මල්වානේ සුපිරි නිවෙස
වෙන්දේසි කිරීම අත්හිටුවයි

උසාවියේ තීරණය 23 දා දැනුම් දෙයි

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක, පූගොඩ - සරණපාල නුවරපක්‍ෂ

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු තිදෙනකුට හිමිකමක්‌ නොමැති බවට පැවසීමෙන් අනතුරුව ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය මගින් තීන්දු කර තිබූ මල්වානේ පිහිටි අක්‌කර 16 ක නවීන පන්නයේ නිවසක්‌ සහිත ඉඩම ඇතුළු දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙසට පූගොඩ මහෙස්‌ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය ඊයේ (20 වැනිදා) නියෝග කළාය.

පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. ඒ. සී. රණසිංහ, සැරයන් ගුණසේකර යන නිලධාරීන් විසින් මෙම නඩුව කැඳවන ලෙසට මෝසමක්‌ මගින් ඊයේ (20 දා) පූගොඩ අධිකරණයෙන් ඉල්ලා තිබිණි. රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක්‌ ලෙස රජයේ තක්‌සේරු දෙපාර්තමේන්තුව එකී දේපළ තක්‌සේරු කර ඇති අතර එම ඉඩම සහ දේපළ රජයට පවරාගෙන මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පරිහරණය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට දැනුම් දී ඇති බවට අධිකරණයේදී සඳහන් විය. ඒ අනුව එම ඉඩම සහ දේපළ ප්‍රසිද්ධියේ විකිණීම තාවකාලිකව අත්හිටුවූ මහෙස්‌ත්‍රාත්වරිය ඉඩම සහ දේපළ සම්බන්ධව ගන්නා තීන්දුව ලබන 23 වැනිදාට ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළාය.

අක්‌කර 16 රූඩ් 01 පර්චස්‌ 08 කින් සමන්විත මල්වාන ගඟබඩ පාරේ අංක 111/03 දරණ ස්‌ථානයේ පිහිටි ඉඩම 2010 වර්ෂයේ නොවැම්බර් මස 25 වැනි දින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඥාතියකු වන තිරුකුමාර් නඩේසන් යන අය රුපියල් ලක්‍ෂ 640 කට මිලට ගෙන 2013 වර්ෂයේ පෙබරවාරි මස 11 වැනි දින නිවසක්‌ ඉදිකිරීමට මුල්ගල තබා නවීන පන්නයේ නිවසක්‌ ඉදිකර තිබේ.

එම ඉඩම මිලට ගෙන නිවසක්‌ ඉදිකිරීම සඳහා මුදල් උපයා ගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් සැකකරුවන් ලෙස නම් කරමින් පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි. එම දේපළෙහි අවසන් හිමිකරු මුදිත ජයකොඩි නමැත්තකු වූ අතර එකී මුදිත ජයකොඩි ද තිරුකුමාරන් නඩේෂන් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ද එම ඉඩම ඇතුළු දේපළවලට හිමිකම් නොකියන බවට අධිකරණයට කළ දැනුම්දීම මත එම දේපළ ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය තීන්දු කර තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.