කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් යාපනයේ

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාති සංහාරයක්‌ සිදුවී ඇති බවට හඬනැඟූ බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඡේම්ස්‌ බැරී මේ සතියේ දිනක නෙදුන්කර්නි වෙත පැමිණි සිටි අයුරු.

මෙරට බහුතර ජනතාව උතුරේ සිදුවන්නේ කුමක්‌දැයි නොදනී. පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ නගරාධිපති ජෝන්ටෝරි සමඟ යාපනයට පැමිණියේ කැනඩා ප්‍රභාකරන් හෙවත් නේතන් ශාන් ය. ඉන්පසු යාපනය විශ්වවිද්‍යාලය තුළට සම්ප්‍රාප්ත වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව සතුරුකම් කළ ඇමරිකාවේ නිම්මි ගව්රිනාදන් සහ ලන්ඩන් නුවර ටැමිල් ගාඩියන් කොටි වෙබ් පුවත්පතේ ක්‍රියාකාරිකයකු වූ මාරියෝ අරුල්තාස්‌ය. මින් නිම්මි ගව්රිනාදන් සංචාරකයකු වේශයෙන් වසර කීපයකට පෙර උතුරට පැමිණ උතුරේ සිදුවීම් ගැන ඇමරිකානු බලධාරීන්ට සාවද්‍ය වාර්තා සපයා තිබිණි.

ඇමරිකාවේ උපත ලැබූ ඇය ඇමරිකානු බලධාරීන්ට පැවසුවේ මුළු උතුරම හමුදාකරණයට ලක්‌වීම නිසා ද්‍රවිඩ ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණපා සිටින බවයි. ලොස්‌ඇන්ජලිස්‌ නුවර කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ සේවය කළ ඇය 2004 -2011 අතර සමයේ ඔපරේෂන් යූ. එස්‌. ඒ. වැඩපිළිවෙළේ නියෝජිතවරිය ලෙසද කටයුතු කළාය.

එක්‌සත් ජාතීන්ගේ උපදේශකවරියක්‌ ලෙස 2004 සිට 2008 තෙක්‌ කටයුතු කළ ඇය ස්‌වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේදී දේශනයක්‌ පවත්වමින් කොටි සංවිධානය සිය සංවිධානයට කාන්තාවන් බඳවා ගත් ආකාරය අගය කිරීමට ක්‍රියා කළාය. මෙලෙස ඇමරිකානු දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ද කොටි හඬ නැඟූ නිම්මි ගව්රිනාදන් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණ කුමක්‌ කරන්නේදැයි රජයේ යාන්ත්‍රණය නිරීක්‍ෂණය කළේ නැත.

එසේම මාරියෝ අරුල්තාස්‌ නමැත්තා යාපනය විශ්වවිද්‍යාලයේදී මහාවිරුතාල් හෙවත් මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමේ උත්සවවලට ජීවය ලබාදීමට දැඩි උත්සාහයක යෙදුණි. මෙහිදී ආගමන සහ විගමන බලධාරීන් නිහඬව සිටයේ මන්ද? නිම්මි සහ මාරියෝ දෙදෙනා කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානතම ක්‍රියාකාරීන් දෙදෙනෙකි.

ජිනීවා නුවරදී කුමාරපුරම් ඝාතනය ජාත්‍යන්තරකරණය කිරීමට කටයුතු කළ පර්ල් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරිකයකු ලෙස සේවය කරන්නේ මාරියෝ අරුල්තාස්‌ ය.

මින් සනාථ වන්නේ උතුරේ දොර කොටි ඩයස්‌පෝරාවට විවෘත වී ඇති බවයි. මෙය පුදුමයක්‌ නොවේ.. වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා දැඩි උත්සාහයක්‌ ගත් තමිල්නාඩු නළු රැජිනිකාන්ත්aට ද යාපනයට ඒමට දොර විවෘත වුවත් තමිල්නාඩු විරෝධය නිසා ඔහු පැමිණියේ නැත.

ඉන්දීය රජය ඇමරිකාවේ සිටින සීක්‌ ඩයස්‌පෝරාවේ මෙන්ම කාශ්මීර බෙදුම්වාදීන්ට ද ඉන්දියාවට පැමිණීමට ඉඩදී නැත. එහෙත් මෙරට සිදුවන්නේ එහි අනිත් පැත්තයි.

