පෙරඹර අඬහැරය
නැඟෙනහිර සිංහලයන් අසරණයි

* සුසන්ත අමර බන්දු

මඩකලපුව සිංහලයන්ට රජයෙන් නිසි සහනයක්‌ නැහැ. අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමියන් ඒ ගැන මෙහෙම කීවා

පුළුකුණාව, කෙවිලියාමඩුව, මංගලගම, සින්නවත්ත, සිප්පිමඩුව, දිවුලපොතාන සහ ඒරාවුර් ආදී ප්‍රදේශවල ජීවත් වන සිංහලයාගේ තත්ත්වය ඉතා කනගාටුදායකයි. ඒ ජනතාව අන්ත අසරණ වෙලා. ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු තත්ත්වයක්‌ ඇති කරලා දෙන්න බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. යුද්ධයෙන් මේ ජනතාව බැට කාලා ගෙවල් දොරවල් අත්ඇරලා පණ බේරගෙන ගිය උදවිය නැවත ආපුවහම ගැටලු ගොඩක්‌ මතුවෙලා තියෙනවා. ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මේ ගම්මානවල ජනයාගේ පදිංචිය පිළිගන්නේ නැහැ.

ඒ නිසා සමහර පිරිසකට රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාරය, ජන්ද අයිතිය සහ සමහරකුට ග්‍රාමසේවක වාර්තාවක්‌වත් ගන්න බැරිවෙලා තියෙනවා. මේ වෙන කොට කෙවිලියාමඩුව ගම්මානයේ සිංහල පවුල් කිහිපයක්‌ ගමෙන් අයින් කරන්න නඩු දාලා උසාවි නියෝගත් අරන් තියෙනවා. තවත් පවුල් රැසක්‌ අනවසර පදිංචිකරුවන් කියලා උසාවියෙන් අයින් කරන්න හදනවා.

මේ ගම්වල එදා සිටි සිංහලයන්ගේ ඉඩකඩම්වලට හොර රහසේ ඔප්පු හදනවා. ඒ ඉඩකඩම් බලෙන් අල්ලනවා. නමුත් ඒ ගැන සොයා බලන්න කවුරුවත් කටයුතු කරන්නේ නැහැ. මේ ප්‍රදේශවල දෙමළ සහ මුස්‌ලිම් ප්‍රාදේශීය ලේකම්වරුන් සිටින්නේ. ඒ නිසා ඒ අය සිංහලයන්ට නිසි සාධාරණයක්‌ ඉටු කරන්න වැඩ කරන්නේ නැහැ. සියලුම නීති රීති සිංහලයට පමණයිs.

* දෙමළ-මුස්‌ලිම් පැතිවල රාජ්‍ය ආයතනවලට සිංහල නිලධාරීන් දාන්න

අම්පාර දිස්‌ත්‍රික්‌කය ගත්තම ආසන හතරක්‌ තියෙනවා. සමන්තුරය, පොතුවිල, කල්මුණේ යන ආසනවල පරිපාලන කටයුතු කරන්නේ දෙමළ සහ මුස්‌ලිම් නිලධාරීන්, ඒ අය බලය තහවුරු කරගෙන තිබෙනවා. නමුත් සිංහල ජනතාවට පය ගහන්න තිබෙන එකම ප්‍රදේaශය අම්පාර ආසනය පමණයි. ඒ තියෙන රාජ්‍ය ආයතනවලට අන්‍ය ජාතීන් ඇවිල්ල ඉන්නේ. නමුත් අපේ සිංහල ජනතාව වෙසෙන අනෙක්‌ දෙමළ සහ මුස්‌ලිම් වැසියන් බහුතරයක්‌ පදිංචිව ඉන්න ප්‍රදේශවලට සිංහල නිලධාරීන් නැහැ. ජනාධිපතිතුමා කීවා සිංහල ජනතාවගේ ගැටලු විසඳන්න උප කාර්යාල දාන්න. සිංහල නිලධාරීන් පත්කරන්න කියලා. නමුත් ඒ සඳහා අදාළ අමාත්‍යංශවල නිලධාරීන් කටයුතු කළේ නැහැ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුරාවස්‌තු ආරක්‌ෂා කිරීම සම්න්ධයෙන් පැවති රැස්‌වීමේදී බුද්ධශාසන ඇමැතිතුමත් වාර්තාවක්‌ ඉදිරිපත් කළා. ඒ අවස්‌ථාවේදී සාකාච්ඡා කළ දේවල්වලට විසඳුම් තවමත් ලැබුණේ නැහැ. නමුත් සිංහල පැතිවල රාජ්‍ය ආයතනවලට දෙමළ සහ මුස්‌ලිම් අය දමනවා නම් ඒ පැතිවල රාජ්‍ය ආයතනවලට සිංහල අය නොදමන්නේ ඇයි.

