කවුරුත් අමතක කළ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ
සිංහල විද්‍යා සාහිත්‍යයේ පෙරමඟ දැක්‌ම

විද්‍යාත්මක දැනුම ලබාගන්නට අපහසු යුගයේදී ඒ ගැන ලියයි
සත්ත්ව පරිණාමය ගැන ලියූ
සත්ත්ව සන්තතිය කෘතිය අදට ද වටිනා කෘතියකි

මා නොතිත් අශාවෙන් පොත් කියවන්නේ කුමට ද? ලෝකයේ අග මුල දැන ගැනීමට උපන් කුහුල නිසා මිස අනාගතය ගැන සිතන නිසා නොවේ. මා මුලදී ජීවවිද්‍යා පොත් කියවන්නට පටන් ගත්තේ නොයෙක්‌ හැඩහුරුකම් ඇති සතුන්ගේ උපත දැනගැනීම පිණිස ය. මානව විද්‍යාත්මක පොතපතින් ඒ දැනුම ලැබීමෙන් පසු සසරේ අග මුල පිළිබඳ ප්‍රශ්නය මගේ කුහුලට අසු විය. එය ආගමික ප්‍රශ්නයක්‌ නොව දාර්ශනික ප්‍රශ්නයක්‌ බව මගේ කුහුලට හසු විය. ලෝකයේ අග මුල පිළිබඳ මේ මතාන්තර විසඳිය හැක්‌කේ දර්ශනවාදයන් උගැන්මෙනි. දර්ශනවාදයන් උගැන්ම සඳහා මාගේ කාලය ගත කළ යුතු ය. මා මෙතෙක්‌ කල් හම්බ කළ මුදලින් රුපියල් සියයක්‌ පවා මා අතේ ඉතිරි නොවීය. ඉදින් මා ජීවත් වන්නේ කෙසේ ද? බත මිස වියරණය කුමට ද යන ආප්තය නිතැතින් මට සිහි විය. මෙය නුවණැති කියුමක්‌ වුවද විශ්වයේ අග මුල සෙවීමේ මෝඩ අදහසින් මැඬුණු මට රුචි නොවීය. පොත් ලිවීම රස්‌සාවක්‌ යෑයි මම සිහිනෙනුදු නොසිතුවෙමි.

සිංහල සාහිත්‍යය තුළ කොග්ගල ප්‍රාඥයා යෑයි විරුදාවලිය ලත් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විද්‍යා සාහිත්‍යය කෙරෙහි තමාගේ වූ නැඹුරුව තම ජීවිත කතාව වන "උපන් දා සිට" කෘතියේ සනිටුහන් කරන්නේ එලෙසිනි.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් සිංහල නවකතා සහ කෙටි කතා සාහිත්‍යය තුළට පමණක්‌ සීමා කොට ඇණ ගසා ඇතැයි සිතන අතර එතුමන් විසින් ලාංකීය සිංහල විද්‍යා සාහිත්‍යයට සිදු කරන ලද අනුපමේය සේවය නිසි පරිදි කථිකාවකට ලක්‌ නොවන බව පෙනෙන්නට තිබේ. එහෙත් නූතන විද්‍යාව හා තාක්‍ෂණය ලාංකිකයන්ට ආගන්තුක වූ සමයක විද්‍යාව සිංහල මාධ්‍යයෙන් ජනප්‍රිය කිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ එතුමා බව මේ ලිපිය ලිවීමට කරුණු ගවේෂණය කළ මට අවබෝධ විය.

අද අප ජීවත් වන විසි එක්‌ වැනි සියවස වන විට විද්‍යාව හා තාක්‍ෂණය පුළුල් ලෙස දියුණු වී ඇති අතර ඉතා පහසුවෙන් නවීනතම විද්‍යාත්මක දැනුම අවතීර්ණ වීමට සාමාන්‍ය ජනතාවට දොරටු විවර වී ඇත. අන්තර්ජාලය හරහා මෙම අවස්‌ථාව තවදුරටත් වැඩි වර්ධනය වී ඇත. නමුත් මෙහි කනගාටුදායක ප්‍රතිඵලය නම් පොතපත ගවේෂණය කරන සංඛ්‍යාව අඩු වී යැමයි.

