තරහා ගත යුතු නැත
නොරොච්චෝලේ නැවත අක්‍රිය වේ


හිත හිතා ඉන්නවත් හිතමින් තැවෙන්නවත් ඕනෑ තරම් ප්‍රශ්න ආණ්‌ඩුව අපට නිර්මාණය කර දී තිබෙන නිසා අපට බොහෝ අර්බුද පෙනෙන්නේ නැත. දැනෙන්නේ ද නැත. දැනුනත් කරන්නට දෙයක්‌ ද නැත. කුණු කන්දේ කතාව (ෙ€දවාචකය) නිසා අපට ඊයේ පෙරේදා නොරොච්චෝලේ විදුලිබලාගාරය අක්‍රිය වූ වග දැනුනේවත් නැත. නොරොච්චෝලේ මේ අක්‍රිය වූයේ අතිසාර්ථක 37 වැනි වතාවටය. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මේ අක්‍රිය වීම සිදුවූයේ පසුගිය අඟහරුවාදාය. දින දෙකක්‌ තුළ එය යථා තත්ත්වයට පත් කරන බව අදාළ වගකිවයුත්තන් නිවේදනය කර තිබිණි. දැන් තත්ත්වය හොඳ වී තිබෙන්නට පුළුවන. එහෙත් අපට පෙනෙන හැටියට ප්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ. 37 වැනි වතාවටත් අක්‍රිය වූ විදුලි බලාගාරයක්‌ නැවත බොහෝ ඉක්‌මනින් අක්‍රිය වන්නට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. අපට හිතෙන්නේ නොරොච්චෝලේ යනු කැඩෙන්නටම හදා ඇති බලාගාරයක්‌ බවය.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ආධුනික විදුලි කාර්මික ශිල්පීන් පුහුණු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ හැටියට පවත්වාගෙන යැම වඩාත් සුදුසුය. කැඩුණු බලාගාරය නිතර නිතර පිළිසකර කරන ආධුනිකයන්ටත්, පළපුරුද්ද ඇති අයටත් ඉංජිනේරුවන්ටත් ගල්අඟුරු බලාගාරයක්‌ නිසි ලෙස නඩත්තු කරන්නේ කොහොමද යන කාරණය ගැන මනා අවබෝධයක්‌ ඉන් ලැබෙනු ඇත. නොකැඩෙන, නිතර අක්‍රීය නොවන හොඳම විදුලි බලාගාරය චීනය අපට ලබාදෙන්නේ මේ පුහුණු කාලයෙන් පසුව විය හැකි බව අපේ විශ්වාසයයි. ඒ නිසාම ඉදිරියේදීත් නොරොච්චෝලේ නිතර නිතර කැඩෙන්නට නියමිත බව විදුලිය පාරිභෝජනය කරන කවුරු කවුරුත් සිහි තබාගැනීම හොඳය.

ගල්අඟුරු බලාගාරයක්‌ ලංකාවට වුවමනා බවට යෝජනා වූයේ දශක තුනකටත් පෙර කාලයේ සිටය. කෙටියෙන් කීවොත් ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයෙත්, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේත් ඊට පසුව ඩී. බී. විඡේතුංග ජනපතිවරයාගේ කාලයෙත් ගල් අඟුරු යෝජනාව විටින් විට කරලියට පැමිණියේය. යෝජනාව ක්‍රියාත්මක තලයට පැමිණියේ චJද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනපතිවරියගේ කාලයේය. ඒ කාලයේ "පුරුද්දකට" මෙන් විදුලිය කපා හරිමින් තිබුණු බව අමතක කළ යුතු නැත. පැයකින්, දෙකකින් නොව පැය හත - අට වශයෙන් ඒ යුගයේදී විදුලිය කපාහරිමින් තිබිණි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට එනවිට බලාගාරය හදන්නට එකඟ වී සිටි ජපානය වැඩේ අතහැර දමා තිබිණි. චීනය, වැඩේ අතට ගත්තේ ඉන් පසුවය. චීනය නොරොච්චෝලේ අපට ලබා දුන්නේය. 2011 මාර්තු මාසයේ එය විවෘත කෙරිණි. එම වර්ෂයේදීම බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම එකවර ඇනහිටියේය.

එතැන් පටන් අපට නොරොච්චෝලේ අක්‍රිය වීමේ කතන්දරය දිගින් දිගටම ඇසීමේ වාසනාව උදාවිය. මේ කැඩෙන හැම වතාවකම ඉංජිනේරුවන් කියන්නේ ඒවා "සුළු සුළු" යාන්ත්‍රික හා තාක්‍ෂණික දොaෂ බවය. 37 වැනි වතාවටත් අපට මේ "සුළු" කතාව අසන්නට සිදුව තිබේ. 37 වැනි වතාවටත් කැඩෙන විට එයින් රටට වෙන පාඩුව කියන තරම් සුළු නැති බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. වැඩි දෙනකුගේ අවධානයට ලක්‌නොවුණ ද නොරොච්චෝලේ අක්‍රියවීමේ කතාව ගැන බැරෑරුම්ව සිතිය යුතු යෑයි අප කියන්නේ එහෙයිනි. එහෙත් රටේ බොහෝ ප්‍රශ්න විසඳන්නට බැරි නිලධාරීන්ටත් දේශපාලනඥයන්ටත් නොරොච්චෝලේ ගැටලුව විසඳන්නට හැකියාවක්‌ නැති වීම ගැන පුදුම වන්නවත්, තරහා ගන්නවත් වුවමනා නැත. ඒ අපේ රටේ වගකිව යුත්තන්ගේ හැටිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.