නමුත් පුරාවිද්‍යා ස්‌ථාන ආරක්‌ෂා කරන්න සිවිල් ආරක්‌ෂක භටයන් යොදවන්න ජනාධිපතිතුමා ගත්ත හොඳ තීරණයක්‌. ඒ අනුව ඒ කාර්ය වෙලා තියෙනවා යෑයි සෝමරතන නාහිමියෝ පවසා සිටියා.

* සතොස හොරු රකී

සතොස කියන්නේ පාරිභෝකයන්ට සහන සලසන්න පිහිටවපු ආයතනයක්‌. ඒ නිසා ලංකාව පුරාම සතොස ආයතන පිහිටුවලා තිබෙනවා. ඒ අතරේ අම්පාරේ හි`ගුරාණෙත් සතොස වෙළෙඳසලක්‌ පිහිටුවලා තිබ්බා. මේ ආයතනවලත් සමහර වෙලාවට මාටියා ගැහිලි තියෙනවා. රටෙහි වන හොරකම් දිහා බලද්දී ගහන මෙගා ගැහිලි බලද්දී මේක නම් පුංචි දෙයක්‌. නමුත් අවධානයට ගතයුතු කරුණකුත් තියෙනවා.

පසුගියදා හිඟුරාණ සතොසෙන් ග්‍රැම් 400 කිරිපිටි පැකට්‌ 36ක පෙට්‌ටියක්‌ හොරෙන් පන්නන්න එහි සේවය කරන සේවකයකුයි ආරක්‌ෂාවට ඉන්න අයකුයි ලක ලැහැස්‌ති වුණා. දවල් කාලයේ මේ කිරිපිටි පෙට්‌ටිය කොහොම හරි මේ දෙන්න සතොස ආයතනයෙන් පිටට ගෙනවිත් සඟවලා තිබ්බා. පස්‌සේ මේ අය රෑක මේ ටික අරන් යන්න එද්දී හැංගිලා හිටපු පොලිසිය අය අතටම අල්ල ගත්තා. අදාළ සේවකයන් දෙන්නම මුස්‌ලිම් දෙදෙනෙක්‌. පස්‌සේ එරගම ප්‍රදේශයේ මුස්‌ලිම් දේශපාලකයෙක්‌ගේ මැදිහත්වීමෙන් සතොස සමහර ලොක්‌කෝ එකතු වෙලා කිරිපිටි හොරකම් කරන් ගිය සේවකයා නැවතත් කිසිදු දඬුවමක්‌ නැතිවම හිඟුරාණ සතොස කාර්යාලයටම එවලා තිබ්බා කියලයි ආරංචිය. ඒ මුස්‌ලිම් දේශපාලන බලයෙන්.

අවසානයේදී වැරදිකරුවන් කරන්න හදන්නේ මේ හොරකම අතටම අල්ලාගත් සතොස කළමනාකාරිවරියයි. මේ පිsළිබඳ වීඩියෝ දසුන් පවා තිබෙනවා. මීට පෙර මෙම ස්‌ථානයේ රුපියල් 120 වටිනා සබන් කැට කිහිපයක්‌ හොරකම් කළ සේවකයකුට මාස 03 ක්‌ වැඩ තහනම් කරලා තියෙනවා. නමුත් රුපියල් එකළොස්‌ දහසක්‌ පමණ කිරිපිටි සොරකම් කළ අයට කිසිදු දඬුවමක්‌ නැහැ කියල ආරංචිය. වැරැද්දට ජාති බේදයක්‌ නැහැ. දඬුවම කාටත් පොදුවිය යුතුයි. හැබැයි සතොස ඇතැම් ලොකු මහත්වරු උත්සාහ කරන්නේ හොරු නිදහස්‌ කරලා වැරැද්ද කාගේ හරි පිටින් දාන්න.

