මීතොටමුල්ල අවදානම් කලාපයෙන්
තවත් පවුල් 120 ක්‌ ඉවතට


චමින්ද සිල්වා

මීතොටමුල්ල නායගිය කුණු කන්ද අසල අවදානම් කලාපයේ පදිංචිව සිටි තවත් පවුල් 120 ක්‌ ඊයේ (20 දා) එම ස්‌ථානවලින් ඉවත් කළ බව කොළඹ දිස්‌ත්‍රික්‌ ලේකම් සුනිල් කන්නන්ගර මහතා 'දිවයින'ට පැවසීය.

ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් කුණු කන්ද අසල දැඩි අවදානම් කලාප ලෙස නම් කළ ස්‌ථාන අවට පදිංචිව සිටි පිරිස මෙලෙස ඉවත් කළ බව ද ඒ මහතා කීය.

කුණු කන්ද නායයැමෙන් අවතැන් වූ පුද්ගලයන් දහසක්‌ පමණ කොළොන්නාව ටෙරන්ස්‌ සිල්වා විද්‍යාලයේ සිටින බව ද කුණු කන්ද නාය යැමෙන් මේ වන විට නිවාස 80 කට පමණ පූර්ණ හා අර්ධ හානි සිදුවී ඇති බව අනාවරණය කරගෙන තිබෙන බව ද කී ඒ මහතා එම පිරිසට කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ ඉදිකර තිබෙන මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදෙන බව ද පැවසීය.

නිවාස ලබාදෙන පිරිස නිල වශයෙන් හඳුනාගැනීම සඳහා ඊයේ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල නිලධාරීන් හා නිවාස හිමියන් අතර සාකච්ඡාවක්‌ පැවති බව ද කන්නන්ගර මහතා කීය. විනාශයට ලක්‌වූ නිවාස අතරින් ඇතැම් නිවාසවල පදිංචිකරුවන් කන්ද නායයැමට පෙර වන්දි රැගෙන ඉවත් වී ඇති බවත් ඔවුන් හඳුනාගැනීම ද කළ යුතුව ඇති බව ද දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පැවසීය.

එමෙන්ම විනාශ වූ ඇතැම් නිවාසවල භාරකරුවන් ජීවතුන් අතර නොමැතිව වයස අවුරුදු 18 ට අඩු දරුවන් පමණක්‌ ඉතිරිව සිටී නම් ඔවුන්ට භාරකරුවන් හරහා අධිකරණය මඟින් නිවාසවල හිමිකාරත්වය පැවරීම සිදුකළ යුතුව ඇතැයි ද ඒ මහතා කීය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.