රට යන අත
දේශපාලන කඳු ඉරිතලා ගිය සතියක්‌...

ජනිත සෙනෙවිරත්න

මීතොටමුල්ල කුණු කන්ද නාය යැම නිසා මුළු රටේම අවුරුදු සිරිය කණපිට පෙරළුණා පමණක්‌ නොව එය මහා දේශපාලන ප්‍රශ්නයක්‌ බවටද පත්ව තිබේ. එක්‌ අතකින් රටේ අයහපත් ආර්ථික තත්වය හා දිනපතා පැවැත්වෙන රටපුරා උද්ඝෝෂණ, නිරන්තරයෙන් පැවැත්වෙන වැඩ වර්ජන නිසා රටේ එදිනෙදා කටයුතු සිදුවන්නේ මන්දගාමීවය. විදේශ ආයෝජන පවා ශ්‍රී ලංකාවට යොමුවන බවක්‌ පැහැදිලිව නොපෙනේ. මෙවන් අවස්‌ථාවක කුණු කන්ද නාය යැමද රජයට අහිතකර ලෙස බලපෑවේය. මීතොටමුල්ලේ ජනතා විරෝධය මුළුමනින්ම එල්ලවූයේ රජයටය. මේ නිසා එහි ගිය මැති ඇමැතිවරුන්ට හා ඉහළපෙළේ රජයේ නිලධාරීන්ට සිදුවූයේ ජනතා විරෝධය හා හූ හඬ මැද ආපසු හැරී එන්නටය.

කුණු කන්ද නාය යැමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය වෙත නියෝග කළේ උපරිම ශක්‌තිය යොදා විපතට පත් ජනතාවට සහන සලසන ලෙසය. එම කටයුතු පුද්ගලිකවම මැදිහත්වී සොයා බැලූ ජනාධිපතිවරයා ඊට අදාළ සියලුම අංශ සමඟ නිරතුරුවම සාකච්ඡා පවත්වමින් අවතැන් වුවන් සඳහා සහන සපයන්නටද පියවර ගත්තේය. මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පවුල් 98 කට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ වහාම ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිලධාරීන්ට උපදෙස්‌ ලබා දී ඇත.

මීතොටමුල්ල ප්‍රදේශයේ අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීමට මූලිකත්වය ලබා දෙන ලෙසත් එම පිරිසට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමේ කටයුතු විධිමත්ව සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කර ඇත.

එමෙන්ම විපතට පත් ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු ගැන දැඩි අවධානය යොමු කරන ලෙස උපදෙස්‌ දී ඇති ජනාධිපතිවරයා යුද හමුදාවේ පූර්ණ මෙහෙයවීමෙන් ඉදිරි මාස කිහිපය තුළ ප්‍රදේශයේ කුණු ඉවත් කිරීමේ කටයුතු සිදු කරන ලෙසත් අනවසර පදිංචි කිරීම් තහනම් කරන ලෙසත් උපදෙස්‌ දී තිබේ.

මේ අතර කුණු ප්‍රශ්නයට නිසි විසඳුම් ඉදිරිපත් කරමින් විවිධ ව්‍යාපෘති ඉදිරිපත් කළ විදේශ සමාගම් වලින් පගාව ඉල්ලූ බවට රජයේ ප්‍රබල ඇමැතිවරුන් වෙත චෝදනා එල්ලවී තිබේ.

මේ අතර මීතොටමුල්ල සිද්ධිය සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්‌ෂය රජයෙන් ඉල්ලා ඇත.

එසේම කුණු කන්ද සම්බන්ධයෙන් විවිධ පාර්ශව එකිනෙකා වෙත වගකීම පවරමින් තමන් ගැලවෙන්නට දරන උත්සාහය පසුගිය දිනවල දක්‌නට ලැබුණි.

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යැම සම්බන්ධයෙන් ජනපතිට හෝ ආණ්‌ඩුවට චෝදනා කිරීම වැරදි බවත් එහි සම්පූර්ණ වගකීම මෙගා පොලිස්‌ ඇමැති පාඨලී චම්පික රණවක මහතා බාරගත යුතු බවත් බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය පැවසීය.

