුරුදු වෙලා. මේ තරඟකාරී සමාජයක්‌ එක්‌ක මේ විවෘත ආර්ථිකය හොඳය කිව්වට එහි අනිසි ප්‍රතිඵල තව මිනිසුන් වින්දෙ නෑ. ඉදිරියට බලාගන්න පුළුවන්. මේ සිදුවන මහා පරිමාණ පරිසර හානියත් එක්‌ක. හැබැයි ගහ කොල සතා සිව්පාවා, ඇල දොල, ගංඟා නොමැතිව මිනිසාගේ පැවැත්මක්‌ නෑ. පරිසරයට හානි කරන වුන්ට සොබාදහම තුළින් ඉදිරියේදී දඬුවම් ලැබෙනවා. අපි ප්‍රමාදයි. හානි වලක්‌වන්න කාටවත් බෑ. එය තමයි මම දුටු සත්‍ය.

මේ අවුරුදු 26 ට දේශපාලන හා වෙනත් අයගෙන් විවිධ බලපෑම් ආවේ නැද්ද

මුලහරියෙ හරියට සෑම දෙනාගෙන්ම බලපෑම් තර්ජන තර්ජන ගර්ජන තිබුණා. ඒවට මම බිය උනේ නෑ. ඒ සියල්ල අතුගාගෙන ගියා. මට මොන රජයක්‌ පත් උනත් කමක්‌ නෑ මා දේශපාලනය කරන්නෙ නැහැ. හැබැයි කාගේ උනත් වැරදි අඩුපාඩු ප්‍රසිද්ධියෙ කියනවා.

ආණ්‌ඩුකොරන ඇත්තො කවුරුත් මාව දන්නවා. මම රටට ජාතියට හොඳ දෙයක්‌නෙ කරන්නෙ. එනිසා සියලුම දෙනා මට උදව්කරනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.