එක්‌දින තැන්පතු සඳහා පොලිය 6.5% දක්‌වා
වැඩි කිරීමට අර්ජුන උපදෙස්‌ දුන්නා
මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලයේ ලේකම්

සරත් ධර්මසේන, ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල මණ්‌ඩලය විසින් ගෙන තිබූ තීරණයද අබිබවා යමින් මහ බැංකුවේ එක්‌දින තැන්පතු සඳහා ගෙවිය යුතු පොලී අනුපාතය 5% සිට 6.5% දක්‌වා වැඩි කිරීමට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උපදෙස්‌ දුන් බව බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (20 දා) 3 වැනි දිනටත් සාක්‍ෂිදුන් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ ලේකම් සහ සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා පැවැසීය.

2015 පෙබරවාරි 27 දින එම උපදෙස්‌ ලබාදුන් බව ඔහු කීවේය.

ඔහු ගත් එම තීරණය බැඳුම්කර ගැනුම්කරුවන්ට සහ ඒ සඳහා උනන්දුවක්‌ දක්‌වන සියලු දෙනාගේම දැන ගැනීම පිණිස චක්‍රලේඛයක්‌ නිකුත් කරන ලෙසටද ඔහු උපදෙස්‌ දුන් බවත් ඒ අනුව දේශීය මෙහෙයුම් අංශයේ අධ්‍යක්‍ෂ රොද්‍රිගු මහතා එම කාර්ය ඉටුකළ බවත් කරුණාරත්න මහතා කීය.

අදාළ එක්‌ දින පොළී අනුපාතය නොවෙනස්‌ව පැවතිය යුතු බවට මුදල් මණ්‌ඩලය නිශ්චිත තීරණයකට එළඹී තිබුණත්a, හිටපු මහ බැංකු අධිපති විසින් එම තීරණය අහෝසි කළා. පොලී අනුපාතය වැඩි වුණාට කමක්‌ නැහැ යන්න ඔහු ඒ සම්බන්ධයෙන් දැක්‌වූ ස්‌ථාවරය යයිද ඊට කිසිවකු විරෝධය ප්‍රකාශ නොකළ බවද කරුණාරත්න මහතා කීය.

විනිසුරු ජයවර්ධන මහතා- එම එක්‌ දින පොලී අනුපාතය 6.5% දක්‌වා වැඩි කිරීමට හිටපු අධිපති උපදෙස්‌ දුන්නේ කවදාද?

කරුණාරත්න මහතා- 2015 පෙබරවාරි 27 දා.

විනිසුරු ජයවර්ධන මහතා- වේලාව කීයට විතර ඇත්ද?

කරුණාරත්න මහතා- එදා උදේ 9.00 ට පමණ.

ගෙවන පොලී අනුපාතය වැඩි කිරීමට පෙර ඉන් ඇතිවිය හැකි අනිටු විපාක ගැන හොඳින් සලකා බැලිය යුතු බවත් විශේෂයෙන් වෙළෙඳ පොළේ ඇති විය හැකි හදිසි අනපේක්‍ෂිත වෙනස්‌වීම්, උද්ධමනය, වෙළෙඳ පොළේ ද්‍රවශීලතාවය එනම් මුදල් ගැවසීම යනාදී කරුණු සැලකිල්ලට ගත යුතු බවත් කරුණාරත්න මහතා පැවැසීය.

ඒ කරුණ ගැන සාකච්ඡාවට භාජන කරමින් සිටි ආර්ථික පර්යේෂණ කමිටුවට හදිසියේම පැමිණි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඒ පිළිබඳ විස්‌තර විමසූ බවත් මහ බැංකුවේ විවිධ විෂයයන්ට අදාළව කමිටු 30 ක්‌ පමණ තිබෙන බවත් සාමාන්‍යයෙන් මහ බැංකු අධිපතිවරයෙක්‌ කමිටු රැස්‌වීම්වලට පැමිණෙන්නේ නැති බවත් 2009 වසරේ සිට මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ තනතුරක්‌ දැරූ තමාට එවැනි අත්දැකීමක්‌ නැති බව නිශ්චිතව කිව හැකි බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ පොලිය වැඩි කිරීමේ තීරණය භාණ්‌ඩාගාර වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කිරීමේ පොලියට බලපාන මිල සංවේදී සාධකයක්‌ බවද කොමිසමේ විනිසුරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කරුණාරත්න මහතා කියා සිටියේය.

කරුණාරත්න මහතාගේ සාක්‍ෂිය ඊයේ කොමිසම හමුවේ මෙහෙයවනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වන ෂහීsඩා බාරි මහත්මිය විසිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.