මෙම කුණු කන්ද කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් තමන් විදෙස්‌ සමාගමක්‌ සමග සාකච්ඡා වට ගණනාවක්‌ පැවැත්වුවද අදාළ යන්ත්‍රාගාර ඉදිකිරීම සඳහා පර්චස්‌ 60 ක ඉඩම් ප්‍රමාණයක්‌ තාවකාලික ලබා දීමට ඇමැති චම්පික විරුද්ධ වූ බවටද ඔහු චෝදනා කළේය.

පළාත් පාලන ආයතනවල හා පළාත් සභාවල බලය උදුරා ගැනීමට දඟලන ඔහුට දඬුqවම් දිය යුතු යයි ද මහ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මීතොටමුල්ල කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්‌ සඳහා බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ගෙන ආ බ්‍රිතාන්‍ය සමාගමට එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය තාක්‌ෂණික සහ මූල්‍ය හැකියාව නොමැති බව මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊට පිළිතුරු වශයෙන් පැවැසීය.

එසේම එම සමාගම විසින් යොමුකළ ව්‍යාපෘති වාර්තා සම්බන්ධයෙන් ඇති වූ ගැටලු 17 ක්‌ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියදී මේ වනතෙක්‌ ඊට පිළිතුරු නොලැබුණු බවද හෙතෙම කියා සිටියේය.

අදාළ බ්‍රිතාන්‍ය සමාගම ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවේ ඒ සඳහා අක්‌කර තුනක බිම් ප්‍රමාණයක්‌ අවශ්‍ය බව දන්වා ඇතැයිද,මීතොටමුල්ල ප්‍රදේශයේ කැළි කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස සිදුනොවන බව අවස්‌ථා ගණනාවකදීම නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගර සභාවට දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් වරෙක මෙරට පරිසර ඇමැතිවරයා ලෙස පවා කටයුතු කළ චම්පික රණවක ඇමැතිවරයාට මේ චෝදනා වලින් මුළුමනින්ම ගැලවිය නොහැක. කෙසේ වෙතත් දැන් කළ යුත්තේ සියලු දෙනා එක්‌ව මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමය. මීතොටමුල්ල ප්‍රශ්නය නිසා වැසී ගිය ඩෙංගු රෝගය රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. රජය වහාම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුය.

හම්බන්තොට වරාය චීනයට බදුදීම සම්බන්ධයෙන් තවමත් රජයේ අවසන් තීරණය ආණ්‌ඩුවේ පාර්ශව අතර ඇත්තේ කඹ ඇදිල්ලකි. කෙසේ හෝ මෙය සිදුකරන්නට එක්‌සත් ජාතික පක්‌ෂය කටයුතු කරමින් සිටිය ද ආණ්‌ඩුවේ අනෙක්‌ පාර්ශව ඊට සූදානම් නැත.

හම්බන්තොට වරාය චීනයට බදුදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව, ජපානය හා ඇමරිකා එක්‌සත් ජනපදය ශ්‍රී ලංකා රජය වෙත සිය නොකැමැත්ත පළකර තිබේ.

වරින්වර කල්ගිය කැබිනට්‌ සංශෝධනය කවර මොහොතක හෝ සිදු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංශෝධනය නොමැතිව රජයක්‌ ලෙස ඉදිරියට යාමේ ප්‍රශ්නද පවතී. යහපාලනය ගැන ප්‍රතිඥා දී බලයට පැමිණි රජයේ ඇතැම් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය වැඩිපුරම අද විවේචනය කරන්නේ එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්මය. කීපදෙනකු රකින්නට ගොස්‌ රාජ්‍ය බලය අහිමි කරගන්නවාද යන්න නැවත සිතා බැලිය යුතුය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල ජපානයේ සහ වියට්‌නාමයේ නිල සංචාරවල නිරත විය

අග්‍රාමාත්‍යවරයාගේ ජපාන නිල සංචාරයට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික්‌ සමරවික්‍රම යන මහත්ම මහත්මීන් එක්‌ව සිටියහ.

