ආබාධිත රණවිරුවෝ හෙට යළි කොළඹට

ඇමැති යාපා ගැටලුව  විසදයිද?

තමන්ට මෙතෙක්‌ ලැබුණු අයවැය දීමනා සහ අකතුරු දීමනා ඉකුත් පළමු වැනිදා සිට කපා දැමීමට විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කටයුතු කිරීමත් සමඟ ආබාධිත සහ මියගිය රණවරුවන්ගේ බිරින්දැවරුන් ඇතුළු පවුල්වල සමාජිකයන් කළේ විශ්‍රාම වැටුප් දෙපරේතමේන්තුව අභියසට පැමිණ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමය.

එකී උද්ඝෝෂණය ඉකුත් 14 වැනිදා පැවත්වුණු අතර එහිදී රණවිරුවන් සහ බිරින්දැවරුන් අතරින් නියෝජිතයන් පස්‌ දෙනකු කැඳවා ගැටලුව ගැන සාකච්ඡා කිරීමට විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සිදු විය.

මෙම සාකච්ඡාවේදී රණවිරු ප්‍රජාවේ පාර්ශ්වයෙන් නැගුණු ප්‍රධානම ප්‍රශ්නය වූයේ රජයන් කිහිපයක්‌ යටතේ තමන්ට මෙතෙක්‌ කලක්‌ ලබා දුන් අයවැයි දීමනා සහ අතුරු දීමනා හිටි හැටියේ කපා දමන්නට උපදෙස්‌ දුන්නේ කවරෙක්‌ද යන්නය.

එහෙත් ඔවුන් එසේ විමසා සිටියද අපේ විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්ට ඊට දෙන්නට පැහැදිලි පිළිතුරක්‌ තිබුණේ නැත. ඇතැම්විට උපදෙස්‌ දුන් කෙනා හෙළි කරන්නට යැමෙන් ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමය අනුව දේශපාලන උදහසට ලක්‌ වී තමන්ට පුටුව අහිමි වන සැටි ඔහුට මැවී පෙනුනාද විය හැකිය.

ඒ අනුව උත්තර නැතිවූ විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවසානයේ තොණ්‌ඩුව ගෙන තමන්ගේම බෙල්ලට දමා ගන්නා අයුරින් රණවිරු දීමනා කපා දැමීමට කටයුතු කළේ තමන් යෑයි සඳහන් කළ බව එදා ඒ සාකච්ඡාවේ සිටි රණවිරුවෙක්‌ අපට පැවසීය.

එසේ වුවද අදාළ දීමනා කප්පාදුව පිළිබඳ තව දුරටත් සාකච්ඡා කොට එළැඹෙන බදාදා (22 වැනිදා) නිශ්චිත පිළිතුරක්‌ ලබා දෙන බව හෙතෙම පැවසීම නිසා එදින පැවත්වූ උද්ඝෝෂණය තාවකාලිකව අත්හිටවූ රණවිරුවෝ විසිර යන්නට වූහ.

මෙසේ රණවිරුවන් විසිර යමින් සිටියදී එදින සිදුවූ තවත් විශේෂිත දෙයක්‌ද විය. ඒ රාජ්‍ය මුදල් ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ඔවුන්ගෙන් පිරිසක්‌ කැඳවා හදිසියේ සාකච්ඡාවක්‌ පවත්වමින් රණවිරුවන්ගේ ගැටලුව කුමක්‌දැයි විමසීමට කටයුතු කිරීමය.

මේ දක්‌වා කිසිදු අවස්‌ථාවක ආබාධිත රණවිරුවන් වීදි බසින්නේ ඇයිදැයි යන්න සොයා නොබැලූ ඇමැතිවරයා එදින එසේ කටයුතු කිරීමට මුල් වූ එක්‌ ප්‍රධාන හේතුවක්‌ද විය. ඒ ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අභියස උද්ඝෝෂණ පවත්වද්දී එසේ උද්ඝෝෂණ කරනුයේ මාතරින් ආ රණවිරුවන් පිරිසක්‌ යෑයි පවසමින් කවුරුන් විසින් හෝ ඇමැතිවරයාට වැරදි තොරතුරක්‌ ලබාදීම නිසාය.

