ආඛ්‍යාන සිනමාව විචිත්‍ර කළ
ශ්‍රී ලාංකික සිනමාකරුවා වසන්ත!

ශ්‍රී ලාංකික සිනමාවට අගනා සම්ප්‍රදානයන් එක්‌ කළ ලාංකික සිනමා කලා පරපුරේ දෙවැනි පරපුරේ ප්‍රමුඛ හා ප්‍රබුද්ධ සිනමාකරුවකු වූ වසන්ත ඔබේසේකරයෝ සිය තුඟු සිනමා කලා මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන ගොස්‌ සිටිති. බොහෝ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය වල වසන්තගේ සිනමා මෙහෙවර අගයමින් නොයෙක්‌ සටහන් ලියෑවී තිබුණි. සිනමාකරුවකු ලෙස ඔහු විසින් ප්‍රේක්‌ෂක හා සහෘද ජන අවධානයට ලක්‌ කරන ලද සමාජ, දේශපාලන හා සංස්‌කෘතික චර්යාවන් ද පුද්ගල හා මානව සබඳතාවන් හි ඇතැම් ෙ€දවාචකයන් ද පිළිබඳ ආවර්ජනයන් ද ඒ සටහන්වල ගැබ්ව තිබුණි. වසන්ත ඔබේසේකරයන්ට අවසන් වරට සමුදෙන්නට පැමිණි පිරිස අතර සිටි මා දුටු "දිවයින" සිනමා කලා සංස්‌කාරක අජිත් මට ඇරයුම් කළේ වසන්ත පිළිබඳ සටහනක්‌ ලියා එවන ලෙසයි.

සිනමාකරුවකු ලෙස පමණක්‌ නොව සහෘද මිත්‍රයකු ලෙස ද හඳුනා ගෙන සිටි වසන්ත පිළිබඳ නොයෙක්‌ ධාරණාවන් මා තුළ වේ. මම මෙහිලා ඉන් බිඳක්‌ පෙළ ගස්‌වමි. වසන්ත පිළිබඳ මගේ මුල්ම මතකය මා සරසවි සිසුවකුව සිටි හැටේ දශකයේ අගභාගය තෙක්‌ දිවයයි. ආචාර්ය සිරි ගුණසිංහ විසින් අධ්‍යක්‌ෂණය කරන ලද සත්සමුදුර චිත්‍රපටය පිළිබඳව සරසවි කලාගාරයේදී පැවැත්වුණු සම්මන්ත්‍රණයකට සහභාගිවීමට වසන්ත ද පැමිණ සිටියේය. සත් සමුදුර චිත්‍රපටයේ සහාය අධ්‍යක්‌ෂවරයකු මෙන්ම සම තිර රචකයකු ලෙස ඔහු සම්බන්ධ වී සිටි බව මා මුල්වරට දැනගත්තේ ද එදිනය. එකල පේරාදෙණි සරසවියේ සාහිත්‍ය, නාට්‍ය, සිනමාව යනාදී කලා මාධ්‍ය ගැන සාකච්ඡා කෙරෙන සංගම් කීපයක්‌ද විය. වසන්ත ඔබේසේකර ද ඒ වනවිට සරසවියෙන් පිටව ගොස්‌ සිටිය ද සාහිත්‍ය කලාව පිළිබඳ දැඩි ඇල්මක්‌ දැක්‌වූ ප්‍රබුද්ධ සහෘදයකු බවට පත්ව සිටි අයෙකි. ඔහුගේ ශ්‍රාස්‌ත්‍රාලීය අධ්‍යාපනය සඳහා තෝරා ගෙන තිබුණේ ඉතිහාසය වුවද ඔහුගේ හද බස සිනමාව වූ බව නිසැකය. වසන්ත සිය ශාස්‌ත්‍රාලීය අධ්‍යාපනය ලැබූ හැටේ දශකය වූකලී පේරාදෙණිය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වූ සාහිත්‍ය, නාට්‍ය හා සිනමා කලාව පිළිබඳ සාධනිය ප්‍රබෝධයක්‌ ද තිබුණු යුගයකි. සාහිත්‍ය හා කලා පිළිබඳ සිසුන්ගේ අවධානය යොමු කරවීම සඳහා වු අපූර්ව සංවාද - වාද විවාද යනාදිය ද එකල නොඅඩුව තිබුණි. සරසවි සිසුන්ව සිටි අප බොහෝ දෙනෙකු ද එම සාහිත්‍ය කලා පෝෂණයෙන් වැඩුණු අය වූහ.

