කුණු කන්ද නාය යැමට දින 9 කට පෙර
ඉවත් වීමට කළ නියෝගය නිවැසියන්
ගණන් ගෙන නෑ

- ඇමැති වජිර අබේවර්ධන

චමින්ද සිල්වා

මීතොටමුල්ල කසළ කන්ද නාය යැමට දින නවයකට පෙර එම ස්‌ථානයෙන් ඉවත් වන ලෙස පවුල් කිහිපයකට දැනුම් දී ඇතත් එම නිවැසියන් ඊට නිසි ප්‍රතිචාරයක්‌ දක්‌වා නැතැයි ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

මීතොටමුල්ල කසළ කන්ද බරපතළ අනතුරුදායක තත්ත්වයකට වර්ධනය වෙමින් පවතින බව දහම්පුර ග්‍රාමනිලධාරි එච්. එම්. කුමාර මහතා විසින් අප්‍රේල් 05 වැනිදා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් සිසිර කුමාර මහතාට දැනුම්දී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටී.

ප්‍රාදේශීය ලේකම්වරයාද එම ස්‌ථානය පරීක්‍ෂා කර දිසාපතිවරයා දැනුවත් කිරීමෙන් පසු අනතුරුදායක නිවාස 10 ක නිවැසියන්ට ඒවායින් ඉවත්වන ලෙස දහම්පුර ග්‍රාම නිලධාරි එච්. එම්. කුමාර මහතා විසින් අප්‍රේල් 7 වැනිදා දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්‌වරයාට හා කොළොන්නාව සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයාට ද ලිතව දැනුම් දී ඇතැයි හෙතෙම පවසයි. මීට පෙර ද 2012 ඔක්‌තෝම්බර් 22 වැනිදා එම ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර පරීක්‍ෂණයක්‌ සිදුකරමින් නිවාස 158 ක පිරිසකට එම ස්‌ථානයෙන් ඉවත් වන ලෙසත් එක්‌ පවුලක්‌ සඳහා මසකට රුපියල් 10,000 ක ගෙවල් කුළියක්‌ කොළඹ නගර සභාව මගින් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.