මීතොටමුල්ලේ කඳුළු කතාව

අපිව ගෙවල් වලින් එළවලා යළිත් මීතොටමුල්ලට
කුණු දාන්න කොළඹ නගර සභාව උත්සහ කරනවා

මීතොටමුල්ලේ පදිංචි හෙක්‌ටර් පයාගල කියයි

තට්‌ටු දෙකේ ගෙවල් වලට පර්චස්‌ එකට ලක්‌ෂ 20 බැගින් වන්දි නොදුන්නොත් යන්නේ නෑ.
අපේ තට්‌ටු දෙකේ ගේ උඩින් පාවෙලා ආවා

මං හිතුවේ හීනයක්‌ කියලයි
වෙළෙඳ ව්‍යාපාරික සේනාරත්න

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, රත්නමාලි නුපේආරච්චි - කොලොන්නාව සහ රංජිත් විමලසිරි - වැල්ලම්පිටිය

ඡායාරූප - ප්‍රියන්ත මද්දුමආරච්චි - මුල්ලේරියාව

zzදැන් මේ අපේ ගෙවල් අවදානම් ප්‍රදේශ කියලා සලකුණු කරලා ගිහින් තියෙනවා. කොහොම හරි කොළඹ නගර සභාව මේ උත්සාහ දරන්නේ අපිවත් මේ ගෙවල් වලින් එළවලා දාලා කොළඹ කුණු යළිත් මේ මීතොටමුල්ල ප්‍රදේශයට ගෙනල්ලා දාන්නයි. මොකද කොළඹ කුණු පිට ප්‍රදේශවල දාන්න දෙන්නෙත් නැහැනේZZ... යෑයි මීතොටමුල්ල පන්සල්හේන ජාතික නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි හෙක්‌ටර් පයාගල මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යැමෙන් පසු එහි අලුත්ම තත්ත්වය සොයා බලන්නට අප ඊයේ (20 දා) එහි ගිය අවස්‌ථාවේ ඔහු එසේ කීය.

අප එහි යන විටත් කුණු කන්ද නාය ගිය ස්‌ථානයේ මාර්ගය පාදා ගැනීමට හා සුන්බුන් සොයා ත්‍රිවිධ හමුදාවෝ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කැණීම් කටයුතු සිදුකරමින් සිටියහ. එහි සිටින අවස්‌ථාවේ යුද හමුදාවේ බැකෝ යන්ත්‍ර මඟින් කුණු කන්දට යට වී තිබූ ත්‍රීරෝද රථ හතක්‌ හා යතුරුපැදි දෙකක්‌ සොයාගනු ලැබීය. ඔවුහු තවත් කුණු කන්දට යටවු පිරිස්‌ සිටී ද යන්න පිළිබඳව සුපරික්‌ෂාකාරීව කැණීම් කටයුතු සිදුකරමින් සිටියහ.

එසේම මෙම අනතුරින් පසු ප්‍රදේශයේ දින කීපයක්‌ විසන්ධි වී තිබූ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්‌ඩල සේවකයන් දැඩි උත්සාහයක නිරත වී සිටියහ. මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌ වූ හෙක්‌ටර් පායගල මහතා මෙසේ ද කීය.

zzමේ තියෙන ගෙවල් තුන් වර්ගයක්‌ තියෙනවා. එකක්‌ අනවසර ඉදිකිරීම්, අනික හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයා ගම් උදාව යටතේ දුන් දහම්පුර නිවාස සංකීර්ණය. එය ඔප්පු සමඟ ලබා දුන්නා. අනිත් එක තමයි මේ අපි ඉන්න මීතොටමුල්ල පන්සල්හේන ජාතික නිවාස යෝජනා ක්‍රමය. මේ ඉඩම් පර්චස්‌ 10 - 15 වන ලෙස නිවාස දෙපාර්තමේන්තුවෙන් තක්‌සේරු කරලයි දුන්නේ. නිකන් නොවෙයි අපි සල්ලි වලට මේ ගෙවල් ගත්තේ. අපේ ගෙවල් වලට හානි නොවුණත් දැන් අපේ ගෙවලුත් අවදානම් කියලා සලකුණු කරලා ගිහින් තියෙනවා. මේ නිසා අපිත් දැන් අන්ත අසරණ වෙලා තියෙනවා. අපි කියන්නේ තට්‌ටු දෙකේ ගෙවල්වලට පර්චස්‌ එකට ලක්‌ෂ 20 ගානේ ඕනේ කියලයි. නිවාසවල වටිනාකම අදාළ මුදල්, අලාභහානි වෙච්ච භාණ්‌ඩවල වටිනාකම දෙන්න. අපි මේ ප්‍රදේශයේ ඉන්නේ 1960 ඉඳලා. එතකොට මෙතන අක්‌කර 18 ක සුන්දර වෙල් යායක්‌ තිබුණේ. අපේ ගෙවල්වල වටිනාකමට අදාළ මුදල් දුන්නොත් අපි මේ ගෙවල් වලින් ඉවත් වෙනවා. එහෙම දුන්නේ නැත්නම් අපි මේ ගෙවල්වලින් යන්නේ නැහැ.