කෙසේ හෝ හැත්තෑව දශකය වනවිට ශ්‍රී ලාංකික සිනමාව තුළ ද ප්‍රාමණික වර්ධනයක්‌ විය. වසන්තගේ සිනමා සම්ප්‍රාප්තිය සිදු වූයේ ද 1970 දීය. ඔහුගේ වල්මත් වූවෝ (1976) විරැකියාවෙන් හා ඉච්ඡාභංගත්වයෙන් පීඩනයට පත් වූ යෞවනයේ අත්දැකීම්වල සිනමානාත්මක ප්‍රකාශනයක්‌ විය. වසන්ත සිනමාව උපයෝගී කර ගනිමින් මෙරටේ සමාජ, සංස්‌කෘතික හා ආර්ථික චලනයන් මෙන්ම පුද්ගල ස්‌වභාවයේ අඳුරු හා ගුප්ත ස්‌වභාවය ද සිනමා රසික හා ප්‍රේක්‌ෂක අබිමුවට රැගෙන ඒමට කැපවූ සිනමාකරුවෙක්‌ විය. පලඟැටියො, දඩයම, කැඩපතක ඡායා, දොරකඩමාරාව, මාරුතය, තීර්ථයාත්‍රා, අසනිවරුසා, සෙව්වන්දි, සලෙළුවරම, ආගන්තුකයා තෙක්‌ ඇදී ගිය සිනමා චාරිකාවේ අපූර්ව රමණීය මතක සටහන් හා විචිත්‍ර අත්දැකීම් ද ශ්‍රී ලාංකික සිනමාවේ නිම් වළලු පුළුල් කිරීමට හේතු වූ බවද සඳහන් කළ යුතුය. මානව සබඳතාවන් බිඳී යාම මෙන්ම ස්‌ත්‍රිත්වය වසා ගත් පුරුෂ කේන්ද්‍රීය සමාජයේ බිහිසුණු බවද ඔහු දඩයම, කැඩපතක ඡායා, මාරුතය වැනි චිත්‍රපටවලින් අපට පෙන්වා දී ඇත. 'දඩයම' හා 'කැඩපතක ඡායා' ඉමහත් ජනප්‍රසාදයක්‌ ද ලද නිර්මාණ විය.

වසන්තගේ බොහෝ චිත්‍රපට සඳහා පසුබිම් වූයේ ද සත්‍ය කතා බව රහසක්‌ නොවේ. 'දඩයම' සුප්‍රකට ඇඩ්ලින් විතාරණ ඝාතන නඩුව තුළින් බිහිවූ චිත්‍රපටයකි. පුරුෂාධිපත්‍යයට යටත් නොවූ රන්මලී මෙරටේ සිනමා රසිකයන්ගේ ප්‍රඥාව අවදි කළ ප්‍රබල චිත්‍රපටයක්‌ විය. කැඩපතක ඡායා චිත්‍රපටයේ 'නන්දා' කුමරි බඹසර බිළිගන්නා ධන රත්නලාගේ වෙස්‌මුහුණ හා සැබෑ මුහුණ අපට අනාවරණය කළ චිත්‍රපටයක්‌ විය. මාරුතය ද විවෘත ආර්ථිකයේ අනිටු ඵල විදහා දැක්‌වු නිර්මාණයක්‌ ලෙස විචාරක අවධානයට ලක්‌ විය.

ශ්‍රී ලාංකික සිනමාව තුළ නිර්භයව අලුත් අත්හදා බැලීම් කිරීමට වසන්ත ඉදිරිපත් විය. කලාත්මක හා වාණිජ වශයෙන් වෙන වෙනම හැඳින්වුණු සිනමාව ඊට වඩා ප්‍රබල මානව හා සමාජ ප්‍රකාශනයක්‌ බව වසන්තගේ පිළිගැනීම විය. ධනවාදයේ නැගීම නිසා බිඳ වැටෙන සමාජයක පීඩනයට පත් ගැහැනිය හා මිනිසා දෙස සමාජ අවධානය යොමු කිරීමටත් කලාව ප්‍රඥාව සඳහා වු සද්ව්‍යාපාරයක්‌ බව අවධාරණය කිරීමටත් වසන්ත කැපවී සිටියේය. වසන්ත ජගත් සිනමාව ගැන අවධානය යොමු කළ වම් ඉවුරේ සිනමාකරුවකු ලෙසද ප්‍රකටය. සිනමාව පිළිබඳ හැදෑරීම සඳහා වසන්තට ප්‍රංශ රජයෙන් ශිෂ්‍යත්වයක්‌ද ලැබුණි. එමතු නොව ඉන්දීය සිනමාවේ සම්භාව්‍ය සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක ඇසුරද වසන්තට ලැබුණි.