පසුගිය අනූව දශකයේ මුලභාගයේ සිට මෙරට සිංහල විද්‍යා සාහිත්‍යයේ පිබිදීමක්‌ දක්‌නට ලැබුණු අතර මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස සිංහල භාෂාවෙන් විද්‍යා සඟරා, විද්‍යා ප්‍රබන්ධ සහ විද්‍යාත්මක කරුණු ඇතුළත් සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත්වන්නට විය. මෙය ඉතා හොඳ සාධනීය ලක්‍ෂණයක්‌ වූ අතර විවිධ විසූක දස්‌සන පෙන්වන විද්යුත් නාලිකාවල වැඩසටහන්වලට වඩා උගත් බුද්ධිමත් සාමාන්‍ය ජනතාව මෙම විද්‍යාත්මක සාහිත්‍ය කෘතිවලට නැඹුරු වන්නට විය. කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්‌වා මෙම උනන්දුව කැපී පෙනෙන්නට වූ අතර සාමාන්‍ය ජනතාව විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ වන්නට වූහ.

එහෙත් මීට දශක පහකට පමණ පෙර අතීතයේ දී සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක දැනුම ලබා ගැනීම අද මෙන් පහසු කටයුත්තක්‌ නොවීය. ඇමෙරිකාවේ හෝ රුසියාවේ විද්‍යාගාරයක සිදු කරන සොයා ගැනීමක්‌ ඈත ගම් දනව්වක පුද්ගලයකුට දැනගන්නට ලැබීම මහත් වූ ආශ්චර්යයකි. එවන් කලක විද්‍යා සාහිත්‍ය කෘති බිහි කිරීම "විය සිදුරෙන් අහස දකිනවා" සේ දුෂ්කර කාර්යයකි. විශේෂයෙන් බටහිර ගැඹුරු විද්‍යාත්මක කරුණු පොදු මහජනතාවට අවබෝධ කරගත හැකි ලෙස සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීම ප්‍රචණ්‌ඩ සුළි සුළඟක්‌ මධ්‍යයේ මහා කඳු මුදුනක්‌ තරණය කරනවා සේ දුෂ්කර ක්‍රියාවකි.