මහනුවර මහ නගර සැලැස්‌ම හා සැහැල්ලු දුම්රිය පද්ධතිය, මුහුදු දියෙන් පානීය ජලය නිපදවා ගැනීම, උසස්‌ අධ්‍යාපන ආයතන පිහිටුවීම හා බෝගම්බර සංස්‌කෘතික මධ්‍යස්‌ථානය ස්‌ථාපිත කිරීම සම්බන්ධයෙන් ජයිකා ආයතනයෙන් ලබාගත හැකි සහයෝගය ආදී විවිධ ව්‍යාපෘති රාශියක්‌ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

කලාපීය සාමය සහ ආරක්‌ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව වගකීම් සහිත කැප වන බව පැවැසූ වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ කිසිදු වරායක්‌, කිසිදු අවස්‌ථාවක විදේශීය රටවල හමුදා කාර්යයන් සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බවත්, ශ්‍රී ලංකාවේ වරායන්හි ආරක්‌ෂිත වගකීම් පැවැරෙනුයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට පමණක්‌ බවත් ජපන් රජයට ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්‌නාම ජනාධිපති ට්‍රාන් දායි ක්‌වාන්ග් මහතා අතර නිල සාකච්ඡා වියට්‌නාමයේ හැනෝයි හිදී පැවැත්විණි. දෙරට අතර ඛණිජ තෙල් හා ගෑස්‌, යටිතල පහසුකම්, තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ, රෙදිපිළි හා ඇඟලුම්, කෘෂි හා ධීවර නිෂ්පාදන සැකසුම්, පුනර්ජනනීය බලශක්‌ති, ගුවන් සේවා, අධ්‍යාපන සහ සංචාරක යන ක්‌ෂේත්‍රවල වැදගත් එකඟතා කිහිපයකට එළඹීමට මෙම සාකච්ඡාවලදී හැකිවී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය 19 වැනිදා දක්‌වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණ ද මීතොටමුල්ල ෙ€දවාචකය හේතුවෙන් එම සංචාරය අදාළ කාලයට පෙර නිම කරන ලදී.

යුරෝපා සංගමයට යෑවෙන භාණ්‌ඩ සඳහා ඨීඡ+- සහනය ලබා ගැනීමට ආණ්‌ඩුව කටයුතු කළද මේ වන විට උද්ගතවී ඇත්තේ එම සහනය නොලැබෙන තත්ත්වයකි. ඒ එම රටවල් එම සහනය ලබාදීම සඳහා කොන්දේසි පැනවීම නිසාය. එම ඇතැම් කොන්දේසි ශ්‍රීලංකාව වැනි බෞද්ධ රටකට සුදුසු නොවන අතර ඒ සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ ප්‍රධාන පාර්ශවයක්‌ වන ශ්‍රීලංකා නිදහස්‌ පක්‌ෂයද විරෝධය පළකර තිබේ.

ඨීඡ+ සහනය ලබා දීමට ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහය ඇතුළු අයිතිවාසිකම් නීතිගත කිරීමටත්, ත්‍රස්‌තවාදය වැළැක්‌වීම පනත වහාම අහෝසි කිරීමටත් යුරෝපා රටවල් යෝජනා කර තිබේ.

වසර 30 ක්‌තිස්‌සේ පැවැති එල්ටීටීඊ දරුණු කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට මෙන්ම දැනට ජාත්‍යන්තරව කොටි ඩයස්‌පෝරාව හරහා මුදල් එකතු කිරීම මෙන්ම ශ්‍රීලංකාවේ භෞමික අඛණ්‌ඩතාවයට මෙන්ම රටේ ස්‌වෛරීභාවයට හානිකරන ක්‍රියා මැඬලීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් නීතිගතකොට ඇති ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කළහොත් නැවත යුද්ධයක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැක.