වසන්තගේ සිනමා නිර්මාණ සඳහා තිරනාටක ලියන ලද්දේත් ඔහු විසිනි. සිනමාවේ අරුත වූ ප්‍රබල රූපය ශබ්දයේ අර්ථය සමඟ ප්‍රතිවිරෝධී ලෙස මුසු කළ ඔහු ආඛ්‍යාන සිනමාවේ කතා රීතිය ප්‍රබල වෙනසකට බඳුන් කළ අවස්‌ථා ද විය. රූපයෙන් මඟුල් පෝරුවක අත් පැන් වත්කිරීම සැණකින් අවමඟුලක පැන් වැඩීමට ඡේදනය කරමින් කළ ඒ වෙනසට ඔහු ප්‍රිය විය. සිනමාව කතාන්තර කීමකට වඩා රූපමය ඛ්‍යානයේ ගැටුම් ඔස්‌සේ ඇදී යන මානව හා සමාජ විවරණයක්‌ ලෙස ඔහු තේරුම් ගෙන සිටියේය.

ජාත්‍යන්තර සිනමා උළෙලවල් සඳහා වසන්තගේ චිත්‍රපට කීපයක්‌ම තෝරා ගනු ලැබුණි. ඉන්දියානු සිනමා රසිකයන්ගේ ආකර්ෂණයට ලක්‌ වූ 'දොරකඩ මාරාව' හා 'තීර්ථ යාත්‍රා' චිත්‍රපට පිළිබඳව ලද ප්‍රශංසාවන් පිළිබඳව ද මට මතකය. තීර්ථ යාත්‍රා සිය අනන්‍යතාව සොයා ගිය තරුණියකගේ ජීවිත අඳුර අනාවරණය කළ අතිශය ප්‍රබල සිනමා අභ්‍යාසයකි. යස ඉසුරු මැද සුපිරි පන්තියේ දෙමවුපිය හුරතලය මැද වැඩුනු මේනකා සිය සැබෑ අම්මා සොයා ගමට ගිය සංසාර යාත්‍රාව සිනමා සහෘදයන් ප්‍රකම්පිත කළ අත්දැකීමක්‌ විය. යශෝධා විමලධර්මගේ රංගනයේ උපරිම දක්‌ෂතාවන් ඒ චිත්‍රපටය තුළදී අපි දිටිමු. වසන්තගේ චිත්‍රපට සියල්ලම පාහේ ආදායම් වාර්තා තැබූ බවද සඳහන් කළ යුත්තකි. දේපළ සබඳතා මත පදනම් වූ සමාජයක ෙ€දවාචකයක්‌ බවට පත්වන මානව සබඳතාවන් පිළිබඳ වසන්ත තුළ වූයේ දැඩි සංවේදිතාවකි. හැටේ දශකය අග භාගයේදී පමණ ජගත් විශ්වවිද්‍යාල තරුණයන් තුළ වූ රැඩිකල් මතවාද පිළිබඳ උනන්දු වූ වසන්තගේ මුල්කාලීන චිත්‍රපටවල එබඳු බලපෑම්වල ලකුණු ද පිළිබිඹු විය. එහෙත් දේශපාලනිකව සිය කලාව නිර්මාන මගින් ඒවාට මැදිහත්වීම් කිරීමට ඔහු පැකිලුනු බවට ඇතැම් මාක්‌ස්‌වාදීහු ඔහුට චෝදනා කළහ. මාක්‌ස්‌වාදය කලාව සම්බන්ධයෙන් දරණ ආස්‌ථානයට වසන්ත පිටුපා යන බවට මහාචාර්ය සුචරිත ගම්ලත් විවෘතවම ප්‍රකාශ කර තිබුණි.

වසන්ත බම්බලපිටියේ ලෝරිස්‌ පටුමගෙහි පදිංචිව සිටි දිනවල ඇතැම් සැන්දෑ භාගයන්හි ඔහුගේ නිවස තුළ නොයෙක්‌ සාහිත්‍ය කලා හා සිනමා සංවාද සිදුවූ බවද මට මතකය. තරුණ පුවත්පත් කලාවේදියකු ලෙස මම ද ඇතැම් දිනවල ඒවාට සම්මාදම් වී ඇත්තෙමි. සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ හොඳ දැනුමක්‌ ද වසන්තට විය. ඇතැම් අවස්‌ථාවලදී ඔහුගේ චිත්‍රපට පිළිබඳව නිර්දය විවේචන ද ඉදිරිපත් විය. උස්‌ හඬින් සිනාසෙමින් විචාර මතවාද ඛණ්‌ඩණය කිරීමට තරම් ප්‍රබුද්ධ මනසක්‌ද ඔහුට විය.