අද මෙන් පොතපත, අන්තර්ජාල ආදී පහසුකම් නොවූ යුගයක යුරෝපා රටක වන විද්‍යා පර්යේෂණයක තොරතුරු දැන ගැනීම ඉතා අසීරු වූ අතර මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විද්‍යාව කෙරෙහි තමාගේ තිබූ නොතිත් ආශාව නිසාම එම බාධාවන් මැඬ සිංහල විද්‍යා සාහිත්‍යයට අනුපමේය සේවයක්‌ සිදු කර ඇත. විද්‍යාත්මක දැනුම ලබා ගැනීම ඉතා දුෂ්කර වූ කාලවකවානුවක සියලු කරුණු පිළිබඳව පෞද්ගලිකව ගවේෂණය කරමින් ඇතැම් කරුණුවල සත්‍ය අසත්‍යතාව දැනගැනීමට එම රටවල සංචාරය කරමින් කරන ලද කැප කිරීම වර්තමානයේ දී නම් කිසිවකු විසින් නොකරනු ඇත. ඔහු විසින් ලියන ලද සෑම විද්‍යාත්මක කෘතියක්‌ම ඉතා ඕනෑකමින් සංස්‌කරණය කර ඇත. "කිතු සමයට විරුද්ධව ලියන ලද සිංහල පොත් පමණක්‌ නොව ඉංග්‍රීසි පොත් ද සිය ගණනක්‌ කියවූ මම පොදුවේ සියලුම ආගම් වල ඇතැම් මතාන්තර ආදිකාලීන වැදි ජනයාගේ ලාමක විශ්වාසයන්ගෙන් පරිණාමයෙන් පහළ වූවා යෑයි සිතුවෙමි." ලෙස ඔහු ප්‍රකාශ කරයි.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හුදු ලේඛකයකු පමණක්‌ නොව ඉතා දඟ විද්‍යාඥයකු ලෙස හඳුන්වා දිය හැක. ඒ ඔහු තමා විසින් රචනා කරන සෑම විද්‍යාත්මක කරුණක්‌ වාගේම පෞද්ගලිකවම නිරීක්‍ෂණය කොට අත්දැක අවබෝධයෙන් යුතුව රචනා කරන ලද හෙයිනි. එතුමා විසින් උපන් දා සිට කෘතියෙහි ඒ බව මෙසේ දක්‌වා ඇත. "සිනමා සිත්තම් බැලීමෙන් කෙතෙක්‌ ආශ්වාදයක්‌ ලැබුවත් ලෝකයේ අගමුල අරබයා මා තුළ ගමදී උපන් කුහුල අතුරුදන් නොවීය. මුහුදු වෙරළට ගිය හැමවිටම ගල්පරෙහි ඇලී සිටි අරුම පුදුම සතුන් බැලීමෙන් මම මහත් සන්තෝෂයක්‌ ලැබීමි. පෙඳ කැටියෙන් වැසුණු හුණුගල පලාගෙන නික්‌මී ලෙළෙන කෙඳි පොකුර සතෙක්‌ ද ? පෙඳ වර්ගයක්‌ ද? ඉතා සීන් කැටයක්‌ දැමූ විට ඒ කෙඳි පොකුර හැකිළී අතුරුදන් වේ. දමන ලද ආහාර ඇබිත්ත නම් කෙඳි පොකුරට හසු වේ. මම යවුල් තුඩින් ගල කැඩූ නමුත් ජීවියකු එහි නොවීය. මම මූදු කූඩැල්ලකු ගෙන ගලක්‌ උඩ තබා පිහියා තුඩින් පැලුවෙමි. ඇතුළට ඇදගත් අඬුපඬු පොකුරෙහි සලකුණ කුදු උගේ සම්පය්යක්‌ වැනි ඇතුළු කයෙහි නොවී ය. වෘක්‍ෂ ලතාවන්ගේ හා සත්ත්වයන් නෑ සබඳකම් ගැන ප්‍රශ්න කරන්නට පසු කලෙක මට අනුබල දුන්නේ මේ මුහුදු ජීවීන් පිළිබඳ දැනුමත්, පොතින් ලත් දැනුමත් යන දෙකයි" ලෙස තමා සතු වූ නිමා කළ නොහැකි කුතුහලය පිරි ජීවිතය වික්‍රමසිංහයන් විසින් පෙන්වා දී ඇත.

