මීතොටමුල්ලේ කුණු කන්දට මුවාවී ආණ්‌ඩුව ජනතාවට කරන අහිතකර දේවල් ඒ ආකාරයටම කරනවා
බන්දුල ගුණවර්ධන

අනුර බාලසූරිය

මීතොටමුල්ල කසළ කන්දට මුවාවෙලා ආණ්‌ඩුව කරගෙන යන ජනතාවට, රටට අහිතකර අනෙකුත් වැඩපිළිවෙළවල් ඒ ආකාරයෙන්ම දියත් කරගෙන යන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

නුගේගොඩ ඒ මහතාගේ නිවසේදී ඉකුත් 18 වැනිදා පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බන්දුල ගුණවර්ධන මහතා,

රටේ සමස්‌ත ආර්ථිකය දෙස ආපසු හැරී බැලුවොත් ඉතා භයානක ආර්ථික ප්‍රතිවිපාක ඇතිවන ආර්ථිකමය සිද්ධීන් ගණනාවක්‌ සිදුවී තිබෙනවා.

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් තොගයක්‌ අච්චු ගහපු ආණ්‌ඩුව බවට පත්ව වාර්තාවක්‌ පිහිටුවා තිබෙනවා. 2016 වර්ෂයේදී අච්චුගසා තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 856 ක්‌. නිදහසින් පසු කිසිදිනක මේ ආකාරයට රුපියල් බිලියන 856 ක්‌ එක වසරක්‌ තුළදී අච්චුගහපු රජයක්‌ ලංකා ඉතිහාසයේ නෑ.

මේ තරම් මුදලක්‌ අච්චු ගැසීමට සිදුවූයේ ඇයි. රාජ්‍ය අයවැයේ නොපියවූ අයවැය පරතරයක්‌ තිබෙන විට එය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනවා මහ බැංකුව සතුව සුරක්‍ෂිතාගාරයේ තැන්පත් කර තිබෙන කාසි හා නෝට්‌ටු රජය වෙනුවෙන් එළියට දාන්න. සෑම වර්ෂයකදීම යම්කිසි පාලනයක්‌ ඇතිව යම් මුදල් ප්‍රමාණයක්‌ අච්චු ගහනවා. 2014 දී අච්චු ගහපු (අධි බලැති) මුදල් ප්‍රමාණය බිලියන 578 යිaaa. සාමාන්‍යයෙන් ඉතිහාසය පුරාම වර්ෂයකට බිලියන 600 අඩු ප්‍රමාණයක්‌ තමයි මුදල් අච්චු ගහන්නේ. එහෙත් 2016 වර්ෂයේ පමණක්‌ බිලියන 856 ක්‌ අලුතින් අච්චු ගහලා.

හම්බන්තොට වරායට 20 වසරක්‌ තුළදී ගෙවන්න සිදුවී තිබෙන මුළු ණය ප්‍රමාණය බිලියන 155 යි. 2016 වසරට අච්චු ගහපු මුදල් ප්‍රමාණය බිලියන 856 යි. ඒ කියන්නේ හම්බන්තොට වරාය වගේ පස්‌ ගුණයටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක්‌ අච්චු ගසා තිබෙනවා.

මෙයට ප්‍රධාන හේතුව රාජපක්‍ෂ රෙජිමය පලවා හැරීම සඳහා මේ මහ පොළවේ යථාර්ථයක්‌ ලෙස ඉටු කළ නොහැකි විශාල පොරොන්දු මාලාවක්‌ රාජ්‍ය වියදම අසාමාන්‍ය ලෙස ඉහළ නංවා ගෙන තිබෙනවා.

මෙමගින් විශාල අයවැය පරතරයක්‌ ඇති වෙනවා. ඒ නොපියවූ අයවැය පරතරය පියවා ගැනීමට ආණ්‌ඩුව මහ බැංකුවේ පිහිට පතන විට මහ බැංකුව මුදල් අච්චු ගසා නිකුත් කර තිබෙනවා.

මෙමගින් ඇතිවන ප්‍රධාන අහිතකර ප්‍රතිඵලය රටේ ජීවත් වන සමස්‌ත ජනතාවට මගහැරිය නොහැකිව ජීවන බරක්‌ පැටවෙනවා. අද වනවිට උද්ධමන අනුපාතය සියයට 8.2 දක්‌වා ඉහළ ගොස්‌ තිබෙනවා. උද්ධමන අනුපාතය වැඩිවීම මුදල් අච්චු ගැසීමේ සෘජු ප්‍රතිඵලයකි.

ඩොලර් බිලියන 4 කට වැඩි ප්‍රමාණයක්‌ වාෂ්පීකරණය කිරීම අනෙක්‌ අහිතකරම ප්‍රතිඵලයයි. විදේශ විනිමය අනුපාතය ආරක්‍ෂා කර ගැනීමට ඩොලර් වෙළෙඳපොළට විකිණීම ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4 කට වැඩි මුදලක්‌ පුච්චා හැරියා. ප්‍රතිඵලයක්‌ නැතිව ඩොලර් වාෂ්පීකරණය කරපු ආණ්‌ඩුවක්‌ මේක.

