නටබුන් අඩු නැති නුවරකන්ද රජමහා විහාරය

බමුණාකොටුව - නන්දන සිරි ශාන්ත කුමාර

වාරියපොල රෝහල අසලින් වැටී ඇති ගනේවත්ත මාර්ගයේ සැතපුම් 4 ක්‌ දුර ගොස්‌ අමුණුගම හන්දියෙන් හැරී තවත් සැතපුම් 03 ක්‌ තිස්‌සව ගම්මානය අසල ඇති නුවරකන්ද පුරාණ විහාරයටත් එසේ නොමැතිව වාරියපොල පොලිස්‌ ස්‌ථානය අසලින් වැටී ඇති මාර්ගයේ සැතපුම් 07 ක්‌ පමණ දුර ගොස්‌ එම ස්‌ථානයට යැමට හැක.

සිරිලකට බත බෙදන්නට මහ පොළොව සමඟ සටනට යෙදෙන ජනතාවක්‌ වාසය කරන නුවරකන්ද පිහිටා ඇත්තේ තිස්‌සව ගම්මානයේය.

යාපහුව, පඬුවස්‌නුවර, දඹදෙණිය හා කුරුණෑගල රාජධානිය පිහිටා තිබුණේ වයඹ පළාතේය. ඒ රාජධානිවලට මැදින් පිහිටා ඇති නුවර කන්දට ඒ නම ලැබී ඇත්තේ දර්ශනීය නගරයක්‌ අතීතයේ පිහිටා තිබුණ නිසාය.

මෙම විහාරය දර්ශනීය කන්දක්‌ මත පිහිටා තිබෙන නිසා නුවරකන්ද රජමහා විහාරය නමින් හැඳින්වෙයි. නුවර කන්දට යන කොට අපගේ ඇසට දකින්නට ඇත්තේ විහාරස්‌ථාන භූමිය පුරාම ඇති පැරණි ගොඩනැඟිලිවල නටබුqන් ය. එය පුරාණ විහාරයක්‌ බව ඕනෑම අයෙකුට සිතිය හැක. පැරණි චෛත්‍යය තිබූ ඡත්‍ර ගලක්‌ ද, ශෛලමය මල් ආසනයක්‌ ද පළමුවෙන්ම හමුවෙයි.

මේ විහාරය ඉදිකර ඇත්තේ සූරතිස්‌ස රජතුමා බව කියෑවේ. එය මහා වංශයේ සඳහන් වෙයි. මහාවංශයේ තොරතුරු අනුව නුවර කන්දේ විහාරයක්‌ හා චෛත්‍යයක්‌ ඉදිකර සූරතිස්‌ස කුමාරයා දෙවැනි පෑතිස්‌ස රජතුමාට ඒ බව දන්වා ඇත.

එයින් සන්තෝෂයට පත් වූ දෙවැනිපෑතිස්‌ස රජතුමා නුවර කන්දට රහතන් වහන්සේලා 32 නමක්‌ වැඩම කරවූ බව සඳහන් වේ. ඒ රහතන් වහන්සේලාට වැඩ විසීම සඳහා ගල්ලෙන් 32 ක්‌ ද සකස්‌ කර තිබේ. බ්‍රාහ්මීය අක්‍ෂර හා පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරවලින් යුතු සෙල්ලිපි ඇති කටාරම් සහිත ලොකු කුඩා ගල්ලෙන් රාශියක්‌ දකින්නට අදත් ලැබේ. දෙවැනි පෑතිස්‌ස රජුගෙන් පසු ද මෙම භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි බව මූලාශ්‍රවලින් හෙළිවී ඇත.

නුවරකන්ද විහාර භූමියේ සෙල්ලිපි 20 ක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොයා ගෙන තිබේ. වළගම්බා රජතුමා ද මෙම ස්‌ථානයේ නැවතී දෙමළුන් සමඟ සටන් කිරීම සඳහා සේනාව රැස්‌ කළ බව තවත් මතයකි.

සුවිසල් ගල් තලාවක්‌ මත නුවරකන්ද රජමහා විහාරය පිහිටා ඇත. ගල් පඩිපෙළ නැඟී ඉදිරියට යත්ම ගල් තලාවේ සටහන් කළ මැකී ගිය සෙල්ලිපි කිහිපයක්‌ හමුවෙයි. එයට නුදුරින් ගල්තලාවේ කොටා ඇති සුවිශේෂී ගල් ඇඳන් දෙකක්‌ ඇත. මේ ගල් ඇඳන් දෙක එකල භික්‍ෂූන් වහන්සේලා විසින් පරිහරණය කරන්නට ඇති බව ඇතමුන්ගේ මතයයි.

