රජය කලාව සහ කලාකාරයා දෙස බලන්නේ නැහැ
- ප්‍රවීණ කලා ශිල්පී ඩැනී ඩබ්ලිව් පතිරණ

1966 දී සිනමාවට පිවිස සහාය කැමරා ශිල්පියකු ලෙස දායකත්වය ලබා දෙමින් කලා දිවි ගමන ආරම්භ කරන්නට යෙදුණු හෙතෙම, අනතුරුව සිනමා සිත්තම් රැසකටත්, ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයකදීත් ප්‍රධාන කැමරා අධ්‍යක්‌ෂවරයා වෙමින් තෙවැනි ඇසෙහි දක්‌ෂතා මොනවට ප්‍රකට කළේය. 1976 දී සිංහල සිනමාවට "චන්දිරා" චිත්‍රපටය ගෙන එමින් මුල්වරට අධ්‍යක්‌ෂවරයාගේ භූමිකාවට පණ පෙවීය. පසුව "අහිමි දඩමං", "බයිසිකලේ", "කවුළුව" ඇතුළු එදා සිනමා රසකාමීන් ආදරයෙන් වැළඳගත් වාර්තා පිහිටු වූ චිත්‍රපට රැසකද අධ්‍යක්‌ෂවරයා වූ හෙතෙම, අද සිය සිනමා අධ්‍යක්‌ෂණයක්‌ වූ "ගිරි කුලේ දොaංකාරය" චිත්‍රපටය ටෙලි නාට්‍යයක්‌ ලෙස පුංචි තිරයට රැගෙන ඒමේ සූදානමින් පසුවෙයි. දශක හයකට ආසන්න කාල පරාසයකදී කලා දිවියේ විවිධ වූ පෙළහරයන් ගෙන හැර පෑ මේ ප්‍රවීණ කලා ශිල්පියා, ඩැනී ඩබ්ලිව්. පතිරණය. මේ සිය කලා දිවියේ තොරතුරු පවසමින් කලකට පසු "දිවයින සිනමා කලා" සමඟින් පැවැත් වූ කතා බහක සංක්‍ෂිප්ත සටහනයි.

"රෑන ගිරව්" චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා වූ ඔබ නව ජීවන චිත්‍රාගාරයට ගොඩ වීමත් සමඟ ලොකු ගමනක්‌ ආරම්භ කරන්නට යෙදුණා....

ඔව්. "රෑන ගිරව්" චිත්‍රපටයේදී මට මුලින්ම අවස්‌ථාව ලැබුණේ සහාය කැමරා ශිල්පියා ලෙස දක්‌ෂතා දක්‌වන්න. කොහොම හරි මේ චිත්‍රපටයේදීම මට ප්‍රධාන කැමරා ශිල්පියා වීමේ භාග්‍යය උදා වුණා. ඊට පස්‌සෙ තමයි කිරිබත්ගොඩ "නව ජීවන" චිතා්‍රගාරයට එකතු වෙන්නේ. එතනදී "සඳ නැඟ එද්දී", "සිදාදියෙන් හයක්‌" සහ දමිළ චිත්‍රපට කිහිපයකදීත් මට සහාය කැමරා ශිල්පියා ලෙස වැඩ කරන්න අවස්‌ථාව ලැබුණා.

1974 දී ඔබ සම්පූර්ණයෙන්ම කැමරාවේ වගකීම භාර ගන්නවා....