නමුත් මෙහෙම තමයි මේ පැත්තේ මුස්‌ලිම් වැරදි කරන්නන්ට දඬුවම් ඒ ඒ ආයතනවලින් ලබා දෙන විදිහ. හැබැයි සිංහලයෙක්‌ මේ දේ කළා නම් බලන්න තිබුණා දඬුවම් දෙන උජාරුව, සේවය අත්හිටුවන විදිහ. ඒ වෙනුවට මුස්‌ලිම් සේවකයන් පුරවන විදිහ. මේ පිsළිබඳ පරීක්‌ෂණ කටයුතු දමන පොලිසියේ ස්‌ථානාධිපති හර්ෂජීව මහතාගේ මග පෙන්වීමෙන් උ.පො.ප. සුනිල් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් විසින් පවත්වනු ලබනවා.

* විශිෂ්ට විදුහල්පතිවරයකුගේ සමුගැනීම

ඒ.පී. හරිස්‌චන්ද්‍ර මහතා මඩවලලන්ද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා. ඔහු තමයි අම්පාරේ අධ්‍යාපන කලාපයේ සිටින ජ්‍යෙෂ්ඨතම පළමු ශ්‍රෝණියේ විදුහල්පතිවරයා. ඔහු හදිසියේ හෘදයාබාධයක්‌ සෑදීම නිසා අම්පාර රෝහලේදී පසුගියදා අවසන් සුසුම් හෙලුවා.

ඔහු විශිෂ්ට විදුහල්පතිවරයෙක්‌. සරත් තලාගොඩ හිටපු විදුහල්පතිතුමා ඔසවා තැබූ ඒ විදුබිම දිනෙන් දින දියුණුවට පත්කළා. නගරයෙන් ඈත තිබෙන පාසලක්‌ වුවත් විවිධ ආයතනවල සහය ගෙන අම්පාරෙ නගරයේ පාසල්වලට සමාන පහසුකම් ඇති කරන්න මහන්සි ගත්ත විදුහල්පතිවරයෙක්‌. ඔහුගේ මඟ පෙන්වීමෙන් ගමේ තිබෙන මෙම විදු පියස ජාතික මට්‌ටමින් ජයග්‍රහණ රැසක්‌ අත්පත් කරගත්තා. ගීත ගැයීමට මහත් දස්‌කම් දක්‌වන සොඳුරු කලාකාමියෙක්‌. ඔහු යටතේ මටත් වසර පහක්‌ සේවය කරනන්ට ලැබීම තුළ අපිට ද ඔහුගෙන් විශාල දැනුමක්‌ ලබා ගන්නට හැකි වුණා. පසුගියදා ඔහුගේ නිසල දේහය අවසන් ගෞරව දැක්‌වීම සඳහා මඩවලලන්ද මහා විද්‍යාලයට ගෙනවිත් සරත් තලාගොඩ රංග ශාලාවේ තැන්පත් කර ආගමික වතාවත්a සිදු කළා. ඒ මොහොතේ දහස්‌ ගණනින් සිසුන් දෙමව්පියන් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් විදුපියස පිරී ඉතිරී ගියා.

කෝටිපතියන් මිය යනවා. සමහර වෙලාවට මළ ගෙදර පාළු කපන්නවත් කවුරුවත් නැහැ. නමුත් මේ සොඳුරු විදුහල්පතිවරයාගේ දේහයට ගෞරව කරන්නට සිය දහස්‌ ගණනින් පිරිස ඇදී ආවා. ඒ ඔහුq අවංකව මනුසත් බවින් සේවය නිසි ලෙස කළ නිසයි. දයාබර පියෙක්‌ විලසින් සිසුනට මඟ පෙන්නූ නිසයි. අපේ විදුහල්පතිතුමනි ඔබට නිවන්සුව ලැබේවා. අඬහැරයේ සෝ සුසුම්ද අපි මෙලසින් පුද කර සිටිනවා.

* මාධ්‍ය මර්දනය නවත්වව්
   මාධ්‍යවේදීන්ගේ මැයි රෑලිය අම්පාරේදී

මැයි දිනෙත් ළඟටම ඇවිල්ලා. සමස්‌ත ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයෙනුත් මේ පාර ප්‍රථම වතාවට අම්පාරේ මැයි දිනයක්‌ පවත්වන්නයි සුදානම. අයිතීන් ආරාක්‌ෂා කරමු මාධ්‍ය මර්දනය නවත්වව් යනුවෙන් තමයි මෙවර මැයි රෑලිය පවත්වන්න සූදානම.

