වජ්‍ර ජයන්තිය සමරන
සුදු ජාතිකයෙක්‌ බිහිකළ ඌවේ පළමු පාසල
බණ්‌ඩාරවෙල ශාන්ත තෝමස්‌ විද්‍යාලය


ක්‍රිස්‌තු වර්ෂ 1818 වසරේදී ලංකාද්වීපය මුළුමනින්ම සුදු ජාතිකයන් අත්පත් කරගත් අවධියේ සිට මෙහි ඔවුන්ගේ ආගමික, ජාතික, අධ්‍යාපනික අරමුණු මුදුන් පමුණුවා ගනු වස්‌ නොයෙක්‌ කටයුතු කෙරිණි.

විජාතික සුදු මහත්වරු දියුණු කළ යුතු ක්‍ෂේත්‍ර අතර අධ්‍යාපන අංශය දුටුවේ ඉතා ප්‍රබල අංශයක්‌ ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් ඉංගී්‍රසි අධ්‍යාපනික පාසල් රාශියක්‌ ආරම්භ කොට ක්‍රියාත්මක කළහ. ඒ අධ්‍යාපනික ආයතනයන් ආරම්භ කිරීමේදී පල්ලියට හිමිවන්නේ සුවිශේෂ ස්‌ථානයකි. කෙසේ වෙතත් කාලයට ගැළපෙන පූර්ණ අධ්‍යාපන ආයතන පල්ලිය මගින් හා විවිධ පාලන අංශයන් මගින් ක්‍රියාත්මක කළේය. "ශාන්ත තෝමස්‌" නමින් පාසල් රැසක්‌ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල බිහිවන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනික සන්ධර්භය තුළින් රට පෝෂණය කිරීමේ අරමුණිනි.

40 වැනි දශකය වනවිට ලෝක ඉතිහාසයේ විශාලම පෙරළිය කළ ලෝක යුද්ධ වාතාවරණයකින් මුළු ලොවම ඇලලී ගියේය. දැනට ලෝක බලවතකු වන ජපානය ආසියාතික රටවල් ක්‍රමයෙන් අත්පත් කර ගනිමින් සිටියේය. ඒ වන විට ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලය, කොල්ලුපිටිය ශාන්ත තෝමස්‌ ප්‍රාථමික විද්‍යාලය යන විද්‍යාල තෝමස්‌ පවුලේ ප්‍රමුඛ පාසල් විය.

එංගලන්තයේ ජෝන් කීබල් පරම්පරාව අධ්‍යාපනයට ඉතා අගනා සේවයක්‌ කළ පරම්පරාවක්‌ වන අතර අදට ද ඔක්‌ස්‌µර්ඩ්හි කීබල් නමින් විදුහල් ද ඇත. එම පරම්පරාවේ සුවිශේෂී චරිතයක්‌ වන විලියම් තෝමස්‌ කීබල් තරුණ අවධිය වන විටත් චීනය, ජපානය, කැනඩාව වැනි රටවල ගවේශණාත්මක චාරිකාවල යෙදෙමින් වයස අවුරුදු 27 දී ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. එතුමාගේ මුල් පත්වීම වුයේ ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ගුරුභවතකු ලෙසය. ගවේශණාත්මක ගති ලක්‍ෂණවලින් හා දූරදර්ශී ගුණයෙන් පරිපූර්ණ කීබල් නම් අධ්‍යාපන විද්‍යාඥයා දුටු අනාගතයක්‌ විය. එනම් දෙවැනි ලෝක යුද්ධය නිසා කොළඹ පාසල් සඳහා විය හැකි අනතුරයි. මේ අනතුර පූර්වයේදීම දුටු නිසාම කඳුකරයේ පාසලක්‌ ආරම්භ කළ යුතු යෑයි චිත්තාභ්‍යන්තරයේ හටගත් අදහස නිසා සිය බිරිඳ හා මිතුරු මිතුරියන් සමගින් කඳුකර ප්‍රදේශයට පැමිණේ.