ඇත්තටම ඔව්. මට ඒ අවස්‌ථාව උදා වෙන්නේ "වානරයෝ" චිත්‍රපටය සමඟින්. මේ චිත්‍රපටය හැදුණේ ප්‍රවීණ චිත්‍රකතා ශිල්පී දයා රාජපක්‌ෂ මහතාගේ "වානරයෝ" චිත්‍රකතාව අනුසාරයෙන් 1976 දී මට සේන සමරසිංහ කියන කෘතහස්‌ත සිනමා ශිල්පියා මුණ ගැසෙනවා. ඒ සමඟම ඔහුගේ "කස්‌තුරි සුවඳ" චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා වීමට මට අවස්‌ථාව ලැබුණා. ඉන්පසු ඔහුගේම චිත්‍රපට වූ "නිල්ල සොයා", "ආශා දැසින්", මල් කැකුළු", "චංචල රේඛා", "යළි හමුවෙන්නයි" යන චිත්‍රපටවල ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස මගේ හැකියාවන් සහ දක්‌ෂතාවන් එළි දැක්‌වූයේ අද තරම් පහසුකම් ඇති තාක්‌ෂණික වටපිටාවක නොසිටයි. ඊටත් පස්‌සේ "මුවන් පැලැස්‌ස - 01", "රක්‌තා", "අජාසන්ත" ඇතුළු චිත්‍රපට 40 කදී පමණ කැමරා අධ්‍යක්‌ෂවරයා ලෙස වැඩ කරන්න මට හැකියාව ලැබුණා. ප්‍රවීණ කෘතහස්‌ත සිනමාවේදීන්, අති දක්‌ෂ ප්‍රවීණ රංගවේදීන් ඇතුළු බොහෝ පිරිසක්‌ සමඟ උරෙනුර ගැටෙමින් ඔවුන්ගේ අත්දැකීම් සහ ආභාෂයන් ලබමින් කලා ගමනට විශාල පන්නරයක්‌ එකතු කර ගැනීමටත් මට හැකියාව ලැබුණා.

ඒ අත්දැකීම් සහ ලැබූ පන්නරයන් ඔබ සිනමා අධ්‍යක්‌ෂවරයකු බවට පත් කළා නේද කියා මා විමසුවොත්....

ඇත්තෙන්ම ඔව්. 1976 දී "චන්දිරා" සිනමාවට අධ්‍යක්‌ෂණය කරන්නේ මා එතෙක්‌ එකතු කර ගත් අත්දැකීම් ගොන්න ප්‍රයෝජනයට ගනිමින්. "චන්දිරා" කියන්නේ පී. වික්‍රමනායක මහතා එදා "සතුට" පත්‍රයට ඇඳි චිත්‍ර කතාවක්‌. මේකේ පිටපත ලිව්වේ අර්නස්‌ට්‌ වඩුගේ මහතා. මම මුල්වරට සිනමා අධ්‍යක්‌ෂවරයා වන්නේ මෙතනදී. ඊට පසුව "අහිමි දඩමං", "කවුළුව", "බයිසිකලේ" ඇතුළු චිත්‍රපට 08 ක්‌ පමණ මම අධ්‍යක්‌ෂණය කළා. ජනතා ප්‍රසාදය ලැබුවා. සැලකිය යුතු ආදායම් ඉපයුවා.

නිර්මාණයක්‌ සම්මානයට පාත්‍ර වීම නිර්මාණ ශිල්පියාට උත්තේජනයක්‌. මෙය ඔබට දැනී තිබෙනවාද?

ඒක ඇත්ත. ඒ උත්තේජනය ලබන්න හැම නිර්මාණ ශිල්පියාම කැමතියි. ප්‍රශ්නය තියෙන්නේ කුමන නිර්ණායකයකට යටත්ව මෙම සම්මාන පුද දීම් පැවැත්වෙනවාද කියන එකයි. එදා මගේ "කවුළුව" චිත්‍රපටය ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවා. රූබී ද මෙල් හොඳම සහාය නිළිය ලෙස සම්මාන ලැබුවා. නමුත් සම්මාන උළෙලට ප්‍රථම විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේ මගේ චිත්‍රපටයට සම්මාන 09 ක්‌ නිර්දේශ වී ඇති කතාවක්‌. ඒත්.... සිද්ධ වුණේ ඒක නෙවි. හැබැයි "කවුළුව" චිත්‍රපටය දින 125 ක්‌ ප්‍රදර්ශනය වුණා.

ඔබ නිෂ්පාදනය, අධ්‍යක්‌ෂණය සහ කැමරාව මෙහෙය වූ "පිලි කඩතුරාව" චිත්‍රපටයට මොකද වුණේ....?