මීට දශක හයකට පමණ පෙර මානව පරිණාමය සම්බන්ධව කරුණු ගවේෂණය පහසු කාර්යයක්‌ නොවීය. අදට ද සත්ත්ව පරිණාමය සම්බන්ධයෙන් පවතින්නේ විවාදාත්මක කරුණු ය. එබැවින් සත්ත්ව පරිණාමය සම්බන්ධව කරුණු ගවේෂණය කොට සිංහලෙන් ඉදිරිපත් කිරීම දැලිපිහියෙන් කිරි කනවා වැනි අසීරු කටයුත්තකි. ඒ සඳහා ගවේෂණාත්මක බුද්ධියත්, මනා ඉවසීමත් තිබිය යුතු ය. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් සිංහලෙන් සත්ත්ව සන්තතිය වැනි කෘති බිහි කළ අවධියේ දී බොහෝ දෙනෙක්‌ ඒවා නිර්ධය විවේචනයට ලක්‌ කළේය. නව කථා කියවීමෙන් දියුණු කරගත් ඉංග්‍රීසි බස්‌ දැනුම ඇතිව මම පරිණාමවාදය පිළිබඳව පොත් කියවන්නට පටන් ගත්තෙමි. Story of creation by Edward Clodd යන පොත පළමුව මට හොඳින් වටහා ගත නොහැකි වූ නමුත් එහි වූ ජීව විද්‍යාත්මක චිත්‍ර මගේ කල්පනාව පුබුදු කළේ ය. Essay outline of Evolution by Dennis Hird නමැති පොත කියවා තේරුම් ගැනීම එතරම් අමාරු නොවීය. මෙතෙක්‌ කල් අඳුරෙහි අතපත ගාන්නකු මෙන් ජීවලෝකය පිළිබඳ ඇත්ත සොයන්නට වෑයම් කළ මගේ සිත එළිය කරන ලද්දේ මේ පොත් දෙක විසිනි. එතැන් සිට තිස්‌ හැවිරිදි විය වන තෙක්‌ මා කියවූ පොත්වලින් සියයට හැත්තෑපහක්‌ පමණ පරිණාමවාදය හා ජීව විද්‍යාව පිළිබඳ පොත් ය. ලෙසින් ඒ බව උපන් දා කෘතියේ සඳහන් කොට ඇත.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් සත්ත්ව පරිණාමය අළලා ලියන ලද සත්ව සත්තතිය කෘතිය දශක හතකට වැඩි කාලයක්‌ ඉක්‌ම ගියද අදට ද පරිහරණය කළ හැකි අපූරු විද්‍යාත්මක කෘතියකි. පොදු පාඨකයාට වටහා ගත හැකි අයුරින් ජීව ලෝකයේ තොරතුරු ගවේෂණය කිරීම පරිපාකයට ලක්‌ වූයේ මෙම කෘතිය හරහා ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ශාස්‌ත්‍රීය ලේඛන බස්‌ වහර කෙටි කාලයක්‌ තුළ මුහුකුරා ගිය ආකාරය එම ග්‍රන්ථයෙන් පිළිබිඹු වේ. නවීන විද්‍යාත්මක ලේඛනයේ දී අවශ්‍ය වන පාරිභාෂික වචන සිංහලට ගැළපෙන සේ සකස්‌ කර ගත හැකි අයුරු ද තර්කානුකූල භාෂා රීතියක්‌ හැඩගස්‌වා ගත හැකි අයුරු ද හෙළි කරන සත්ත්ව සත්තතිය කෘතිය සත්ව විද්‍යාව හා පරිණාමය අරභයා සිංහලෙන් ලියවුණු ප්‍රථම ග්‍රන්ථයයි. ඩාවින්ගේ පරිණාමවාදය හා එහි ඵල වශයෙන් බිහිවූ විද්‍යාත්මක දාර්ශනික ආගමික හා සමාජ විපර්යාස මනා ලෙස වටහා ගැනීමට මෙය ඉතා වටිනා කෘතියකි. 1934 වැනි ඈත වකවානුවක බිහි වූ සත්ත්ව සන්තතිය විද්‍යාවක්‌ නොව විද්‍යාත්මක දෘෂ්ඨි විශේෂයක වන පරිණාමවාදය පිළිබඳ අපූරු වියරණයකි.