පසෙකින් නමුණුකුල ද පසෙකින් වැලිමඩ සානුව ද පසෙකින් නුවරඑළි කඳුවැටිය අතරට මැදි වූ බණ්‌ඩාරවෙල ගොල්µaලිංක්‌ ප්‍රදේශය ඔහුගේ නෙත්සිත් වශී කරවන්නට විය. කුඩා දාරක අධ්‍යාපනයේ අති විශේෂඥයකු වු කීබල් මේ පරිසරයේ ආශ්වාදය දාරක අධ්‍යාපනයට සුදුසුම බව තේරුම්ගත් නිසා මුලින්ම තම නිවසත් අවට ප්‍රදේශයත් මුල් කරගෙන සිසුන් 7 ත් 20 ත් අතර ප්‍රමාණයකින් බණ්‌ඩාරවෙල ශාන්ත තෝමස්‌ ප්‍රාථමික පාසල ක්‍රි. ව. 1942 ජනවාරි මස 20 වන දින (විලියම් තෝමස්‌ කීබල් මහතා ඇතුලු පිරිස) සුභ මොහොතින් ආරම්භය සනිටුවන් කළහ. ඔහු විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ද වේ.

නොයෙක්‌ අඩුපාඩු හා දුෂ්කරතා මැද පෝෂණය වන ශාන්ත තෝමස්‌ විදු මෑණී තොමෝ ක්‍රම ක්‍රමයෙන් ඔද තෙද බල සපිරි සුපිරි පාසලක්‌ දක්‌වා වර්ධනය වන්නේ ජාතියේ පිනටම වේ. නිදහසට පෙර වසර 6 ක්‌ ද නිදහසින් පසු වසර 69 ක්‌ ද වශයෙන් 75 වසරක අභිමානය 2017 වසර වන විට සපුරනු ලබන අතර කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ සභාපතීත්වයෙන් යුත් විද්වත් පාලක මණ්‌ඩලයක්‌ මගින් මෙම විද්‍යාලය පාලනය කෙරේ.

මානා සෙවිලි කළ, කටුමැටි ගැසූ බිත්තිවලින් හා ගෝණි සහිත ආවරණවලින් ඇරඹි ශාන්ත තෝමස්‌ සිප්හල අද වන විට දේශීය විදේශීය දස දහස්‌ ගණනක්‌ සිසුන්ගේ අධ්‍යාපනික ජීවන ගමන් මගේ හැරවුම් ලක්‍ෂය වී ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ පාර්ලිමේන්තුවේ 1930 අංක 7 දරණ පනත මගින් ස්‌ථාපිත ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ශාඛා විද්‍යාලයක්‌ ලෙස රජය පිළිගත් ආධාර නොලබන පෞද්ගලික පාසලක්‌ ලෙස මෙම විදුහල සඳහන් කළ හැකිය.

1942 වසරේ සිට පළමු ශ්‍රේණියේ පටන් 5 ශ්‍රේණිය දක්‌වා පන්ති පැවැත්වෙන ප්‍රාථමික පාසලක්‌ වූ අතර 1969 දී 6 ශ්‍රේණියේ සිට ක්‍රමයෙන් ඉහළ පන්ති ආරම්භ වීමෙන් ද්විතීක පාසලක්‌ ලෙස උසස්‌ කරන ලදී. මේ ගමන් මගේ අද්විතීය සටහන වන්නේ 1975 වසරේ මෙම පාසලින් පළමු වරට භCඨෑ හෙවත් ජාතික පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දරුවන් ඉදිරිපත් කොට 100% ක්‌ ප්‍රතිඵල ලබා ගැනීමයි. ඉන් වසර 5 කට පසු එනම් 1980 වසරේ ගණිත විද්‍යා අංශවලින් උසස්‌ පෙළ සඳහා සිසුන් ඉදිරිපත් කිරීම සිදුවිය. අංග සම්පූර්ණ පාසලකට අයත් ප්‍රාථමික අංශය, කණිෂ්ඨ අංශය, ජ්‍යෙෂ්ඨ අංශය, උසස්‌ පෙළ අංශය යන චතුර්විධ අංශ ඇති නිසා 1989 වසරේදී බණ්‌ඩාරවෙල ශාන්ත තෝමස්‌ විද්‍යාලය නමින් සිය නාමය වෙනස්‌ විය.

