තව වසර තුනකින් කොළඹ කුණු ප්‍රශ්නය විසඳනවා
ඉසුර දේවප්‍රිය

රනිල් ධර්මසේන හා ඡායාරූප - රංජිත් විමලසිරි

තව වසර තුනකින් පමණ පසුව කොළඹ කසළ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙන බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

කොළඹ කුණූ ප්‍රතිචක්‍රීකරණය කර විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අදාළ සමාගම්වලින් මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති බවද ඉඩම් තෝරා ගෙන ගොඩනැඟිලි ඉදිකර යන්ත්‍ර සූත්‍ර සවි කිරීමට වසර 03 ක පමණ කාලයක්‌ ගත වන බවද ඊයේ (20 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී දේවප්‍රිය මහතා මේ බව කීය.

මෙම විසඳුම ක්‍රියාත්මක කරන තෙක්‌ එකතු වන කුණු තාවකාලික ස්‌ථාන කිහිපයකට බැහැර කරන බවද ඒ සඳහා බස්‌නාහිර පළාත් සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය එක්‌ව වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ඇතැයිද ප්‍රධාන ඇමැතිවරයා කීය.

කසළ මඟින් විදුලිය උත්පාදනය කර මෙගාවොට්‌ 50 ක විදුලිය ධාරිතාවක්‌ ලබා ගැනීමට අපේක්‌ෂා කරන බවද එමඟින් කසළ සම්පතක්‌ බවට පත් කර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

මෙම ව්‍යාපෘතිය යටතේ දෛනිකව එකතු වන කසළ ටොන් 500 ක්‌ ප්‍රතිචක්‍රීකරණය කිරීමට මුතුරාජවෙල මධ්‍යස්‌ථානයක්‌ පිහිටු වන බවද තවත් ටොන් 500 ක්‌ ප්‍රතිචක්‍රීකරණය කිරීමට අවශ්‍ය ඉඩම් සොයා ගැනීමට ටෙන්ඩර් ලබා ගන්නා සමාගමට පවරා ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ මීපේ කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නම් කොළඹ කුණු ප්‍රශ්නය මේ තරම් උග්‍ර නොවන බවය. ජනතාව හා දේශපාලනඥයන් එක්‌ව උද්ඝෝෂණය කර එම ව්‍යාපෘතිය වසා දැමීමට කටයුතු කළ බවද කීය.

පසුගිය රජය සමයේදී මීතොටමුල්ල කුණු කන්ද පුත්තලමට ගෙන යැමට යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබුණ නමුත් එය ක්‍රියාත්මක තලයේ නොතිබූ බවද කසළ දුම්රියෙන් ප්‍රවාහනය කිරීම සඳහා රේල් පාරවල් ඉදිකිරීම ඇතුළු වැඩ කටයුතු රැසක්‌ තිබුණු බවත් ඊට අධික මුදලක්‌ වැය වන බවත් ඇමැතිවරයා කීය.

මෙවර කසළ ප්‍රශ්නය විසඳීමට රජය අනිවාර්යයෙන්ම ක්‍රියා කරන බවද චෝදනා, විවේචන කිසිවක්‌ ගණන් නොගෙන විසඳුම් ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කරන බවද එහි වගකීම රජය දරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.