කොළඹ දේශපාලන ජාලය විරුද්ධ පක්‍ෂ ක්‍රියාකාරීන් මූල්‍ය අපරාධ අංශයට ගෙන යැමට ක්‍රියාකරන අවස්‌ථාවේ උතුරේ පිරිස්‌ ඉතා සූක්‍ෂම ලෙසින් කොටි ඩයස්‌පෝරාව යාපනයට ගෙන්වා රහස්‌ සාකච්ඡා පවත්වති.

කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට පැමිණි බව අප විසින් හෙළි කරන තුරු කිසිදු මාධ්‍යයක්‌ අනාවරණය කළේ නැත. ඊට හොඳම නිදසුන කැනඩා ප්‍රභාකරන් හෙවත් නේතන් ෂාන් යාපනයට පැමිණ ඉන්පසු මුල්ලිවයික්‌කාල් වෙත ගොස්‌ මියගිය කොටින්ට ආචාර කළේය.

මෙවන් පසුබිමක්‌ මැද රජයේ සංහිඳියා කාර්ය සාධක බළකායේ වාර්තාවට තොරතුරු දන්වා තිබුණේ 7300 ක සුළු පිරිසකි. එහෙත් රටේ බහුතරය ගැන අවධානය යොමු නොකළ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් එම වාර්තාව පිළිsගත්තේය.

මේ වාර්තාව ඉදිරිපත් කළ සංහිඳියා බළකායේ ලේකම් ලෙස කටයුතු කළේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානි පී සරා හෙවත් පාක්‍යසෝති සරවනමුත්තු නමැත්තායි. 2010 ජනාධිපතිවරණ සමයේ මේ රාජ්‍ය නොවන සංවිධානයට ලැබුණු මුදල් සම්භාරය කොතෙක්‌දැයි කිවහොත් ජනතාව විශ්මයට පත්වනු නියතය.

ෆ 2009.12.1 සිට 2010.03.31 දක්‌වා රුපියල් මිලියන 20.6 නෙදර්ලන්ත සංවර්ධන සහයෝගිතා අමාත්‍යාංශය

ෆ 2010.1.1 සිට 2010.3.31 දක්‌වා රුපියල් මිලියන 22.4 විදේශ කටයුතු පිළිබඳ ජර්මාන් පෙඩරල් අමාත්‍යාංශය

ෆ2009.12.16 සිට 2010 ජනවාරි 31 රුපියල් මිලියන 3 කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය

ෆ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 10 යි 2010 වසර

අද ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව පවසන්නේ විදේශ රටවලින් මෙලෙස අරමුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියායි.

මේ තත්ත්වය මැද රටේ සමස්‌ත ජනගහනයෙන් 7300 කගේ අදහස්‌ මුළු ජනතාවගේ අදහස්‌ ලෙස පිළිගත හැකි දැයි මෙරට කිසිදු තානාපති නිලධාරියෙක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ගෙන් විමසා නැත.

ජෝර්දානයේ හුසේන් රජු කළු සැප්තැම්බර් කල්ලිය බිහිසුණු ලෙසින් වනසා දමද්දී සෙයිද් රාද් හුසේන් නමැති ජෝර්දානුවා සිටියේ කොහේද?

පාකිස්‌තානයට එරෙහිව මානව හිමිකම් සමුළුව ඉදිරියේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු අභූත චෝදනා එල්ල කරද්දී පාකිස්‌තාන් තානාපතිවරයා ඊට දැඩි විරෝධය පෑවේය.

මේ නිසා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන බලධාරීන් පිරිස එම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයාගේ කතාව නතර කරන ලෙස නියෝග කරනු ලැබීය. එහෙත් උතුරේ කොටි හිතවාදී තවලම ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කරද්දී අපේ තානාපති අංශ ගොලු විය. මෙය මවිත වියයුතු කරුණක්‌ නොවේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් තනි කළ යුතු බවට හඬ නැඟූ නිම්මි ගව්රිනාදන් සහ උතුර බෞද්ධකරණය වී ඇති බවට පැවසූ මාරියෝ අරුල්තාන්ස්‌ මෙරටට පැමිණීමට ඉඩ ලැබී යාපනය විශ්වවිද්‍යාලය තුළදී සාකච්ඡා කිරීමටත් අවසර ලැබිණි.

එහෙත් රජයේ කිසිදු බලධාරියෙක්‌ මේ කොටි හිතවාදීන් යාපනයට පැමිණ ගිනි ඇවිළවීමට උත්සාහ කිරීම ගැන අවධානය යොමු කර නැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.