අද වන විට නේවාසිකාගාර 5 කින් හා පන්ති කාමර සියයකට අධික ප්‍රමාණයකින් මෙන්ම පුස්‌තකාල, විද්‍යාගාර, තාක්‍ෂණික විද්‍යාගාර, ක්‍රීඩාගාර, ප්‍රධාන ශාලා, ගෘහස්‌ථ ක්‍රීඩාංගණ ආදී සුවිශේෂී සකල අධ්‍යාපනිකාංගයන්ගෙන් උපලක්‍ෂිතය. සිසු දරුවන් 2000 කට ආසන්නව ඉගෙනුම ලබන දිවයිනේ A ශ්‍රේණියට අයත් ප්‍රධානතම පාසලක්‌ බවට පත් වී ඇත.

ජාතික සංහිදියාවේ ප්‍රධාන උදාහරණය ලෙස බණ්‌ඩාරවෙල ශාන්ත තෝමස්‌ විද්‍යාලය රටටම කීර්තියක්‌ මෙන්ම පූර්වාදර්ශයක්‌ ද සපයන්නීය. සිංහල, දමිළ, මුස්‌ලිම්, බර්ගර් යන සියලු ජාතීන් ද බෞද්ධ, කතෝලික, ක්‍රිස්‌තියානි, හින්දු, ඉස්‌ලාම් යන සර්ව ආගමිකයන් ද සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන සර්ව භාෂා කතාකරන්නන් ද සමගින් ඉතා හොඳ සමගි සන්ධානයකින් බැඳි මෙම පාසලේ කටයුතු කරති.

උදෑසන සර්ව ආගමික සත් චාරිත්‍ර නිදහසේ ඒ ඒ ආගමිකයන් වෙන වෙනම ස්‌ථානගතව පත්වා දෛනික වැඩසටහන් ආරම්භ කිරීමත් ඒ ඒ ආගමික උත්සව වන වෙසක්‌ කූඩු ප්‍රදර්ශනය, පොසොන් බැති ගී ප්‍රසංගය, නත්තල් කැරොල් ගී සුගායනය, පාස්‌කු සැමරුම, වානෙවිලා, කලෛයි විලා, මිලාද් උන් නබි සැමරුම ආදී ජාතික ආගමික උත්සව පොදුවේ ඉටු කරති. ඒ ඒ කණ්‌ඩායම් මෙහෙයවීමට විවිධ සංගම් ස්‌ථාපිත කොට ඇති අතර විෂය පරිපෝෂණය සඳහා සාහිත්‍ය සංගමය, විද්‍යා සංගමය, පරිසර සංගමය වැනි සංවිධාන ද ඇත. ක්‍රීඩා ක්‍ෂේත්‍රය ද ඉතා දියුණු මට්‌ටමක පවතින අතර ක්‍රිකට්‌, පැසිපන්දු, පාපන්දු, රග්බි, චෙස්‌, බැඩ්මින්ටන් ආදී සියලු ක්‍රීඩා අංශයන්ගෙන් ජාතික මට්‌ටමේ ජයග්‍රහණ හා පළාත්, ප්‍රාදේශීය ජයග්‍රහණ රාශියක්‌ පාසල හිමිකරගෙන තිබේ.

ජාතික මට්‌ටමේ විභාගයන්වන ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ යන විභාගවල ප්‍රතිඵල මේ දක්‌වා 95% මට්‌ටමින් සමත් වීමේ ප්‍රතිශතය පහළ නොබැස ඇතිවාසේම පළාත් පළමුවන, දිස්‌ත්‍රික්‌ ප්‍රථම, ජාතික 25 ට අඩු මට්‌ටමේ ජයග්‍රහණද හිමිකරගෙන ඇත.