ඒක තාම මගේ ළඟ තියනවා. දැන් අවුරුදු 7ක්‌ ගෙවිලා ඉවරයි වැඩ කටයුතු අවසන් කරලා. අද සිනමාවේ පවතින මාෆියාව සහ ඒකාධිකාරය නිසා තමයි මේක පෙන්වා ගන්න බැරි. මගේ චිත්‍රපටය සමඟ තවත් චිත්‍රපට 57 ක්‌ "බෙල්ට්‌" එකේ හිරවෙලා. එහෙම නැත්නම් හිර කරලා. එහෙම කරලා තියන එකට වගකිවයුත්තා චිත්‍රපට සංස්‌ථාව. ඔවුන් තමයි අවස්‌ථාව ලබා නොදෙන්නේ. ගිය වසරේ ජාත්‍යන්තර සම්මාන ලබාගත් චිත්‍රපට වෙනුවෙන් මුලින් අවස්‌ථාව දෙන කතාවක්‌ තමයි කියන්නේ. මම මේ චිත්‍රපටය වෙනුවෙන් ගත් ණය සියල්ල ගෙවා අවසන්. ඒත් මම උපරිම කලකිරීමෙන් ඉන්නේ. පෙන්නන්න දුන්නොත් පෙන්වනවා. නැත්නම් පස්‌සෙ කාට හරි විකුණනවා. රවින්ද්‍ර, සංගීතා, ඉන්ද්‍රජිත් නාවින්න, ඇන්ජලා සෙනෙවිරත්න, රත්නාවලී කැකුණුවල, රෙක්‌ස්‌ කොඩිප්පිලි, එඩ්වඩ් ගුණවර්ධන ඇතුළු පිරිසක්‌ මෙහි රඟපෑවා. චිත්‍රපට සංස්‌ථාව මේ චිත්‍රපටය ඉහළ ගණයේ චිත්‍රපටයක්‌ කියලා පිළිගෙන ප්‍රමිතියක්‌ දීලත් තියනවා. නමුත් අවාසනාව තාම පෙන්වන්න අවසර නැහැ.

සිනමා කර්මාන්තයට චිත්‍රපට සංස්‌ථාව සහ රජය කුමක්‌ද කරන්නේ කියා හැමෝම බලා ගෙන ඉන්නවා විතරයි නේද?

ඇත්ත. වෙච්ච කිසිම හොඳක්‌ නැහැ. මුළු කර්මාන්තයම අද අකර්මණ්‍යය වෙලා. රජය කලාකරුවා දෙස සානුකම්පිතව බලන්නේ නැහැ. පාලකයාට කලාව ඕන නෑ. නමුත් මහ ජනතාවට අවශ්‍යයයි. අද මේ කර්මාන්තය විශාල පිරිසකගේ ජීවනාලිය බවට පත්ව තිබුණත්, එයට දිරි දීමට රජය අපොහොසත්ව තිබෙනවා. මමත් සිනමා ශිල්පීන්ගෙ සංගම්වල නිලතල දැරුවා. ඒවා මීටිං විතරයි. අපිs පිකටිං කළා. පෙළපාලි ගියා. නමුත් ඇමැතිවරයා හෝ රජය ඒවා පිළිගත්තේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සිනමා ශිල්පීන්ගේ බැංකු ණය වෙනුවෙන් හරි මැදිහත් වී සහන සැලසුවා. එය අගය කිරීම අපේ යුතුකමක්‌. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේ තමයි චිත්‍රපට සංස්‌ථාව පුද්ගලිකරණය කළේ. මේ ඇතිව තිබෙන හැම ප්‍රශ්නයටම මුල ඒක. අද චිත්‍රපටයි, කර්මාන්තයයි, චිත්‍රපට සංස්‌ථාවයි සියල්ල අසීරුවෙන් ඇද ගෙන යන තත්ත්වයකට වැටිලා.

"ඩිජිටල්" කියන්නේ අපේ සිනමාවට සැබෑ නොවන සිහිනයක්‌ නේද....?