සුනාමියෙන් විනාශ වූ දේ නැවත ගොඩනැඟීමට රටට අවශ්‍ය වුණේ ඩොලර් බිලියන එකයි. නමුත් මේ අවුරුදු දෙකට වාෂ්පීකරණය කරපු ඩොලර් ප්‍රමාණය බිලියන හතරකට වඩා වැඩියි. එහෙම කළත් දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වී මේ වනවිට ඩොලරයකට රුපියල් 154 ක්‌ ගෙවනවා.

මුදල් අච්චු ගැසීම, ඩොලර් පිච්චීම (වාෂ්පීකරණය), අකාර්යක්‍ෂම රාජ්‍ය මුල්‍ය කළමනාකරණය හේතුවෙන් උද්ධමනය වැඩිවීම ආදී මේ සියල්ල නිසා පොලී අනුපාතය අසාමාන්‍ය ලෙස වැඩිවෙලා තියෙනවා. ණය පොලී අනුපාතය සියයට 17 යි. මේ නිසා ලීසිං පහසුකම්, ණය පහසුකම් ලබාගත් ජනතාවට කලින්ට වඩා වැඩි ණය වාරිකයක්‌ ගෙවිය යුතු වෙනවා.

අවුරුදු කාලයේ ව්‍යාපාරික ප්‍රජාවට විශාල අලාභයක්‌ සිදුවුණා. ව්‍යාපාරිකයෝ භාණ්‌ඩ තොග රැස්‌ කළත් අද වනවිට රැස්‌ කරපු තොග විශාල ප්‍රමාණයක්‌ අලෙවි වී නැහැ. ඊට හේතුව ජනතාවගේ මිලදී ගැනීමේ ශක්‌තිය අඩුවීමයි.

ඒ අතරතුර ආණ්‌ඩුව බලාපොරොත්තු වුණා මැයි මස 3 වැනිදා වනවිට විදේශ විනිමය පාලන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට.

මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බවත්, ශ්‍රී ලංකා මධ්‍යම බැංකුවේ කටයුතු රජය විසින් දේශපාලනීකරණය කරන බවත්, මධ්‍යම බැංකුවේ කාර්යභාරයන් දේශපාලනඥයන් අතට පත්වීම වැළැක්‌වීම සඳහා මහජන නියෝජිතයකු ලෙස මා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කර තිබෙනවා.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 148 වන වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. 1949 දී පාර්ලිමේන්තුවෙන් ඒ වගකීම මහ බැංකුවට පවරා තිබෙනවා. ඉන්පසු විනිමය පාලන පනත මගින් විනිමය පාලන දෙපාර්තමේන්තුවක්‌ පිහිටුවා තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් aතොරව විදේශ විනිමය රට තුළට ගලා ඒම රටින් ගලායැමට බැහැ. එසේ වුවහොත් එය නීතිවිරෝධී ගනුදෙනුවක්‌ වෙනවා.

මෙම සංශෝධනයෙන් මහ බැංකුවේ පාලනයෙන් තොරව රට තුළට විදේශ විනිමය ගලා ඒම හා ගලා යැම කරණකොටගෙන මුදල් විශුද්ධිකරණයට මාවතක්‌ විවෘත වෙනවා. ඒ මගින් විදේශ විනිමය වංචාකාරයන්ගේ කෙළිමඬලක්‌ බවට ලංකාව පත්වීමේ ඉඩ ප්‍රස්‌ථා තිබෙනවා.

පසුගිය කාලයේ සෝරෝස්‌ලා ලංකාවට ඇවිත් මේ ආණ්‌ඩුවට උපදෙස්‌ දුන්නා. සෝරෝස්‌ලා යනු අන්තර්ජාතික වෙළෙඳපොළේ විනිමය හුවමාරු ක්‍රියාවලිය තුළින් රටවල් කඩා වට්‌ටපු අය.

මධ්‍යම බැංකුවේ පාලනයකින් තොරව රට තුළට විදේශ විනිමය ගලා ඒම හා ගලා යැම සිදුවීමෙන් රටේ ආර්ථික අවදානම අසාමාන්‍ය ලෙස වර්ධනය වෙනවා.

අප රටට විශාල වශයෙන් මැදිහත්වීම් කළ නෝර්වේජියාවේ එරික්‌ සෝල්හයිම් හින්දු පුවතකට සම්මුඛ සාකච්ඡාවක්‌ දෙමින් කියා තිබුණා ලංකාවට ඉන්න හොඳම ආයෝජකයා චීනය නොවෙයි කියලා. හොඳම ආයෝජකයා ලෙස ඔහු දකින්නේ එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාවයි කියලා. ඩයස්‌පෝරාවට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉඩ ප්‍රස්‌ථා පුළුල් කර දුන්නොත් ලංකාවට චීනයට වඩා වාසිදායක තත්ත්වයක්‌ ඇති කර ගත හැකියි කියන කතාන්දරය සෝල්හයිම් හින්දු පුවත්පතට පැහැදිලිව කියා තිබුණා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.