'සයිටම්' කොටස්‌ වෙළෙඳපොළට
ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

කළමනාකරණය පාලක මණ්‌ඩලයක්‌ යටතට

වසන්ත ලියනගේ

මාලබේ සයිටම් ආයතනයේ තනි පුද්ගල අයිතිය අහෝසි කර කොටස්‌ වෙළෙඳපොළේ ලැයිස්‌තුගත පොදු ආයතනයක්‌ බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

පසුගිය කාලයේදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයට ස්‌ථිර විසඳුමක්‌ ලෙස මෙම තීරණය ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරියේදී සයිටම් ආයතනයේ කළමනාකාරිත්වය පාලක සභාවක්‌ යටතට පත් කරන බවද ජනාධිපතිවරයා කීය.

සයිටම් ආයතනය තනි පුද්ගලයකු සතුව තිබීම තුළ ඒකාධිකාරීත්වයක්‌ ගොඩනැඟී ඇති බවත් එය පොදු තත්ත්වය නොවන බවත් අන්තර්Êවිශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය තමන් හට පෙන්වා දුන් බව ද නව යෝජනාව අනුව එම තත්ත්වයට විසඳුමක්‌ ලැබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මාලඹේ සයිටම් ආයතනය කොටස්‌ වෙළෙඳපොළ තුළ ලැයිස්‌තුගත පොදු ආයතනයක්‌ බවට පත් කිරීමෙන් සාමාන්‍ය පුද්ගලයකුට වුවද එහි කොටස්‌කරුවන් විය හැකි බව ද ජනාධිපතිවරයා කීය.

නිදහස්‌ අධ්‍යාපනය නැංවීමට එහි ප්‍රමිරිය, ගුණාත්මකභාවය වැඩි කිරීමට ක්‍රියා කරනවා සේම රාජ්‍ය නොවන උසස්‌ ආයතන හරහා උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීමට ශිෂ්‍යයන්ට අවස්‌ථාව ලබා දීම රජයේ ප්‍රතිපත්තිය වී ඇතැයි ජනාධිපතිවරයා පැවැසීය.

අපේ රටෙන් වසරකට 75,000 ත් 80,000 ත් අතර ප්‍රමාණයක්‌ වාර්ෂිකව උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශගත වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය පොහොසත් දෙමාපියන්ගේ දරුවන්ට පමණක්‌ සීමා වී නැතැයි ද කියා සිටියේය.

දුප්පත් දෙමාපියන් තමන්ගේ දූ දරුවන්ට කණකර දේපළ උකස්‌ තබා හෝ උසස්‌ අධ්‍යාපනය සඳහා යොමු කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වාර්ෂිකව උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින දරුවන් 150,000 කගෙන් ජාතික විශ්වවිද්‍යාලවලට තෝරා ගනු ලබන්නේ 25,000 ක්‌ පමණ පිරිසක්‌ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල සුදුසුකම් නොලබන අනෙක්‌ ශිෂ්‍යයන්ට ද උසස්‌ අධ්‍යාපනය සඳහා අවස්‌ථාව ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (20 දා) ජනාධිපති මන්දිරයේදී පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස්‌ පළ කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.