මවුකුසින් බිහිවුණු පසුද ළදරුවා, තම පරම්පරාව සිහි කරන්නාක්‌ මෙන් වානර ලක්‍ෂණ දක්‌වයි. වානරයාගේ කකුල් මනුෂ්‍යයාගේ කකුල්වලට වඩා දික්‌ යැ මනුෂ්‍යයාගේ කකුල් කෙළින් සිටගෙන බිම ඇවිදීමට නිර්මිත ය. වඳුරාගේ කකුල් බිම නොව ගස්‌ උඩ ඇවිදීමට සෑදුණු එහෙයින් වඳුරාගේ කකුල් වල ඇඟිලි ද අත්වල ඇඟිලි මෙන් යමක්‌ තදින් අල්ලා ගත හැකි සේ දික්‌ව පිහිටියේ ය. වඳුරා ගසක ලීයක්‌ තරයේ අල්ලා ගෙන එහි එල්ලී සිටියි. මිනිසාගේ අත මේ ශක්‌තියෙන් මඳක්‌ පිරිහී ඇතත් ළදරුවා කෙරෙහි නම් ඒ ශක්‌තිය බෙහෙවින් දක්‌නා ලැබේ. ඉතා කුඩා දරුවකුට අත් දෙකෙන් වඳුරකු මෙන් යමක එල්ලී සිටිය හැකි ය. නිදා සිටින දරුවකුට අතට හසු වන කෙළි බඩුවක්‌ හෝ වෙන යම් කිසි දෙයක්‌ හෝ ඉවතට ගැනීම ඉතා දුෂ්කර ය. ඔහු එය දැඩිකොට අල්ලා ගන්නා බැවිනි. ළදරු විය ඉක්‌මවූ පසු මිනිසකු යම් කිසි දෙයක්‌ අල්ලා ගන්නේ ඇඟිලි හා මහපටැඟිලි නැවීමෙනි. ළදරුවකු යමක්‌ මිටමෙළවීමෙන් අල්ලා ගන්නේ ඇඟිලි හතරිනි. මහපටැඟිල්ලෙන් නොවේ. වානරයා ද යමක්‌ මිටින් දැඩි කොට ගන්නේ ඇඟිලි හතරිනි. ළදරුවා කලක්‌ කකුල් හතරේ සතකු මෙන් දණගායි. මිනිසකු පා නඟන්නේ පතුල් කෙළින් තැබීමෙනි. ළදරුවකු පා නඟන්නේ එසේ නොවේ. විලුම් දෙක එක මූණ බැලෙන සේ හරස්‌ අතට ය. වඳුරන් තමන්ගේ පාදයන් උස්‌සා බිම තබන්නේ විලුම් දෙක එක මූණ බැලෙන ලෙසිනි. ඇවිදින විට පා තබන්නේ කෙළින් නොව හරස්‌ අතට ය. මවුකුසින් බිහි වුණු දරුවකු වැඩෙන කල දැක්‌වෙන මේ ගතිගුණ පරම්පරාවක්‌ සිහි කිරීමක්‌ ලෙස නොසැලකිය යුතු ද? මෙය කඳ පිළිවෙළ සිහි කිරීමකි. ලෙසින් මානව පරිණාමයේ මුල් අදියරවල් කාටත් තේරුම් ගත හැකි භාෂාවකින් වික්‍රමසිංහයන් සත්ව සන්තතිය කෘතිය තුළ ඉතා සරල ලෙස සඳහන් කොට ඇත.