ඇත්ත. ඒක නම් දැන් බලා ගෙන ඉඳලම ඇති වෙලා. දැන් "නෙගටිව් ෂුට්‌" නැහැ. ඒක ලෝකයෙන්ම තුරන් වෙලා තියන තත්ත්වයක්‌ තමයි තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම "ඩිජිටල්" කරා යා යුතුයි. නමුත් මුලින් ආවාට වැඩිය දැන් මිල ගණන් වැඩියි. සිනමා ශාලාවන්ට ඩිජිටල් වියදම් දැරීම අපහසුයි. අද සිනමාවේ ආදායම් තත්ත්වයත් අඩුයි.

සිනමාවේ බිඳ වැටීමට පුංචි තිරයත් හේතුවක්‌ කියලා තිබෙන චෝදනාව ඔබ පිළිගන්නවාද?

යම් තාක්‌ දුරට පිළිගත යුතුයි. නමුත් ප්‍රධාන කාරණාව සිනමා නිර්මාණ භංගත්වය. හොඳ චිත්‍රපටවලට මිනිස්‌සු එනවා. එදා "කස්‌තුරි සුවඳ" දින සියය පසු කරලා ප්‍රදර්ශනය වුණේ චිත්‍රපට ශාලා "හවුස්‌a µqල්" වෙලා. මේ චිත්‍රපටය තිරගත වෙද්දී එදා රටේ තිබූ තත්ත්වය අනුව දවස්‌ 03 ක්‌ එක දිගට චිත්‍රපට ශාලා වැහුවා. නමුත් අපි චිත්‍රපටය ගැලෙව්වේ නැහැ. හතරවන දවසේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ ශාලා සියල්ල " ජෑම් පැක්‌" වෙලා. සමහර යුගවල චිත්‍රපට බලන්න සවස 6 න් පසු එළියට ගියේ නැහැ. ඒවාත් මේ කර්මාන්තයට බලපෑවා. නමුත් අදට වැඩිය සිනමා රුචිකත්වයක්‌ එදා තිබුණා. හේතුව තමයි හොඳ නිර්මාණ බිහිවීම.

සිනමාවට අත් වූ ඉරණම ම අද පුංචි තිරයටත් අත් වී තිබෙන බවක්‌ නේද කියවෙන්නේ....

ඔව්. ඒක එහෙම නෙවී කියලා කියන්නත් බැහැ. මම තිරය පොඩිද ලොකුද කියලා බලලා නිර්මාණ කළේ නැහැ. නමුත් සිනමාවට වෙච්ච දේම පුංචි තිරයටත් වෙලා තියනවා කියලා දකිනවා. එයට හේතුව වී තිබෙන්නෙත් අපේ නිර්මාණ බංකොලොත්භාවය. ඒක නිසානේ අද රිමෝට්‌ එක අතේම තියන් ටී. වී. බලන්නේ. මම 1996 දී විතර "දෙදරුම" කියන ටෙලි නාට්‍ය පුංචි තිරයට අධ්‍යක්‌ෂණය කළා. ඒ අතරතුර තවත් ටෙලි නාට්‍ය කිහිපයක කැමරා අධ්‍යක්‌ෂණය කළා.

ඔබේ මුල්ම සිනමා අධ්‍යක්‌ෂණය වූ "චන්දිරා" චිත්‍රපටය අද

"ගිරි කුලේ දෝංකාරය" නමින් ටෙලි නාටකයක්‌ව ප්‍රදර්ශනයට නියමිතව ඇති බව පැවසුවා. වසර 05 ක නිහැඬියාව නිමා කළේ මේ නිර්මාණය හරහා නේද?

