කතකගේ රන් මාලය කඩා ගැනීමට තැත් කළ
දෙදෙනාට පොලිසියෙන් වෙඩි

ලසිත දුමින්ද සහ කමල් ප්‍රියංකර - මාදම්පේ

කාන්තාවකගේ රන්a මාලයක්‌ කඩාගෙන පලා යැමට උත්සාහ කළ කොල්ලකරුවන් දෙදෙනකුට පොලිසිය විසින් ඊයේ (20 වැනිදා) වෙඩි තබා ඇත.

හලාවත පොලිස්‌ වසමේ ආරච්චිකට්‌ටුව ප්‍රදේශයේදී තම දරුවා පාසලට රැගෙන යමින් සිටි කාන්තාවක පැළැඳ සිටි රන් මාලයක්‌ කඩා ගැනීමට තැත් කිරීමේදී පොලිසිය විසින් මෙසේ වෙඩි තබා තිබේ.

යතුරු පැදියකින් පැමිණි මෙම කොල්ලකරුවන් දෙදෙනා එම කාන්තාවගේ රන් මාලය කඩා ගැනීමට උත්සාහ කර ඇති අතර, කාන්තාව ඊට ඉඩ දී නැත.

සිද්ධිය දුටු ඇයගේ සැමියා සහ ප්‍රදේශවාසීන් එක්‌ව කොල්ලකරුවන් අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ කොල්ලකරුවන් පුත්තලම දෙසට පලා ගොස්‌ තිබේ.

ප්‍රදේශවාසීන් කොල්ලකරුවන් පසුපස හඹා යන අවස්‌ථාවේ සිද්ධිය පිළිබඳව මාර්ග ආරක්‍ෂාවේ යෙදී සිටි පොලිසියට දැනුම් දී ඇත. පොලිසිය කොල්ලකරුවන්ට නවතින ලෙස සංඥා කළ එය නොතකා යතුරුපැදිය ධාවනය කිරීම නිසා කොල්ලකරුවන්ට වෙඩි තබා ඇත.

පොලිසියේ වෙඩි වැදී කීරියන්කල්ලිය ප්‍රදේශයේදී කොල්ලකරුවන් දෙදෙනා ඇද වැටී ඇති අතර, තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දංකොටුව, වෙන්නප්පුව, මාරවිල, මාදම්පේ යන පොලිස්‌ බල ප්‍රදේශවල ක්‍රියාත්මක යතුරුපැදිවලින් පැමිණෙන සංවිධානාත්මක අපරාධ කල්ලියක්‌ පිළිබඳව පොලිසියට පැමිණිලි රැසක්‌ ලැබී තිබිණි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් එම සංවිධානාත්මක අපරාධ කල්ලියට සම්බන්ධ දැයි යන්න හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.