විද්‍යාලයේ එදා මෙදා තුර සුවිශේෂී විදුහල්පතිවරුන් 8 දෙනකු යටතේ පාලනය වී ඇත. විවිධ අංශභාර ගුරු මහත්ම මහත්මීන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඒ ඒ අංශ ක්‍රියාත්මක වන අතර විෂය ප්‍රධානීන්ගේ අධීක්‍ෂණයෙන් විෂය දියුණු කිරීමේ කටයුතු කෙරේ. ග්‍රන්ථ දස දහසකට ආසන්න ප්‍රමාණයකින් යුත් අග්‍රගණ්‍ය පුස්‌තකාලයක්‌ වෙනමම පාලනය වන අතර පරිපාලන ඒකකයක්‌ පාසල් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සිය මෙහෙය ඉටු කරේ.

ප්‍රදේශයේ ප්‍රධාන පාසල්වලට නොදෙවැනි ප්‍රතිඵල හා විද්‍යාගාර ආදී භෞතික සම්පතින්ද ක්‍රියාශීලී, උගත් හා නිර්මාණශීලී තරුණ ගුරු මහත්ම මහත්මීහු 130 කට අධික පිරිසක්‌ හා 30 කට අධික සහාය සේවක මණ්‌ඩලයක්‌ ද මෙම පාසලේ දියුණුව වෙනුවෙන් උපරිම දායකත්වය දක්‌වමින් කටයුතු කරති. නව නායකත්ව සංකල්පවලින් යුත් නියාමකයින් බිහි කිරීමේ අරමුණින් මනාව සංවිධානය කරන ලද ශිෂ්‍ය නායක මණ්‌ඩලයක්‌ ද ක්‍රියාත්මකය.

නෙත් සිත් පහන් වන හරිත වර්ණිත සුවිසල් ක්‍රීඩාංගණ හා ක්‍රීඩාගාරය මගින් පාසලට නව ජීවයක්‌ ලබාදෙන අතර ඉපැරණි දේවස්‌ථානය මගින් ආගමික සංහිදියාව ද, තෙමහල් නව උසස්‌ පෙළ අංශය මගින් මහා පෞඪත්වයක්‌ද, පාසලට ඇතුල්වෙත්ම අභිමානවත් අයුරින් සැම පිළිගන්නාක්‌ මෙන් තිබෙන එංගලන්ත ගෘහ නිර්මාණ ආකෘතියට නිම වූ ප්‍රධාන ශාලාව හා ගෘහස්‌ථ ක්‍රීඩාංගණය මගින් රාජකීයත්වය ද, ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් රංගපීඨය මෙම විද්‍යාල භූමියේ පිහිටා තිබීම ද මගින් ඓතිහාසිකත්වය විරාජමාන වේ.

ඉතිහාසය පුරාවට ජනාධිපති පදික්‌කම්ලාභී බාලදක්‍ෂ නායකයින් 75 දෙනෙකුගෙන් යුත් බාලදක්‍ෂ ව්‍යාපාරයක්‌ද නව තාක්‍ෂණික දැනුම දැයට දායාදිත දරු පිරිසක්‌ ද බිහි කිරීමේ අරමුණින් තාක්‍ෂණික සංසදයක්‌ ද පාසල තුළ ක්‍රියාත්මක වේ.

වසර 75 ක අභිමානය සමරමින් ඩයමන්ඩ් ජුබිලිය අබියස රැදෙන බණ්‌ඩාරවෙල ශාන්ත තෝමස්‌ විදු මෑණියන් වහන්සේට තව තවත් ඈ ඇකයේ ජාතියක්‌ පෝෂණය කළ හැකි දරු පිරිසක්‌ වැඩෙන්ටත් සියක්‌ වස්‌කල් සුජීවත් වන්ටත් ආසිරි පතම්හ.

ශාස්‌ත්‍රපති,
උපුල් සිංහපතිරණ
බ/ ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ආචාර්ය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.