වසන්ත ජාතික චිත්‍රපට සංස්‌ථාවේ අධ්‍යක්‌ෂක මණ්‌ඩලයේ සාමාජිකයකු ලෙස සිනමාව උදෙසා ගෙන ගිය නොයෙක්‌ අරගල ද මගේ මතකයට නැගෙයි. චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයට පැවරීම ඔහුගේ දැඩි විරෝධයටද ලක්‌විය. එයට විරෝධය පාමින් සිය අධ්‍යක්‌ෂ ධුරයෙන්ද ඉල්ලා අස්‌වීමේ ලිපිය ද භාර දීමට ඔහු ක්‍රියා කළේය. එකල චිත්‍රපට මණ්‌ඩලයේ සාමාන්‍යාධිකාරී ධුරය හෙබ වූයේ ප්‍රකට සිනමා විචාරකයකු වූ ගාමිණී වේරගම මහතාය. වසන්ත ජාතික චිත්‍රපට සංස්‌ථාව තුළ ක්‍රියාකළ ආකාරය හොඳින් දන්නා කීප දෙනා අතර ගාමිණීද වේ. වසන්ත සිය සිනමා දැනුම තරුණයන්ට ලබා දීමේ පිපාසයකින්ද පෙළුනි. සතත අභ්‍යාසයෙන් සිය ප්‍රතිභාව වර්ධනය කර ගත් වසන්තගේ සිනමා අත්දැකීම් වලින් බිඳක්‌ හෝ උකහා ගත් කීප දෙනෙක්‌ද වූහ.

චිත්‍රපට තිර රචනයට අමතරව කාර්මික තිර රචනයක්‌ සැකසීම වසන්තගේ සිනමා භාවිතයේ අංගයක්‌ වී තිබුණි. සිනමාව තුළ පියවරෙන් පියවර ඉදිරියට පැමිණ වසන්ත ජීවිතයෙන් සමුගෙන ගියේ දැවැන්ත සිනමාකරුවකුගේ හිඩැසක්‌ ඉතිරි කරමින්ය. ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ සූරීන්a පවා වසන්තගේ චිත්‍රපට අගය කළ අයුරු අපට මතකය. මා තවමත් කල්පනා කරන්නේ වසන්ත ලෙස්‌ටර්ගේ ප්‍රියවාදියකු වුවද ඔහුට තිස්‌ස අබේසේකරට මෙන් ලෙස්‌ටර් සමඟ එක්‌ව චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමට දෛවය අවසර ලබා නොදීම ගැනය. වසන්ත සිනමාව යනු අලුත් පරම්පරාව අතට පත්විය යුතු ප්‍රබලම කලා මාධ්‍ය බව නිතරම අවධාරණය කළ අතර ඒ සඳහා දායකත්වයද ලබා දුන් විශිෂ්ට සිනමාකරුවෙකි.

ඔහු සාහිත්‍ය ගුරුකුල හෝ සිනමා ගුරුකුල වල සිර නොවී අදීන කලාකරුවකු ලෙස සිනමාව උදෙසාම ජීවිතයම කැප කළ විරල ගණයේ සිනමාකරුවකු ලෙස ඉතිහාසයට එක්‌ව සිටියි. දේශපාලන ප්‍රචාරකයකු වීම වෙනුවට දේශපාලනය නමින් කෙරෙන වංචාව අනාවරණය කිරීමට ද ඔහු එඩිතර විය. 'ආගන්තුකයා' චිත්‍රපටය එයට හොඳම සාක්‌ෂියකි. බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ටි සඳහන් කළ පරිදිම වසන්ත සිය කලා මාධ්‍ය තුළ මිනිසා හා ගැහැනිය හඳුනා ගැනීමටද ලෝකය හා සමාජය ඔවුන්ට යහපත් ස්‌ථානයක්‌ විය යුතු බව තහවුරු කිරීමටද දරණ ලද ප්‍රයත්නය නිසාම විශිෂ්ට සිනමාකරුවකු ලෙස මතු මතුව බිහිවන රසික පරපුරවලද බුහුමනට පාත්‍ර වනු ඇත.

ගාමිණී සුමනසේකර

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.