මාතර යනු තමන්ගේ දිස්‌ත්‍රික්‌කය බැවින් එකී ගැටලුවට ලක්‍ෂමන් යාපා අබේවර්ධන මැදිහත් වන්නේ ඒ අනුවය. එහෙත් රණවිරුවන්ගේ ගැටලුව මාතරට පමණක්‌ සීමා වූවක්‌ නොව රටේම සිටින ආබාධිත සහ මියගිය රණවිරුවන්ට බලපා තිබෙන්නක්‌ බව පසුව ඇතැමැතිවරයා තේරුම් ගත්තේය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී ඇති වූ යම් යම් එකඟතා මත අවසානයේ ඊට සහභාගි වී සිටි ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවෝ පවුල්වල සාමාජිකයෝ ඇමැතිවරයාගෙන් සමු ගෙන පිටව ගියහ.

මේ අන්දමට ඉකුත් මාර්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වූ ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ දීමනා කප්පාදුව පිළිබඳ පැවති රණවිරු උද්ඝෝෂණයට දින අටක පමණ තාවකාලික විරාමයක්‌ සහිත පැලැස්‌තර විසඳුමක්‌ ලැබෙද්දී ඉකුත් 17 වැනිදා සිදුවූ තවත් විශේෂිත දෙයක්‌ද විය.

ඒ යුද හමුදා රණසේවා අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනකට අනුව ආසන්න වශයෙන් තිස්‌ දහසක්‌ පමණ වන (30000) රට වෙනුවෙන් සටනට ගොස්‌ ආබාධීත වු රණවිරුවන් අතරින් එක්‌දහස්‌ පන්සියයක පමණ රණවිරුවන් පිරිසක්‌ පනාගොඩ යුද හමුදා ජනපදයට ගෙන්වා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමය.

මෙම රණවිරු ගැටලු සාකච්ඡාව සඳහා යුද හමුදා පිරිස්‌ පාලන අධ්‍යක්‍ෂ මණ්‌ඩලය, සුබසාධක අධ්‍යක්‍ෂ මණ්‌ඩලය, වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්‌ඩලය, නියෝජනය කරමින් ඒවායෙහි ජ්‍යෙaෂඨ නිලධාරීහු ද සහභාගි වූහ. යුද හමුදා වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම සාකච්ඡාවේදී ඊට සහභාගි වූ ආබාධිත රණවිරුවන්ට උසස්‌ හමුදා ප්‍රධානීන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පවත්වමින් තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමටද අවස්‌ථාව හිමි වී ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වාගේ අදහසකට අනුව රණසේවා අධ්‍යක්‍ෂ මණ්‌ඩලය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන නම් අගය කළ යුතුය. අඩුම තරමේ තිස්‌දහසක්‌ පමණ වන ආබාධිත රණවිරුවන් අතරින් 1500 ක්‌ හෝ මෙසේ ගෙන්වා ඔවුන් ආමන්ත්‍රණය කිරීම හොඳ දෙයකි.

ඉකුත් යුද්ධයෙන් පසු ආබාධිත රණවිරුවා කිහිලි කරුවෙන් සහ රෝද පුටුවෙන් යද්දී ඔවුන් වෙනුවෙන් පෙනී සිට කටයුතු කිරීමේ වගකීම පැවරී තිබූ ඇතැම් හමුදා ප්‍රධානීන් ශීත කාමරවල සිට දොaලාවෙන් ගමන්a කරන්නට වීම රණවිරුවන් වීදි බැසීමේ වත්මන් රෝගයේ එක්‌ රෝග නිධානයක්‌ බවද කිව යුතු වේ.

ඒ කෙසේ වෙතත් මෙදා පනාගොඩ යුද හමුදා ජනපදයට ආබාධිත රණවිරුවන් කැඳවා සිදු කළ සාකච්ඡාවේදී ද සිදු වූයේ දතේ අමාරුවට කනට බෙහෙත් විද්දාක්‌ මෙන් කෑම වේලක්‌ සමඟ ප්‍රවාහන පහසුකම් දී ආබාධිත රණවිරුවා මුලා කිරීමට උත්සාහ ගැනීම බව අප නොව එයට සහභාගි වූ ඇතැම් රණවිරුවෝ කියති.

මෙකී සාකච්ඡාව පැවතියේ 17 වැනිදාය. ඒ පිළිබඳ ඇතැම් රණවිරුවන් මේ ලියුම්කරු අමතා ගුණාගුණ කියන්නට වූයේ 18 වැනිදා සිටය. ඒ අතරේ අද පනාගොඩ යුද හමුදා ජනපදයේ ඇති යුද හමුදාව මගින් කාලයක සිට පවත්වාගෙන යනු ලබන විහාරස්‌ථානය පිළිබඳව අපූරු කතාවක්‌ද ඔවුහු කියන්නට වූහ.

