"කොළඹ කුණු එපා" කිරිඳිවැල උද්ඝෝෂණයට
කඳුළු ගෑස්‌ සහ ජල ප්‍රහාර


සමන් ගමගේ - ටෝනි කරුණානායක සහ කිරිඳිවැල - සෝමපාල නැලිගම

කොළඹ කුණු කිරිඳිවැල, මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කළමනාකරණ මධ්‍යස්‌ථානයට බැහැර කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ එම ප්‍රදේශවාසීන්ට ඊයේ (20 දා) සවස පොලිසිය ජල හා කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීය.

කොළඹ කුණු කිරිඳිවැල, මාලිගාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්‌ථානයට නොදමන ලෙසත් එහි කුණු දැමීමට ඉඩ දෙන්නේ දොම්පේ ප්‍රාදේශීය සභාවට පමණක්‌ බවත් සඳහන් කරමින් ප්‍රදේශවාසීහු ඊයේ (20 දා) මෙම උද්ඝෝෂණය ආරම්භ කළහ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කිරිඳිවැල - හංවැල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබිණි. ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිරතවෙද්දී ඊයේ

(20 දා) උදැසන පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරලි මර්දන නිලධාරීන් ද එහි ළඟා වී සිටි අතර පොලිස්‌ ජල බවුසර් ද ස්‌ථානගත කර තිබිණි.

දිගින් දිගටම ප්‍රදේශවාසීන් මෙසේ උද්ඝෝෂණයේ නිරතව සිටියදී පෙරවරුවේ සිට කොළඹ කුණු

රැගෙන ආ ලොරි රථ හතක්‌ පමණ කසළ කළමනාකරණ මධ්‍යස්‌ථානයට කුණු බැහැර කළ නොහැකිව මාර්ගය අයිනේ නතර කරනු ලැබීය.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා ඇතුළු පිරිසක්‌ අතර උණුසුම් වචන හුවමාරුවක්‌ ද ඇති වූ අතර එහි දී හදිසියේම අසනීප වූ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා රෝහල්ගත කළ බව ද වාර්තා විය.

උද්ඝෝෂකයන් සහ ආරක්‌ෂක අංශ අතර ඊයේ

(20 දා) සවස්‌ වනතුරුම සාකච්ඡා පැවතුණ ද ප්‍රදේශවාසීන් කොළඹ කුණු රැගෙන ඒමට එරෙහිව දිගින් දිගටම විරෝධය දක්‌වන්නට වූ අතර අවසානයේ ජල හා කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට පොලිස්‌ කැරලි මර්දන නිලධාරීහු කටයුතු කළහ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මුදිත පුස්‌සැල්ල, සහකාර පොලිස්‌ අධිකාරි සිල්වා සේනාධිපති යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක්‌ ද පොලිස්‌ විශේෂ බළකායේ නිලධාරීහු ද මෙම ස්‌ථානයට පැමිණ සිටියහ. මෙම අවස්‌ථාවේදී ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා සමඟ සාකච්ඡා කළ නමුත් ඊට ඉඩ ලැබුණේ නැත. ප. ව. 3.00 පමණ වනතුරු එම තත්ත්වය පැවති අතර මෙම අවස්‌ථාවට තැපැල් නි. ඇමැති දුලිප්

විඡේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග යන මහත්වරු ද එක්‌ විණි. සාකච්ඡා සියල්ල බිඳ වැටීම නිසා පොලිසිය විසින් ජල ප්‍රහාරයක්‌ එල්ල කර කඳුළු ගෑස්‌ ගසන ලදී. ප. ව. 6.00 වන තුරුත් තත්ත්වය එසේ පැවති තර ලොරි ඇතුළට ගෙනයැමට ඉඩ නොලැබිණ. මෙහිදී විශේෂ බළකායේ ජීප් රථය යට රිංගා ගමනට බාධා කළ මිලාන් ජයතිලක මහතා ඉන් ඉවතට ගැනීමේදී සිදුවූ තුවාල නිසා රදාවාන රෝහලට ඇතුළු කරන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.