වික්‍රමසිංහ ශූරීන් විද්‍යා පොතපත රචනා කිරීම රස්‌සාවක්‌ නොව ආශාවකින් කළ සමාජ කාර්යයක්‌ බව ඔහුම පවසන පරිදි -මා සත්ව සන්තතිය ලියූවේ ළමා වියෙහි පටන් පරිණාමවාදය පිළිබඳ පොත් රාශියක්‌ අවුරුදු තිහක්‌ තිස්‌සේ කියවන ලද දැනුම ඇතිවයි. දැනිණි පරිණාමවාදය අරබයා පළවන අලුත් පොතක්‌ මිලට ගෙන එහි අතරින් පතරවත් නොකියවා මට පරිණාමවාදය පිළිබඳ මගේ කුහුල මැඬගත නොහැකි ය. ලෙසින් දක්‌වා ඇත.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් සත්ව පරිණාමය වැනි ගැඹුරු දාර්ශනික කරුණු සරල අන්දමින් ඉදිරිපත් කරන ලෙසින් කුඩා දරුවන් සඳහා ද අපූරු විද්‍යා විනෝද කතා පෙළක්‌ නිර්මාණය කළේ ය. කුඩා දරුවන් තුළ පරිසරය පිළිබඳ ආශාවක්‌ හා ආශාවක්‌ ඇතිවන අන්දමට ශාස්‌ත්‍රීය කරුණු සරල ලෙසින් ඉදිරිපත් කිරීමට ඔහු සමතෙක්‌ වීය. අප ඇසුරේ ජීවත් වන කුඩා සතුන්ගේ ස්‌වාභාවික ගතිපැවතුම් හා ඔවුන්ගේ ජීවන රටාව රසවත් ලෙසින් විස්‌තර කිරීමක්‌ මෙම ග්‍රන්ථ පෙළින් සිදුකොට ඇත. ගෙවල මකුළුවා බොහෝ විට බිත්ති දෙක එක්‌ වන තැන මුල්ලේ දැල වියයි. නැතිනම් වහළත් බිත්තියත් එක්‌ වන තැන දැල වියයි. බිත්ති මුල්ලේ සුදු සිනිඳු පුළුන්වලින් සෑදූ කූඩුවකි. එහි දෙකෙළවර දොරකඩවල් දෙකකි. සතුන් ඇල්ලීමට උගුලක්‌ ඇටෙවූ වැද්දා සැඟවී බලා සිටින්නාක්‌ මෙන් මකුළුවා ද යථෝක්‌ත කූඩුව තුළ සැඟවී සිටියි. මැස්‌සකු හෝ වෙන යම් කිසි සතකු දැලෙහි වැටුණු හැටියේම මකුළුවා එක්‌ දොරටුවකින් දිව එයි. සතුරන්ගෙන් උවදුරක්‌ පැමිණියහොත් ඌ අනෙක්‌ දොරකඩින් පලා යන්නේ ය. ලෙසින් මකුළුවාගේ චර්යාවන් ඔබවත් නොසිතන නිරීක්‍ෂණයකට එතුමා ලක්‌ කර ඇත.

තවත් අවස්‌ථාවක කුරුමිණි සතුන් පිළිබඳ එතුමා විස්‌තර කරන්නේ මෙලෙසීනි. ගවයාගේ ඇඟේ තුවාලයක මිස, අනෙක්‌ තැනක නිලමැස්‌සා බිත්තර නොදමන්නේ මන් ද? මස්‌වල මෙළෙක්‌ කොටස නිලමැස්‌සාගේ පැටවුන්ගේ ආහාරයයි. උගේ පැටවුන්ට ගවයාගේ හම සිදුරු කරන්නට බැරිය. එහෙයින් නිලමැස්‌සා හම සිදුරු වුණ තුවාලයකම බිත්තර දමයි. නොඑසේ නම්, මළ සතකුගේ ඇස්‌වල හෝ හකු දෙක එක්‌වන තැන හෝ බිත්තර දමයි. ඇසේ සිවිය බෙහෝම මෙළෙක්‌ බැවින්, පැටවුන්ට එය කාගෙන ඇතුළට වදින්නට පුළුවන. කටේ හකු දෙක එක්‌වන තැන බිත්තර දැමු විට ද, පැටවු දිවේ මෙළෙක්‌ කොටස කාගෙන ක්‍රමයෙන් බඩ ඇතුළට වදිති.