ඒ සති අන්තයට පනාගොඩ යුද හමුදා ජනපදයේ විහාරස්‌ථානයට පැමිණෙන විශ්ව ශක්‌තියෙන් ලෙඩ සුව කරන ජීවකයකු නිසා මේ වන විට එහි සිටින රණවිරු දරුවන්ට ඉරිදා දිනයන්හි විහාරස්‌ථානයේ පැවැත්වෙන දහම් පාසලට පැමිණ බුදු දහම හැදැරීමට ඇති අවස්‌ථාවද අහිමි වී තිබෙන බවය.

මෙකී ජීවකයා පනාගොඩ පන්සලට එන්නේ කාගේ අවසරයකින්ද එහි කොටස්‌කරුවන් වී සිටින්නේ කවුරුන්ද යන්න වග කිසිවකුත් දන්නේ නැත. එහෙත් ඔහු පැමිණ විශ්ව ශක්‌තියෙන් ලෙඩ සුව කිරීම සඳහා කටයුතු කරනුයේ දහම් පාසලේ ගොඩනැගිලිවල වන අතර ඒ දිනවලට විශාල පිටස්‌තර ජනතාවක්‌ පනාගොඩ විහාරයට පැමිණෙන බවද ඔවුහු කියන්නාහ.

මෙය මාතෘකාවෙන් පිට කතාවක්‌ වුවද වැදගත්කම සලකා පනාගොඩ යුද හමුදා ජනපදයේ සිටින රණවිරු දරුවන්ගේ යහපත වෙනුවෙන් යුද හමදාපතිවරයාගේ අවධානය පිණිස සටහන් කරන්නට අපි තීරණය කළෙමු.

ආබාධිත රණවිරුවන් පනාගොඩ කඳවුරට ගෙන්වා යුද හමුදා බලධාරීන් සිදු කළ සාකච්ඡාවේ කතාව එසේ වෙද්දී අයවැය සහ අතුරු දීමනා කප්පාදුවට එරෙහිව වීදි බට රණවිරුවන් කැඳවා තවත් සාකච්ඡාවක්‌ පැවැත්වීමට මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

රණවිරුවගේ එකී ගැටලුවට විසඳුමක්‌ දීම සඳහා සිදු කරන එම සාකච්ඡාව අද (21 දා) මුදල් අමාත්‍යaංශයේදී පැවත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා රට පුරා දිස්‌ත්‍රික්‌ක ගණනාවක රණවිරු සංගම් නියෝජිතයෝ සහභාගි වන බවද සඳහන් වන්නාහ.

ඉකුත් 14 වැනිදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අභියසදී පැවති උද්ඝෝෂණය තාවකාලිකව නතර කිරීමේදී ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු ඇතුළු පවුල්වල සාමාජිකයන් සඳහන් කරනු ලැබුවේ හෙට (22 වැනිදා) විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලබා දෙන බව කී නිශ්චිත විසඳුමට අනුව තීරණයක්‌ ගැනීම සඳහා යළි එහි පැමිණෙන බවය.

එහෙත් තමන් සමඟ අද (21දා) ගැටලු විසඳීමට සාකච්ඡාවක්‌ පැවැත්වෙන බැවින් 22 වැනිදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අසළට යළි පැමිණීමෙන් වලකින ලෙස ඇමැතිවරයා පවසා ඇතත් ගැටලුවට මැදි වී සිටිනුයේ රටපුරා සිටින ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරුන් බැවින් හදිසියේම ඔවුන්ගේ පැමිණීම වැලැක්‌වීමට හැකියාවක්‌ නොමැති බව රණවිරුවන්ගේ පාරරශ්වයෙන් සඳහනක්‌ කර ඇතැයිද වාර්තා වන්නේය.

ඒ අනුව ඔවුන් හෙට (22 දා) නියත වශයෙන්ම යළි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අභියසට එන්නේය. එහෙත් ඒ වන විට 21 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවට අනුව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ගැටලුව විස¹ රණවිරුවන්ට සහනයක්‌ අත්කර දෙනු ඇතිද?

එසේ විසඳුමක්‌ නොලැබුණහොත් 22 වැනිදා යළි කොළඹට එන ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු එතැන්සිට ගන්නා පියවර කුමක්‌ වනු ඇතිද?

* සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.