ඊළඟට අදහස්‌ දැක්‌වූයේ කුණු කන්ද නාය යන අවස්‌ථාවේ දිවි බේරාගත් වෙළෙඳ ව්‍යාපාරික ඊශ්වරසිංහ කංකානම්ලාගේ සේනාරත්න මහතායි.

මගේ ගේ තට්‌ටු දෙකේ සුපිරි ගෙයක්‌. අපේ ගේ තියෙන්නේ අඩි 20 ක්‌ වූ පහළ ප්‍රදේශයක. මගේ කඩේ තියෙන්නේ ඊට උඩහයින්. එදා අලුත් අවුරුද්දේ මමයි, බිරිඳයි, දරුවෝ ටිකයි අලුත් අවුරුදු නැකැත් ටික කරලා හිටියා. ඊට පස්‌සේ බිරිඳයි, දරුවෝ ටිකයි සිරිපාදේ යනවා කියලා ගියා. ඔවුන් රත්තරං බඩු ටිකත් කඩේ තියලා යනවා කියලා ගියා. පස්‌සේ මම උදේ 10.00 ට විතර නාලා ගෙයි දොරවල් වහලා කඩේට ගියා. කඩේ ඇරලා ඉන්න කොට මට නිකං පරිසරයේ වෙනසක්‌ තේරුණා. ඒ එක්‌කම සවස 2.30 ට විතර පිපුරුම් සද්දයත් එක්‌ක අපේ තට්‌ටු දෙකේ ගේ උඩින් පාවෙලා එනවා දැක්‌කා. මං හිතුවේ මේක හීනයක්‌ කියලා. ඒ උඩින් ආපු ගේ මගේ කඩේ ළඟටම ඇවිත් තියවුණා. ගේ ඇලවෙලා තියවුණේ. මගේ බිරිඳයි, දරුවොයි සිරිපාදේ ගිය නිසා බේරුණා.

ඊළඟට අප ගියේ කොලොන්නාව ටෙරන්ස්‌ එන් ද සිල්වා විද්‍යාලයේ සහන කඳවුරටයි.

අවතැන්ව එහි සිටින ජනතාව සඳහා අවශ්‍ය වියළි ආහාර, නිමි ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්‌ඩලය, සයිටම් ආයතනයේ සිසුන් හා අනෙකුත් ආයතනවල නිලධාරීහු විසින් ඇසුරුම් කරමින් සිටින ආකාරය දැකගත හැකි විය.

විපතට පත් දරුවෝ රූපවාහිනි වැඩසටහන් නරඹමින් සිටියහ.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතා මෙසේ පැවසීය.

zzදැනට මේ සිද්ධියෙන් සුබසාධන මධ්‍යස්‌ථානවල පවුල් 357 ක පුද්ගලයන් 1703 දෙනකු ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය පහසුකම් සියල්ල රජයෙන් සපයලයි තියෙන්නේ. මේ අනතුරින් පූර්ණ හා අර්ධ වශයෙන් හානියට පත් නිවාස සඳහා නිවාස ලබාදෙන්න කටයුතු කරමින් තිබෙන්නේ. දැනට මියගිය 32 දෙනාගෙන් 29 දෙනකුගේ දේහයන් භූමදාන කරන්න අවශ්‍ය කටයුතු සැලසුවා.ZZ

zzදැනට අවදානම් ප්‍රදේශයේ ඉන්න ජනතාවට ඉවත්වෙන්න කියලා දැනුවත් කිරීම් මේ වෙනකොටත් කරනවා.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.