විදේශ විනිමය පනත් කෙටුම්පතේ රෙගුලාසි ව්‍යවස්‌ථාවට එකඟද සලකා බැලීම 24 දා

සරත් ධර්මසේන

රජය විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති විදේශ විනිමය පනත් කෙටුම්පතේ රෙගුලාසි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල ද නැද්ද යන්න පිළිබඳව ලබන 24 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ සලකා බැලීමට නියමිතය.

මෙය හදිසියේ සම්මත කරගත යුතු පනත් කෙටුම්පතක්‌ ලෙස සලකා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇත.

එබැවින් මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවාඩු කාලය වුවද පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා එදින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇත.

ඊවා වනසුන්දර මහත්මියගෙන් සහ අර්ජුන අළුවිහාරේ, අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් විනිසුරු මඬුල්ල සමන්විත වේ.

යෝජිත පනත් කෙටුම්පතේ රෙගුලාසි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, නීතිඥවරුන් වන නාගානන්ද කොඩිතුවක්‌කු, දර්ශන වේරදුව යන මහත්වරුන් වෙන වෙනම පෙත්සම් 03 ක්‌ ගොනු කර ඇති අතර ඒ තිදෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් එදින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වාචිකව කරුණු ඉදිරිපත් කරනු ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එම පනත් කෙටුම්පතේ රෙගුලාසි ක්‍රියාත්මක කරනු ලැබුවහොත් ඉන් රටේ ජාතික ආර්ථිකයට ජාතික ආරක්‍ෂාවට මහජනතාවගේ ස්‌වාධිපත්‍යයට දැඩි බලපෑමක්‌ ඇතිවෙන බවයි.

එනිසා යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡන්දයෙන් පමණක්‌ නොව ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බවට තීන්දු කරන ලෙස ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.