රජයේ මැනුම් කටයුතු
ඇමරිකානු සමාගමකට?


ප්‍රියදර්ශන ලියනගේ

මිනින්දොරු දෙපාර්තමේන්තුව වසා දමා රජයේ සියලු මැනුම් කටයුතු ඇමරිකානු සමාගමකට පැවරීමට රජය සැලසුම් සකසා ඒ සඳහා වන කැබිනට්‌ පත්‍රිකාව අත්සන් කිරීමට ඉඩම් අමාත්‍යාංශයට එවා ඇතැයි මිනින්දොaරු සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. පී. බී. උදුගොඩ මහතා 'දිවයින'ට ඊයේ (20 දා) පැවසීය.

මෙලෙස මැනුම් කටයුතු ඇමරිකානු සමාගමට පැවරීම රටේ ජාතික ආරක්‍ෂාවට විශාල තර්ජනයක්‌ විය හැකි බවට ද හෙතෙම අනතුරු ඇඟවීය.

රජයේ විශේෂ ආර්ථික කමිටුව විසින් මෙම කැබිනට්‌ පත්‍රිකාව සකස්‌ කර තිබෙන අතර මෙම කැබිනට්‌ පත්‍රිකාවට අනුව රට පුරා පිහිටි ඉඩම් කට්‌ටි ලක්‍ෂ 40 ක්‌ මැන බෙදා වෙන්කර පිඹුරු සකස්‌ කිරීමේ කටයුතු ඇමරිකානු ටිම්මර් සමාගමට ලබා දීමට සැලසුම් කර ඇතැයි ඒ මහතා කීය.

සභාපතිවරයා වැඩි දුරටත් මෙසේද පැවසීය. වර්ෂ 1800 සිට ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් මැන බෙදා වෙන්කර පිඹුරු සකස්‌ කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවේ මිනින්දොaරු දෙපාර්තමේන්තුව විසිනුයි. රජයේ අලුත්ම සැලසුම වී තිබෙන්නේ මිනින්දොaරු දෙපාර්තමේන්තුවෙන් එම කටයුතු ඉවත් කර ඇමරිකානු සමාගමට ලබා දීමයි.

ඇමරිකානු සමාගම මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 154 ක ණය මුදලක්‌ 4% පොලියට ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම මත ලබාගෙනයි. මෙම මුදල් රජය විසින් වසර 5 කින් පසුව ගෙවිය යුතු වෙනවා.

ඇමරිකානු සමාගමකට රජයේ මැනුම් කටයුතු පැවරීම හරහා ජාතික ආරක්‍ෂාවට ප්‍රබල තර්ජනයක්‌ එල්ල වෙනවා. එම නිසා වහාම රජය මෙම සැලසුම් හකුලා ගත යුතුයි.

මේ පිළිබඳව ඉඩම් ඇමැති ජෝන් අමරතුංග මහතාට පෙබරවාරි 21 වැනිදා අප සංගමයේ විරෝධය ලිතව දැනුම් දුන්නා. එහිදී ඇමැතිවරයා මෙම කැබිනට්‌ පත්‍රිකාව සකස්‌ කිරීමට තමා දායක නොවූ බව අපට දැනුම් දුන්නා.

මේ පිළිබඳව ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාගෙන් 'දිවයින' ඊයේ විමසූ විට හෙතෙම පැවසුවේ මැනුම් කටයුතු ඇමරිකන් සමාගමට ලබාදීමේ රජයේ කිසිම සැලසුමක්‌ නොමැති බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.