තිස්‌සට එරෙහි
නඩුවේ සාක්‍ෂි දීමට
ජනපතිට අගමැතිට
යළි සිතාසි

ඒ. ඡේ. ඒ. අබේනායක

පසුගිය ජනාධිපතිවරණ සමයේදී කූට ලේඛනයක්‌ ඉදිරිපත් කොට ජනමාධ්‍ය හමුවකදී ව්‍යාජ තොරතුරු ප්‍රකාශ කිරීම ඇතුළු අධිචෝදනා යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා ලබන ජුලි 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට නැවත සිතාසි යෑවීමට කොළඹ මහාධිකරණය ඊයේ (20) නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරු වන අගමැතිවරයාගේ සාක්‍ෂි මෙහෙයවීමෙන් පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්‌ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නියෝගය කළේය.

පැමිණිල්ලේ පළමුවන හා දෙවන සාක්‍ෂිකරුවන් ලෙස නම් කොට ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඊයේ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පෙර නඩු දිනයේදී මහාධිකරණය විසින් නියෝග කොට තිබුණි. රාජකාරි කටයුතු නිසා ඊයේ පෙනී සිටීමට නොහැකි බැවින් වෙනත් දිනයක්‌ ලබාදෙන ලෙසට එම සාක්‍ෂිකරුවන් දෙදෙනා ලිතව අධිකරණයෙන් ඉල්ලීමක්‌ කොට ඇති බැවින් නඩුවේ සාක්‍ෂි විභාගය ලබන ජුලි 17 වැනිදා සිට 28 වැනිදා දක්‌වා දිනපතා පැවැත්වීමට දින නියම කළ විනිසුරුවරයා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ඇතුළු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට යළි එදින පෙනී සිටින ලෙසට අවවාද කළේය.

එම නඩුව ඊයේ කැඳවූ අවස්‌ථාවේදී විත්තිකාර තිස්‌ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා කරුණු දක්‌වමින් විදේශ රටක සිටින සිය සේවාදායකයාගේ දියණිය දැක බලා ගැනීමට විදේශගතවීම සඳහා විත්තිකරුට අවසර ලබාදෙන ලෙසට ඉල්ලීමක්‌ කිරීමට අපේක්‍ෂා කරන බව අධිකරණයට දැනුම් දුන්නේය. එම ඉල්ලීම ලිතව මෝසමක්‌ මගින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද විත්තියේ නීතිඥවරයා වැඩිදුරටත් පැවැසීය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිsරිහාගම මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්‌ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවිය. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා, නීතිඥ නිරෝෂන් සිරිවර්ධන, නීතිඥ කාංචන රත්වත්තේ ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමග විත්තිය නියෝජනය කළේය.

13 වන සාක්‍ෂිකාර අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ නිරෝෂණ පෙරේරා මහතා පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.