සමස්‌ත ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු මාධ්‍යවේදී වසන්ත චන්දපාල මහතා මෙහෙම අඬහැරයට කීවා.

අපි ප්‍රථම වතාවට තමයි මේ ආකාරයෙන් මාධ්‍යවේදීන්ගේ මැයි රැලියක්‌ අම්පාරේ පවත්වනු ලබන්නේ. ඒ සඳහා ලංකාව පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක්‌ සහභාගි වෙනවා. විශේෂයෙන් නැඟෙනහිර සිංහල දෙමළ සහ මුස්‌ලිම් ජනමාධ්‍යවේදීන් ද සහභාගි වෙනවා විශ්වවිද්‍යාල සිසුන්, ගොවීන් සහ විවිධ සංවිධාන රැසක පිරිසක්‌ මේ සඳහා සහාභාගි වෙනවා. වත්මන් මාධ්‍ය මර්දනයට එරෙහිව හඬ නගමින් අයිතිවාසිකම් ආරක්‌ෂා කරන්නට තමයි අපි මේ මාධ්‍යවේදීන්ගේ මැයි රෑලිය අම්පාරේදී පවත්වන්නේ. එදිනට ඒ සඳහා පැමිණෙන ලෙස අපි ඉල්ලා සිටිනවා යෑයි වසන්ත චන්දපාල මහතා පවසා සිටියා.

* විරෝධතාවය නිසා ගෙන ගිය ජල නළ යළි එළයි

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ අම්බලන්ඔය පොකුණුගල ප්‍රදේශයේ ජලය නොමැතිව ගම්වාසීන් දැඩි දුෂ්කරතාවයට පත්වෙලයි සිටින්නේ. ඒ අවට සියලුම ප්‍රදේශවලට ජල නළ එළලා ජලය දෙනවා. නමුත් මේ ප්‍රදේශයේ පවුල් 50 කට ආසන්න ප්‍රමාණයකට ජලය නැහැ. ඒ නිසා කිsලෝමීටර් දෙක තුනක්‌ දුර ගොස්‌ බොන්න නාන්න ජල පොදක්‌ හොයන් එන්න ගම්වාසීන්ට සිදුවෙලා තියෙනවා.

ඒ ගම්මානයේ සිසිර අබේගුණවර්ධන මහතා මේ ආකාරයෙන් අඬහැරයට තොරතුරු පැවසුවා.

මේ ප්‍රදේශයට ජලය ලබා දෙන්න කලින් ජල නළ ගෙනාව. ඒවා පසුගිsය කාලයේ හකීම් ඇමැතිවරයාගේ කාලයේ නැවතත් අරන් ගියා. අන්තිමේදී රෑ අපිට ජලය නැතිව අපි අසලින් යන ජලය දිහා හූල්ල හූල්ල බලාගෙන ඉන්න සිදුවෙලා තියෙනවා. පොකුනුගල රජමහා විහාරයටත් ජලය නැහැ. එහි වැඩවාසය කරන හිමිවරුත් දැඩි අපහසුතාවයට පත් වෙලයි ඉන්නේ. අපි පසුගියදා පැය ගණනක්‌ මඟ හරස්‌ කරමින් දැඩි විරෝධතාවයක්‌ දැක්‌වූවා. නමුත් බලධාරීන්ගෙන් කිසිදු නිසි පිළිතුරක්‌ නැහැ. ඒ නිසා අප 10 වැනිදා සිට විරෝධතා සතියක්‌ ලෙස නම් කරලා සියලු බලධාරීන් දැනුවත් කරලා එසේa ජලය ලබා නොදුනහොත් අපි මාරාන්තික උපවාසයක්‌ මේ මාසේ අවසානයේදී ආරම්භ කරනවා යෑයි සිසිර අබේගුණවර්ධන මහතා අඬහැරයට පවසා සිටියා.

ගම්වාසීන් මේ විදිහට විරෝධය දක්‌වද්දී අවසානයේ බලධාරීන්ගේ දෙකොන මුට්‌ටු වුණා. දැන්ම මොනවත් කරන්න බැහැ කියපු අය කොහොම හරි ආයි බට ගෙනත් එලන්න පටන් ගත්තා. ගම්වාසීන්ගේ අරගලය සාර්ථක වුණා. නිකන් කට බලියන් හිටිය නම් තවත් අවුරුදු කිහිපයත් වතුර නැතිව දුක්‌ විඳින්න වෙනවා.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.