ඔව්. මේක චිත්‍රපටයට වඩා වෙනස්‌. ගිය මාසයේ රූපගත කිරීම් අවසන් කළා. දැන් සංස්‌කරණය කරමින් පවතිනවා. අනෝමා ජනාදරී, රිචාඩ් වීරක්‌කොඩි, ජගත් බෙනරගම, නිරෝෂන් විඡේසිංහ, දයාසිරි හෙට්‌ටිආරච්චි යන පුංචි තිරයට හඳුන්වා දෙන ටිලානී පෙරේරා මෙහිදී රංගගත වුණා. මේ නාටකය ඉක්‌මනින් විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි කැමරාව, අධ්‍යක්‌ෂණය මගේ. ඒ වගේම තිර රචනයටත් දායක වුණා. අද අපි තරගකාරීව පුංචි තිරයේ රැඳී නොසීටීම නිසා ඉන්දියානු නිර්මාණවලට යටත් වෙන්න සිදු වෙලා. ඉන්දියානු නිර්මාණවල ආකර්ෂණයට සංධර්භයනට සහ දේට සංකල්පවලට අපේ මිනිස්‌සු වශී වෙලා. අනික ඕනෑම නිර්මාණයකට ඔවුන් අත දිග හැර වියදම් කරනවා. අපිට ඒවා දරා ගන්න බැහැ. අපිට ඔවුන් එක්‌ක පෑහෙන්න බැරිකම නිසාම තරගයක්‌ දෙන්නත් බැහැ. ඉතිං... අපේ නිර්මාණ දිහා බලලා අපේම අය එක එක විවේචන ගේනවා. අද අපි ටෙලි නාට්‍යයක්‌ කරලා චැනල් එකට ගියහම ඊට සරිලන මුදලක්‌ ලැබෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක්‌ තුළ හොඳ නිර්මාණ බිහිකරළීමත් ප්‍රශ්නයක්‌. ඉතිං.... නිර්මාණකරුවාට දොaෂාරෝපණ ගෙන එන්නට ප්‍රථම ඒ ගැනත් සානුකම්පිකව බලනවා නම් මැනවි.

ඔබේ මූලාරම්භය සිනමාව. නැවත එතනට යන්න සූදානමක්‌ නැතිද?

ඇයි නැත්තේ. මගේ වෘත්තීය සිනමාව. අනිවාර්යෙන්ම මා එතැන සිටිය යුතුයි. දැනුත් මගේ අතේ හොඳ තිර පිටපතක්‌ තියනවා. නමුත් පවතින තත්ත්වයන් සමඟ නිෂ්පාදකවරුන් අහන ප්‍රශ්නවලට උත්තර දීමේ අපහසුවක්‌ තියනවා. නමුත් කළ යුතු දේ කෙසේ හෝ කළ යුතුව තිබෙනවා. ඒ අපේ ඉදිරි පරපුර වෙනුවෙන්. මම දෙයක්‌ කරන්නෙත්, යමක්‌ කතා කළොත් කතා කරන්නෙත් මට අරගෙන යන්න නෙවී. මේ කලාවේ සහ කර්මාන්තයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන්.

චිත්‍රපටවල වගේම ලස්‌සන ආදර කතාවක්‌ ඔබේ පවුල් ජීවිතය තුළත් ගලා ගියා නේද?

ඇත්තටම ඔව්. මමත් එදා හොඳ ප්‍රේමවන්තයෙක්‌. ඒක හුඟක්‌ පැරණි ප්‍රේම කතාවක මල්ඵල ගැන්වීමක්‌. ඇය සෝමා දසනායක. මගේ ආදරණීය බිරිඳ. වසරකට පෙරාතුව ඇය මියගියත්, එදා මගේ ළඟින් සිටිමින් කලාව වෙනුවෙන් ලබාදුන් සහායත්, දරුවන් වෙනුවෙන් දැක්‌වූ සෙනෙහසත් කිසිදා අමතක කළ නොහැක්‌කක්‌. ක්‍රිෂාන් හරින්ද්‍ර සහ වරුණ ප්‍රසාද් අපේ පුතුන්. ඔවුන්a කලාවට සම්බන්ධව කටයුතු කරනවා. මගේ බලාපොරොත්තුවත් මියෙන තුරු කළ හැකි යහපත් සේවයක්‌ මේ කලාව වෙනුවෙන් ඉටු කරලීමයි.

සුජීව තත්සර

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.