උළුක්‌කුලමේ ටිපර් ගැටුමෙන් රියෑදුරු මරුට
දෙදෙනකුට බරපතළයි


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ උළුක්‌කුලම තිස්‌ අටේ කණුව ප්‍රදේශයේ තලාව ඇළේ පාලම මතදී ඊයේ (20 දා) අලුයම 12.40 ට පමණ ටිපර් රථ දෙකක්‌ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මාරක අනතුරකින් එක්‌ ටිපර් රථයක රියෑදුරෙකු එම ස්‌ථානයේදීම මිය ගොස්‌ අනෙක්‌ ටිපර් රථයේ රියෑදුරු සහ එහි ගමන් ගත් පොලිස්‌ කොස්‌තාපල්වරයකු බරපතළ තුවාල ලබා ඇත.

පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ගමන් ගත් ටිපර් රථයේ රියෑදුරු වන කහටගස්‌දිගිලිය, සෙන්දික්‌වැව ප්‍රදේශයේ පදිංචි පනස්‌ පස්‌ හැවිරිදි කරුණාරත්න දිසානායක නමැති අය මේ අනතුරින් මිය ගොස්‌ ඇත.

අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ගමන් ගත් ටිපර් රථයේ රියෑදුරු වන ත්‍රිකුණාමලය චීන වරාය හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි හැට හය හැවිරිදි ඇන්තනි ප්‍රනාන්දු සහ අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු නොච්චියාගම පදිංචි පොලිස්‌ කොස්‌තාපල් සුගතපාල සමරවීර මහත්වරුන් මේ අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

අනතුර සිදුවූ අවස්‌ථාවේ එක්‌ ටිපර් රථයක්‌ ගිනි ගැනීමකට ලක්‌ව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් වහාම එය නිවා දමා තුවාලකරුවන් පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි. එක්‌ ටිපර් රථයක්‌ තුළ සිරවී මියගොස්‌ සිටි රියෑදුරුගේ සිරුර ඉන් පිටතට ගැනීමට ප්‍රදේශවාසීන්ට පැය දෙකකට ආසන්න කාලයක්‌ දැඩි උත්සාහයක නිරතවීමට සිදුවී තිබිණි.

මිය ගිය රියදුරාට රථය ධාවනය කරමින් සිටියදී එකවරම නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වන අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.