පාතාලය යොදවා 'සිද්ධික්‌' බන්ධනාගාරය
තුළදීම ඝාතනය කිරීමේ සැලසුමක්‌


ඇන්ටන් ප්‍රනාන්දු

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පාකිස්‌තානයේදී අත්අංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසු දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින මොහොමඩ් සිද්ධික්‌ නොහොත් සිද්ධික්‌ නමැත්තා මහර බන්ධනාගාරය තුළදීම ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ දියත්ව ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු හා විදේශගතව සිටින කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු එක්‌ව සිද්ධික්‌ ඝාතන කුමන්ත්‍රණය සැලසුම් කර ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුට සමීප පාතාල සාමාජිකයන් දෙදෙනකු යොදවා මහර බන්ධනාගාරය තුළදී එල්ල කරන ප්‍රහාරයකින් සිද්ධික්‌ ඝාතනය කිරීමට සැලසුම් කර තිබෙන අතර මේ සඳහා මහර බන්ධනාගාරයේ නිලධාරීන් කිහිපදෙනකුගේ සහායද දැනටමත් ලබාගෙන ඇත.

එසේ සහාය දැක්‌වීම වෙනුවෙන් අදාළ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරු රුපියල් ලක්‍ෂ ගණනක මුදලක්‌ ලබා දීමට පොරොන්දු වී තිබෙන බවද පැවසේ. මෙහිදී එම බන්ධනාගාර නිලධාරීන්ට පැවරී ඇති කටයුත්ත වී තිබෙන්නේa මහර බනAධනාගාරය තුළදී උපක්‍රමශීලීව මොහොමඩ් සිද්ධික්‌ව අනාරක්‍ෂිත කිරීම බවද සඳහන් වේ.

පසුගිය කාලයේ මොහොම් සිද්ධික්‌ විසින් මෙහෙයවනු ලැබූ මත්කුඩු ජාලයේ සියලු කටයුතු තමන් අතට ගැනීම සඳහා ඉහත කී කුඩු ජාවාරම්කරුවන් මෙසේ ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයිද ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

යම් ලෙසකින් මෙම ඝාතන සැලසුම සාර්ථක වී මොහොමඩ් සිද්ධික්‌ මහර බන්ධනාගාරය තුළදී ඝාතනයට ලක්‌ වුවහොත් එය කළුතරදී බන්ධනාගාර බස්‌ රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පිරිස ඝාතනය කළාටත් වඩා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විශාල අපකීර්තියක්‌ ගෙන දෙන සිද්ධියක්‌ බවට පත්වනු ඇතැයිද බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.