තැලසීමියා රෝගීන්ට "හෙපටයිටීස්‌ සී" ත් වැළඳිලා
- රාගම ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය රෝයි පෙරේරා

හඳුනා නොගත් තැලසීමියා රෝග වාහකයන් ලක්‌ෂ දහයක්‌ රටපුරා

විවාහයට පෙර සහකරු සහකාරිය රුධිර පරීක්‌ෂාවකට යොමු වීම වැදගත්

තැලසීමියා සහන පියස රෝහලේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අනූජ ප්‍රේමවර්ධන

උපාලි ද සේරම්

හඳුනා නොගත් තැලසීමියා රෝග වාහකයින් ලක්‌ෂ දහයක්‌ පමණ රටපුරා සිටිනවා. එබැවින් විවාහ වීමට පෙර සෑම පුද්ගලයකුම තැලසීමියාව පිළිබඳ රුධිර පරීක්‌ෂාවක්‌ සිදු කර ගැනීම වැදගත්. එම රුධිර පරීක්‌ෂාවක්‌ නොමිලේම රජයේ රෝහල් මඟින් සිදු කරගත හැකි යෑයි උතුරු කොළඹ ශික්‌ෂණ රෝහලට (රාගම) අනුබද්ධ තැලසීමියා සහන පියස රෝහලේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අනූජ ප්‍රේමවර්ධන මහතා පැවසීය.

විශේෂඥ වෛද්‍ය ප්‍රේමවර්ධන මහතා මේ බැව් පැවසූවේ මහර, කඩවත සිරිමා බණ්‌ඩාරනායක මාවත පිහිටි තැලසීමියා සහන පියස රෝහලේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

මැයි මස 08 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තැලසීමියා දිනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අනූජ ප්‍රේමවර්ධන මහතා මෙසේද කීවේය.

තැලසීමියා රෝගය වැළඳුන රෝගීන් තුන්දහසක්‌ දැනට ප්‍රතිකාර ලබනවා. මේ සෑම රෝගියකුටම මාසයකට වරක්‌ රුධිරය ලබාදිය යුතුයි. එසේ ලබා නොදුනහොත් ඔවුන් මාසයක්‌ පමණ කාලයකදී මිය යනවා. ඒ නිසා තැලසීමියා රෝගී දරුවන් බිහිවීම වළක්‌වා ගත යුතුයි.

දැනට ශ්‍රී ලංකාවේ වසරකට තැලසීමියා දරුවන් 50 - 60 ක්‌ පමණ උපදිනවා.

කුරුණෑගල, අනුරාධපුර, අම්පාර, බදුල්ල වැනි දිස්‌ත්‍රික්‌කවල පමණක්‌ නොව කොළඹ, ගම්පහ දිස්‌ත්‍රික්‌කවලත් දැන් තැලසීමියා රෝගීන් හමුවෙනවා. ඒ නිසා විවාහයට පෙර පොරොන්දම් බලනවා හා සමානව විවාහ වන දෙදෙනාත් තැලසීමියා පිළිබඳ රුධිර පරීක්‌ෂාවක්‌ සිදු කරගතහොත් තැලසීමියා රෝග වාහකයෙක්‌ද සුළු තැලසීමියා රෝගියෙක්‌ද කියා හඳුනාගත හැකියි.

උතුරු කොළඹ ශික්‌ෂණ රෝහලේ (රාගම) අධ්‍යක්‌ෂ වෛද්‍ය රෝයි පෙරේරා මහතා,

රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ ඉතා කුඩාවට පටන් ගත්ත තැලසීමියා ප්‍රතිකාර ඒකකය අද වන විට මහල් හතරකින් යුත් ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනවා.

තැලසීමියා රෝගීන් මේ වන විට "හෙපටයිටීස්‌ සී" රෝගයට ගොදුරු වීමක්‌ද දක්‌නට ලැබෙනවා. එසේ වී ඇත්තේ ඔවුනට ලබා දෙන රුධිරය මඟින් බව අනාවරණය වී තිබෙනවා. ඒ නිසා ජාතික රුධිර මධ්‍යස්‌ථානය රුධිර පරිත්‍යාගශීලීන්ගේ රුධිරය ලබා ගන්නා විට "හෙපටයිටීස්‌ සී" පිළිබඳවත් පරීක්‌ෂා කිරීම වැදගත්.

මේ පිළිබඳව අප ජාතික රුධිර මධ්‍යස්‌ථානයටත්, සෞඛ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල්වරයාටත් දැනුම් දී තිබෙනවා.

තැලසීමියා රෝගියකුට "හෙපටයිටීස්‌ සී" වැළඳුන විට ඔවුගේ අක්‌මාවට හානි සිදු වෙනවා. ඉන් අක්‌මා පිළිකා පවා ඇති වෙනවා.

මෙම මාධ්‍ය හමුවේදී තැලසීමියා සහන පියස රෝහලේ ජ්‍යෙෂ්ඨ කාර්යභාර වෛද්‍ය නිලධාරි ඉෂාරි සිල්වා, කනිෂ්ඨ කාර්යභාර නිලධාරි වෛද්‍ය තිස්‌රි හමීඩි, ප්‍රධාන හෙද නිලධාරිනී ටී. ආර්. ඩී. ආර්. පියතුංග යන මහත්ම මහත්මීහුද අදහස්‌ දැක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.