කිසිම ආණ්‌ඩුවක්‌ කැලණි ගඟ
සංවර්ධනය ගැන කතා කර නෑ

ඇමැති පාඨලී චම්පික රණවක

මාලබේ - අතුරුගිරිය හා කඩුවෙල
බස්‌ නැවතුම්පොළවල් වෙනත් ස්‌ථානවලට
ගෙන යන්න යෝජනා

පියදාස රණසිංහ

"මහවැලි - වලවේ ආදී ගංගා සංවර්ධනය ගැන කතා කරපු පසුගිය කිසිම ආණ්‌ඩුවක්‌ කැලණි ගඟ සංවර්ධනය ගැන කතා කළේ නැහැ. සුද්දන්ගෙ පාලන කාලයේ කොළොන්නාව, කැලණිය, අඹතලේ හදපු බන්ට්‌ (වේලි) ටික මිසක පසුගිය අපේ කිසිම පාලන යුගයක කැලණි ගඟේ පස්‌ පිඩැල්ලක්‌වත් කැපුවෙ නැහැ".

ගඟබඩ මහා පෝෂක ජල ධාරාවක්‌ මහ මුහුදට ගලා යන කැලණි ගඟෙන් අද පහළට ඇදී යන්නේ කුණු කසළ. ගඟ දෙපස කර්මාන්තශාලාවලින් බැහැර කරන රසායන ද්‍රව්‍යවලින් ජනතාවගේ පානීය ජලයට වස විස මුසුවීමේ තර්ජන තිබෙනවා.

මහනගර සභා හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම ප්‍රකාශය කළේ බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය, කඩුවෙල ඇතුළු කොළඹ දිස්‌ත්‍රික්‌කයේ නගර සැලසුම් කිහිපයක්‌ සම්බන්ධව එම ප්‍රදේශවල විවිධ ස්‌වෙච්ඡා සංවිධාන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.

කඩුවෙල මහනගර සභාව, කඩුවෙල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, පොලිසිය මෙන්ම මහනගර සභා හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වය ඇතිව පැවති මෙම සම්මන්ත්‍රණය අතුරුගිරිය එක්‌සත් වෙළෙඳ ව්‍යාපාරික සංගමයේ ඉල්ලීමකට අනුව සංවිධානය කර තිබිණි.

මෙහිදී දිනෙන් දින ජනාකීර්ණ වෙමින් දැඩි රථවාහන තදබදයක්‌ පවතින මාලබේ, අතුරුගිරිය හා කඩුවෙල නගර ඇතුළත බස්‌නැවතුම්පළවල්, එකී වෙළෙඳපළවල් දැනට පිහිටා ඇති ස්‌ථානවලින් හඳුනාගත් වෙනත් ඉඩ පහසුකම් සහිත භූමිවල ස්‌ථානගත කිරීමටත් මහා මාර්ග කිහිපයක්‌ පුළුල් කිරීමටත් යෝජනා කර ඇතැයි අනාවරණය විය.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද කීවේය,

"කැලණි ගඟ තමයි ඒ දෙපස පදිංචි ජනතාවගේ වටිනාම සම්පත. කොළඹ - ගම්පහ දිස්‌ත්‍රික්‌කවලට පානීය ජලය සපයන මහා ජල පෝෂකාගාරයක්‌ වන කැලණි ගඟ මේ තත්ත්වයෙන් තිබිය යුතු නැහැ. මේ නිසා ජනතාවගේ සෞඛ්‍ය ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන අයුරින් කැලණි ගඟ අපවිත්‍ර කරන පුද්ගලයන්ටත්, කර්මාන්තශාලා හිමියන්ටත් එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේවි. කඩුවෙල තියෙනව කසළ ගැටලුවක්‌. මේකට විසඳුම් ලබාදෙන්න කියල මගෙන් ඉල්ලීමක්‌ තියෙනවා. විසඳුම් නම් හුඟක්‌ තියෙනවා. ඒව ක්‍රියාත්මක කරන්න මහජන කැමැත්ත විතරයි ඕන. මේක කඩුවෙලට පමණක්‌ සීමා වෙච්ච ගැටලුවක්‌ නොවෙයි.

කුණු කඳු ගොඩ ගැහෙන්නේ විරෝධතා පවත්වන මිනිසුන්ගේ වරදින්. කසළ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන තුරු හොඳ නගර බිහිකරන්න බැහැ".



කඩුවෙල නාගරික කොමසාරිස්‌ විජිතා මායාදුන්න මහත්මිය,

"යෝජිත නගර සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමේදී කසළ බැහැර කිරීමේ කටයුතු විධිමත් ලෙසට සිදුවිය යුතුයි. කසළ ගොඩගැසීම ඩෙංගු ඇතුළු වසංගත රෝග පැතිරී යැමට හේතුවක්‌. නගරයේ අලංකාරයට බාධාවක්‌. නගර සභාව මඟින් දැනට රුපියල් කෝටි 06 ක මුදලක්‌ යොදවා අතුරු මාර්ග සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වනවා".

කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ සංවිධායක - කඩුවෙල මහනගර සභාවේ හිටපු විපක්‌ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතා,

"මේ ප්‍රදේශ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අපි නාගරික සංවර්ධන අධිකාරියටත්, මාර්ග සංවර්ධන අධිකාරියටත් සම්බන්ධ කරන කමිටු හරහා විවිධ ප්‍රශ්න - ගැටලු - අඩුපාඩු පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. බත්තරමුල්ල - මාලබේ - අතුරුගිරිය - කඩුවෙල මාර්ගවල රථවාහන තදබදය ගැන පෙන්වා දුන්නා.

මහනගර සභා හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් යෝජනා කරන මොන විදිහේ සංවර්ධන සැලැස්‌මක්‌ වුවත් ඒවා සිදුකළ යුත්තේ ටෙන්ඩර් පටිපාටියට අනුව විධිමත් අයුරින්. රාජ්‍ය මුදල් අවභාවිත තත්ත්වයට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි".

මෙම සම්මන්ත්‍රණය හමුවේ මහනගර සභා හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් බෝසෙත් කලහෙපතිරණ, වෙළෙඳ සංගමයේ සභාපති ගාමිණී හෙට්‌ටිආරච්චි, පරිපාලන ග්‍රාම සේවා නිලධාරි පත්මසිරි හා රථවාහන අංශයේ පොලිස්‌ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ඒ. ඒ. අයි. ජයවර්ධන යන මහත්වරු ද යෝජනා ඉදිරිපත් කළහ. මෙම අවස්‌ථාවට පෝරේ ශ්‍රී මහා විහාරාධිපති රුක්‌මලේ ධම්මකිත්ති හිමියෝ ද වැඩම කර සිටියහ. පොලිස්‌ පරීක්‌ෂක ආර්. ඒ. කදිරගොන්න මහතා අමාත්‍යාංශ නිලධාරීහු ද එක්‌ව සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.