යුරෝපා සංගමයේ විශේෂ නියෝජිතයින් ජී එස්‌ පී ප්ලස්‌ (ඨීඡ+) සහනය යළි ලබා ගැනීමට අවශ්‍යනම් එම කරුණු ප්‍රධාන කොට කරුණු රාශියක්‌ සපුරන ලෙස ශ්‍රී ලංකා රජය වෙත පසුගියදා ලිපියක්‌ මගින් දැනුම් දී ඇත.

ඒකාබද්ධ විපක්‌ෂයේ ක්‍රියාකාරීන් වන ශ්‍රීලංකා නිදහස්‌ පක්‌ෂයේ ආසන සංවිධායකවරුන් ගණනාවකට මේ වන විට සිය ආසන සංවිධායක ධුර අහිමිවී තිබේ. මෙසේ ඉවත් කළ අය වෙනුවට නව සංවිධායකවරුන් පත්කළ ද ජනතා සහය නව සංවිධායකවරුන්ට පවතිනවාද යන්න ගැටලුවකි. මේ නිසා පක්‌ෂයේ දෙපාර්ශවයම එක්‌ව සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගන්නවා හැර මෙවැනි වෙනස්‌කම් වලට යාමේ අවසන් ප්‍රතිඵලය ප්‍රතිවාදීන්ට ජය ලබාදීම බව දෙපාර්ශවයම තේරුම්ගත යුතුය. විශේෂයෙන්ම ඉදිරියේදී පැවැත්වෙන උතුරුමැද හා සබරගමු පළාත් සභා මැතිවරණවලදී මෙය තීරණාත්මකය.උතුරු මැද පළාතේදී මෙය අතිශය තීරණාත්මක වනු ඇත. එම නිසා වහාම මෙය විසඳාගත යුතුය.

මේ අතර එජාපය තුළ ද යම් යම් අර්බුද පෙනෙන්ට තිබේ. මාතලේ එජාප ප්‍රබලයන් වන අලුවිහාරේ ලා වෙනම කණ්‌ඩායමක්‌ ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණයට යන්නට උත්සහ දරන බව පැවසේ.

මාතලේ දී පසුගියදා ප්‍රසිද්ධියේම විවිධ විවේචනයන් දක්‌නට ලැබුණි. මෙය අතිශය තීරණාත්මක වන්නේ ගම දිනාගන්නේ නැතිව මැතිවරණ ජයග්‍රහණයක්‌ ගැන සිතීම පවා සිහිනයක්‌ වන නිසාය. එසේම අද එජාපය කළ යුත්තේ ගැමි සුවඳ හඳුනන අය පක්‌ෂයට ළංකරගෙන වගකීම් පැවරීමය. ජනතාවගේ ප්‍රශ්න ගැන වැටහීමක්‌ නොමැති ඇතැමුන් ගන්නා තීරණ පක්‌ෂය ජනතාවගෙන් ඈත් කරන බව එහි ප්‍රබලයන් තේරුම් ගත යුතුය.

මෙවර මැයි දිනය වෙනුවෙන් මේ වන විට ප්‍රධාන පක්‌ෂ සියල්ල ලහිලහියේ සූදානම් වනු පෙනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්‌ෂයේ මැයි රැලියට විවිධ පාර්ශව සම්බන්ධ කරගන්නට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. එහි බර කරට ගෙන ඇත්තේ බැසිල් රාජපක්‌ෂ මහතාය. මැයි දිනයට පෙර ඔහු හෝ ඒකාබද්ධ විපක්‌ෂයේ ප්‍රබලයන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්‌ ගැනද ආරංචි පැතිර යමින් පවතී.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය සඳහා මැයි මාසයේදී මෙරටට පැමිණෙන අතර ඒ සංචාරයේදී විවිධ ගිවිසුම් දෙරට අතර ඇතිකර ගැනීමට නියමිතය. ජනතා විමුක්‌ති පෙරමුණ හා විවිධ බහුජන සංවිධාන රැසක්‌ මෙසේ ඇතිකර ගන්නට නියමිත ගිවිසුම් වලට දැනටමත් විරෝධය පළ කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.