කොහා සහ අටලෝ දහම

ජාතියක සලකුණ වනු ඇත්තේ එහි සංස්‌කෘතිය නම් 1977 න් පසු අපට සංස්‌කෘතියක්‌ නැත. අදටත් ඉන්දියන්කාරයාගේ සංස්‌කෘතියෙන් ඔහුගේ ජාතිය හඳුනා ගත හැක. අමුත්තකු ඉදිරිපිට දෙකට නැවී සමාචාර පවත්වන්නන් වෙත්ද, ඔහු ජපනෙකි, නැත්නම් කොරියන්කාරයෙකි. මහ පාරේ සිප වැළඳගන්නේ නම් හෙතෙම යුරෝපීයෙකි. සිංහලයාගේ සංස්‌කෘතික ස්‌වරූපය විසින් ඔහුගේ ගති ලක්‌ෂණ කියාපානු ලැබේ. යුරෝපයට සංස්‌කෘතික උත්සවවල උරුමයන් ඒ තරමට නැතත්, ආසියාව යනු සංස්‌කෘතික විවිධත්වයේ දිස්‌ත්‍රික්‌කයකි. ශ්‍රී ලංකාව එම ගමේ පිහිටි ප්‍රධානතම ග්‍රාම සේවක කොට්‌ඨාසයක්‌ වන අතර එම ගම තුළ ඇති සංස්‌කෘතික විවිධත්වය අන් බොහෝ රටවල නැත. 1977 දී ඡේ. ආර්. ජයවර්ධන බලයට පත්වීමෙන් පසු අපේ සංස්‌කෘතික සලකුණු විනාශ වීමට පටන් ගත්තේය. ඡේ. ආර්. යනු ඉතා හොඳ සිංහලයෙකි. වැඩි දෙනා දැන නොසිටියාට ඔහු සිංහල ජාතියටත් බුදු දහමටත් සේවය කළේය. එහෙත් ඔහු ඒ සේවය කළේ යුරෝපීය කොපුවක්‌ ඇතුළේ සිටය. මෙය කලිසම් ඇඳ ඉංග්‍රීසි කතා කරමින් සිටි දේශපාලනය වෙනුවෙන් රෙද්ද බැනියමට බට හුඟ දෙනාට වූ දෙයකි. ඔවුහු ඕනෑවට වඩා සිංහල බෞද්ධකම පෙන්වන්නට ගොස්‌ වැඩේ අලකර ගත්හ. එයට හොඳම උදාහරණය වන්නේ බලයට පත්ව ස්‌වල්ප කාලයකින් ඡේ. ආර්. ජයවර්ධන සහ එවකට සිටි කෘෂිකර්ම ඇමැති ඊ. එල්. සේනානායක එක්‌ව පවත්වන ලද වප් මඟුලයි. මෙය වප්මඟුලකට වඩා විකට ඇඳුම් තරගයකට සමාන වී විනෝද සාගරයක්‌ සේ දිස්‌වී සියලු දෙනාගේ සිනහවට විෂයයක්‌ විය. මෙය ඉංග්‍රීසියෙන් හිතා ඉංගී්‍රසියෙන් කතාකර ක්‍ෂණිකව අමුඩයකට බැසීමේදී විය හැකි අවුලකි.

1977 දක්‌වා මේ රටේ ප්‍රමුඛ ජාතික උත්සවය වූවේ සිංහල අවුරුද්දය. ඒ කාලයේදී හැම අප්‍රේල් මාසයකදීම, ස්‌ථිර වශයෙන්ම කොහා අපේ වත්තට පැමිණියේය. එසේ පැමිණෙන කොහා හඬනඟන විට සිංහල අවුරුද්ද කිට්‌ටු බව හදවතට දැනුනු මේ රටේ මිනිස්‌සු එම සංස්‌කෘතික උත්සවයට සැරසුණාහ. තවත් ස්‌වල්ප කලක්‌ ඉදිරියට යන විට, එනම් එක්‌දහස්‌ නවසිය අනූගණන්වලදී කොහාට අමතරව තවත් පණිවුඩකරුවෙක්‌ අපේ ආලින්දයට පැමිණ සිංහල අවුරුද්ද එන බව කීවේය. ඒ වූ කලී සනත් නන්දසිරිය. ඔහුගේ "කොහෝ කොහෝ" ගීතය කොහා සමඟ තරගයට සිංහල අවුරුදු පණිවුඩය පතුරුවාලන අතර අවසානයේදී අප්‍රේල් මාසයට පමණක්‌ පොදු වූ එම මාසය තුළ පමණක්‌ විකාශයවන ලංකාවේ එකම ගීතය බවට පත්විය. මේ අතර කොහාගේ හඬ ක්‍රමයෙන් අඩු වෙන්නට විය. 2010 වසර වනවිට එතෙක්‌ අප්‍රේල් මාසය මුල සිට හඬ නගමින් සිටි කොහා අප්‍රියෙල් මස මැද සිට හඬනඟන්නට විය. තවත් අවුරුදු කිහිපයක ඇවෑමෙන් කොහාගේ හඬ මැයි මාසයට මාරු විය. සනත් නන්දසිරි අප්‍රේල් මාසය පුරා කොහෝ කොහෝ ගීතය ගායනා කළ අතර කොහා මැයි මුල සිට අවසානය දක්‌වා කොහෝ කොහෝ හඬ ප්‍රචාරය කළේය.

කොහාට සිදුවූයේ කුමක්‌ද? ඌ නගින බස්‌ එක පරක්‌කු වීද? නැත. එය පාරිසරික හේතුවකි. සෘතු මාරුව හා සමාන එකකි. මෙයට වසර 25 කට පෙර වැස්‌ස පැමිණි මාසවලදී දැන් වැස්‌ස නොඑයි. මෙය මුළු ලෝකයටම පොදු තත්ත්වයකි. මෙයට අවුරුදු 3 කට පෙර උදාවූ නන්තලේදී එංගලන්තයට හිම වැටුණේ නැත. එම අවුරුද්දේදී ගස්‌වල ගෙඩි පැමිණියේද ප්‍රමාද වීය. සියලු දෙය වෙනස්‌වන මෙවැනි ලෝකයක සංස්‌කෘතිය පමණක්‌ සදාකාලිකව පවතිනු ඇද්ද? ගෝලීයකරණය ඉදිරිපිටදී හැම රටකම සංස්‌කෘතිය අභියෝගයට ලක්‌ව තිබේ. හැම දෙයක්‌ම වෙනස්‌වන ලෝකයට පොදු එකම දහම වන්නේ අනිත්‍ය පමණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.