මුහුදු වෙරළාසන්නයේ ජීවත් වන මුහුදු ජීවීන් සම්බන්ධව ද ගවේෂණාත්මක කෘතියක්‌ වික්‍රමසිංහයන් රචනා කොට ඇත. එය වූ කලී කුඩා දරුවන් හා එක්‌ව මුහුදු වෙරළේ කරන ගවේෂණ අධ්‍යයන චාරිකාවක්‌ වැනි කෘතියකි. එම කෘතියේ ඔබ මා ප්‍රිය කරන දැල්ලන් සම්බන්ධව විස්‌තර වන්නේ මෙලෙසිනි. -යුද්ධයට යන අහස්‌ නැවියෝ පුපුරණ වෙඩි දමා, නැවත වලාකුළු මෙන් ධූම පටල නිකුත් වන බෝම්බ පුපුරුවා, සතුරන්ගේ වෙඩි සරවලින් බේරී පලා යෙති. වලා පටලයක්‌ මෙන් ධූම පටල සෑදෙන වෙඩි බෝම්බ පිපිරවීම ඔවුන්ට නොපෙනී සැඟවී යැමට උපකාරයකි. දැල්ලාගේ සායමින් ද ඌට මෙබඳු ප්‍රයෝජනයක්‌ ඇත්තේ ය. ඌ මෙකී සායම සතුරන්ගේ ඇස්‌ වසා ගැළවී යැමට යොදයි. අනතුරක්‌ ගැන සංඥාවක්‌ ලැබුණු වහාම දැල්ලා කොපුව තුළ ඇති විවරයකින් සායම් විදියි. කොපුවෙන් පිටවූ විගස සායම දැල්ලා වට කොට කළු වළා පටලයක්‌ මෙන් විසිර යයි. මෙයින් සතුරාට දැල්ලා නොපෙනේ. එහෙයින් ඌ සතුරාගෙන් බේරී පලා යෙයි. කොපුවෙන් දිය විදීමෙන් දැල්ලාට ඉතා ඉක්‌මනින් පස්‌සෙන් පස්‌සට පීනන්නට ද පුළුවන. මේ ගමන නිසා සායම් විදීමෙන් පසු ඌ වඩාත් පහසුවෙන් සතුරාගෙන් ගැළවෙයි.

වික්‍රමසිංහ ශූරීන් විද්‍යාත්මක කරුණු රචනා කරන ලද්දේ සිංහල භාෂාවෙන් පමණක්‌ නොවේ. Revolution and Evolution ලෙසින් පරිණාමය සම්බන්ධ කෘතියක්‌ රචනා කොට ඇත. මේ අනුව මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් සිංහල විද්‍යා සාහිත්‍යය ප්‍රභාමත් කළ අපූර්ව ලේඛකයෙකු ලෙස අවිවාදයෙන් හඳුන්වා දිය හැක. ඔහු මේ සියල්ල සිදු කළේ ස්‌ව උත්සාහයෙන් ලද විශාරද දැනුම නිසා ය.

කුඩා දූපත් හා මහා ගල් කුළුවලින් අලංකරණය වූ වැවක්‌ වැනි ඉතා සුන්දර නදී තීරයක පිහිටි කොග්ගල ග්‍රාමය හි 1891 මැයි 29 වැනිදා උපන් මාර්ටින් වික්‍රමසිංහයන් ගමේ ගුරු ගෙදරට ගොස්‌ පුස්‌කොළ හෝඩිය කියවා අකුරු ඉගෙන ගෙන ඇත. වික්‍රමසිංහයන් යනු ස්‌වාභාවික පරිසරය ගවේෂණය තුළින් නිර්මාණශීලී ලේඛකයකු බවට පත් වූ අපූරු යුග පුරුෂයෙකි. කුඩා සතුන්, සර්පයන්, කුරුල්ලන් බහුල බැදි, මසුන් සහිත ඔය හා අපූර්ව සත්ත්ව විශේෂයන් බහුල විශාල ගල් පරයන් ඇති මුහුදු තීරය ද කුඩා වික්‍රමසිංහගේ ගැමි පරිසරය වීය. මේ පරිසරය ඔහු තුළ ජීවලෝකය ගැන දැඩි කුහුලක්‌ ඇති කළේය. මේ කුහුල නිසා බැලීමෙන්, සෙවීමෙන්, පොත් කියවීමෙන් දැනුම ලැබීමට ඔහු තුළ හටගත් ආසාව නො සන්සිඳ විය හැකි පිපාසයක්‌ විය. පාසැලන් පස්‌වැනි පන්තිය දක්‌වා උගත් ඔහු ස්‌ව උත්සාහයෙන් විශාරද දැනුමක්‌ ලැබුවේ ඒ පිපාසය නිසා ය.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
නියෝජ්‍ය දිස්‌ත්‍රික්‌
සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ - හම්බන්තොට

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.