තවත් සමහරකුගේ මතය වන්නේ නුවරකන්ද බළකොටුවක්‌ තිබූ නිසා එහි සිටි මුර සෙබළුන් එහි ශෛලමය යහන් පාවිච්චි කළ බවයි.

වළගම්බා රජුට මෙම විහාරයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් කළ නොහැකිවූ අතර අතරමඟදී ද්‍රවිඩයන්ගෙන් බේරීම සඳහා පලා ගිය බවද පැවසේ. මේ සුවිශාල ගල් පර්වතය අතර වී බිස්‌ස නමින් හැඳින්වෙන ගල් පර්වතයක්‌ ද දකින්නට තිබේ. වී බිස්‌සක හැඩයට ඇති නිසා ඒ ගල් පර්වතයට ඒ නම ලැබී ඇත. එම ගලේ ද කටාරම් කොටා තිබේ. ගල්ලෙන් අතරින් ඉහළට ගිය විට අපිට දකින්නට ලැබෙන්නේ කටාරම් කෙටූ ලෙනක පිහිටා ඇති පැරණි විහාරයයි. මේ විහාර මන්දිරයේ ඉදිරියේ ඇති ගොඩනැඟිල්ල ද අද වනවිට අබලන්ව පවතී. මේ ලෙන් විහාරයේ වළගම්බා රජු සමයට අයත් දොළොස්‌රියන් සැතපෙන බුදු පිළිමයක්‌ ද ඉඳි පිළිම දෙකක්‌ ඇතුළු පිළිම කිහිපයක්‌ දක්‌නට ඇත. ඒවා වළගම්බා රජතුමා විසින් කරවන ලදැයි විශ්වාසයක්‌ පවතී.

මෙම විහාරයෙහි ඇති පැරණි ලී උළුවස්‌ස විශේෂ තැනක්‌ ගනී. මේ ලෙන් විහාරගෙයි ඇති පිළිම සහ චිත්‍ර ද ආදී විනාශයට යමින් පවති. පිළිම ගෙයට අමතරව කටාරම් සහිත ගල්ලෙන් දෙකක්‌ දකින්නට ඇත. පැරණි ගල් පඩි පෙළ පසු කළ විට හමුවන තවත් පැරණි විහාර ගෙයක්‌ දක්‌නට ලැබේ. එම විහාර ගෙයි පිළිම නිදන් සොරුන්ගේ ග්‍රහණයට හසුවී තිබී මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්‌කරණය කර තිබේ.

මෙහි ඇති පිළිම වළගම්බා රජු විසින් ඉදිකර ඇති අතර එහි වැඩ අවසන් කරන්න ලැබිලා නැහැ. මේ පිළිම නිර්මාණය කර ඇත්තේ දහයියා හා ගස්‌වල පොතුවල ඉස්‌ම උපයෝගී කර ගෙනයි. මෙසේ නිර්මාණය කර ඇති පිළිම කිසිවක්‌ වයඹ පළාත තුළ දක්‌නට ලැබෙන්නේ නැති බව වත්මන් විහාරාධිකාරී පදවියේ සීලරතන හිමියන් පැවසුවේය.

දේවානම්පිය තිස්‌ස රජු සමයට අයත්ව තිබූ චෛත්‍යය අද විනාශයට ගොස්‌ අද දකින්නට ඇත්තේ චෛත්‍යයේ ඡත්‍රය පමණි.

වළගම්බා රජු මෙම ස්‌ථානයට එනවිට මෙම ස්‌ථානයේ සිවුරංගා නමැති වැදි රජෙක්‌ විය. එහිදී වළගම්බා රජු වැදි රජු සමඟ කරන ලද අරගලයකදී සිවුරංගා වැදි රජු මියගොස්‌ ඇති අතර වැදි රජුගේ චිත්‍රයක්‌ ද ඉදිකර තිබේ. එම චිත්‍රය ද අද වනවිට මැකී යමින් පවතී.

මෙම විහාර ස්‌ථානයේ දැනට විනාශ වෙන පිළිම සහ චිත්‍ර ආරක්‍ෂා කර දෙන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැන්aවූවා. මෙම විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විහාරයක්‌. මෙහි විනාශයට යන පිළිම ආරක්‍ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.