පරාජයට කාටවත් දොස්‌ කියා වැඩක්‌ නැහැ
- රංගන හේරත්

අසේල විතාන

ලොව අවසන් වරට ටෙස්‌ට්‌ වරම් දිනු බංග්ලාදේශය සිය ඓතිහාසිය සියවැනි ටෙස්‌ට්‌ සැමරුම ජයග්‍රහණයකින් සමරද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළ සියලු වැරදි එම පරාජයට හේතු වූ බව නායක රංගන හේරත් පවසයි.

"මේ පරාජයට කාටවත් දොස්‌ කියල වැඩක්‌ නැහැ. ඒක ක්‍රීඩකයන් භාර ගත යුතුයි. වසර ගණනාවක සිට අපේ පන්දු රැකීම දුර්වල තත්ත්වයක තියෙන්නෙ. ක්‍රීඩකයන් හැටියට ඒ අය ඒ වගකීම භාරගත යුතුයි. පිතිකරුවන් සහ පන්දු රකින්නන් අතින් වුන වැරදි නිසා තමයි පරාජයට පත් වුණේ." යෑයි රංගන හේරත් පැවසීය.

ශ්‍රී ලංකා පිලට ජය ගැනීමට අවස්‌ථාව තිබුණත් පන්දු රකින්නන් අතින් සිදුවූ වැරදි නම් එමටය. සියල්ල බංග්ලාදේශයයේ වාසනාවට පෙරලෙද්දී තරගාවලියේ වීරයා වෙමින් පළමු ඉනිමේදී ශතකයක්‌ රැස්‌ කළ ෂකීබ් අල් හසන් ශතකය කරා යන අතරතුර අවස්‌ථා තුනකදී බේරුණි.

ෂකීබ් ලකුණු 11 දී සඳකැන්ගේ පන්දුවකට ඩීප් මිඩ් විකට්‌ හී සිටි උපුල් තරංගට දුන් උඩපන්දුව ඔහු අතහැරීමෙන් එය හතරේ සීමාව පසු කර ගියේය. අනතුරුව ලකුණු 40 දී ෂකීබ්ව දුවද්දී දවා ගැනීමට තිබූ අවස්‌ථාව චන්දිමාල්ගේ ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි විය. යළිත් වරක්‌ ෂකීබ් ලකුණු 67 දී හේරත්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්‌වැල්ලට දුන් උඩපන්දුවද බිම වැටුණි. ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 129 ක වාසියක්‌ අත්පත්කර ගත් බංග්ලාදේශය ජයග්‍රහණය අවශ්‍ය පදනම පහසුවෙන්ම දමා ගත්තේය.

"මම හිතන්නෙ ෂකීබ් ලකුණු 11 දී දුන් උඩපන්දුව අල්ල ගත්තනම් මෙහෙම නොවෙන්න තිබුණා. ඔහු අවස්‌ථා කිහිපයක්‌ම දුන්නා." යෑයි හේරත් වේදනාත්මක පවසයි.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ගෞතම් ගාම්භීර් ලකුණු 30 ක්‌ ලබා සිටියදී රන්දිව්ගේ පන්දුවකට දුන් උඩපන්දුව නුවන් කුලසේකර බිම දැමීමෙන් ඉන්දියානුවන් පීඩනයෙන් ගැලවුණි. අනතුරුව ගාම්භීර් වීරයා වෙමින් ඉන්දියාව දිනවුයේය.

"අපිට මේ ඉලක්‌කය ජය ගන්න පුළුවන් කියල විශ්වාසය තිබ්බා. මොකද ඉන්දියාවට සහ පකිස්‌තානයට අපි මේ වගේ ඉලක්‌ක ජය ගෙන තිබෙනවා. නමුත් ඉස්‌සර වගේ නෙමෙයි බංග්ලාදේශය ගොඩක්‌ ඉදිරියට ඇවිල්ල ඉන්නෙ. ඔවුන් අපිට ලොකු අභියෝගයක්‌ බව පටන් ගනිද්දීම දැනගෙන sහිටියා." යෑයි හේරත් තවදුරටත් පැවසීය.

ලොව සියවැනි ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කරන විට අඩුම ටෙස්‌ට්‌ ජයග්‍රහණ සංඛ්‍යාවක්‌ ලබා සිටි බංග්ලාදේශය මෙහි පැමිණීයේ ටෙස්‌ට්‌ ජයග්‍රහණයකට සිහින මවමිනි. ඒ ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමද ළදරු අවධියේ ක්‍රීඩකයන් රෑනකගෙන් සමන්විත වු බැවිනි. නමුත් දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශ පළමු ඉනිමේදී ඉම්රුක්‌ කයිස්‌ගේ උඩපන්දුව අතහැරි තැන සිට ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් පහසු දවා ගැනීම් පහක්‌ම මගහැරුණි.

කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්‌, ඩිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්‌මාල් දෙවැනි ඉනිමේදී දැක්‌වු පිති ප්‍රහාරයද හේරත්ගේ ප්‍රශංසාවට ලක්‌වුණි.

"අපි ටෙස්‌ට්‌ තරගයක සිව්වැනි ඉනිමේදී මේ වගේ ඉලක්‌කයක්‌ හඹා ගොස්‌ ජය ගෙන නැහැ. අපිට ඒ අත්දැකීම් තිබුණෙම නැහැ. ඇරත් මේ වගේ තණතීරුව ඒ දේ කිරීම ගැන ගොඩක්‌ සතුටුයි." යෑයි බංග්ලාදේශය දිනු ටෙස්‌ට්‌ තරග නවයෙන් හයකම නායකයා වන මුස්‌ෆිකර් රහීම් පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.