කේක්‌ කෑල්ලක්‌ හිරවී මියගිය පුද්ගලයාගේ මරණ පරීක්‍ෂණය

දෙවැනි වරට කේක්‌ කෑල්ල කෑව ප්‍රේමසිරි එකවරම පුටුවත් එක්‌ක පෙරළුණා
- සාක්‌ෂිකරු

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

බුලත් කොටුවෙන් එක්‌ බුලත් බෑගයක්‌ ගෙදරට ගෙනා ප්‍රේමසිරි තේ ඉල්ලුවා. මගේ බිරිඳ කේක්‌ හා අතිරස සමඟ ඔහුට තේ දුන්නා. ඔහු පළමු කේක්‌ කෑල්ල කා දෙවන කේක්‌ කෑල්ල කන විට වාඩි වී සිටි පුටුවෙන් එක පාරටම බිටම පෙරළුණා යෑයි කේක්‌ කෑල්ලක්‌ උගුරේ සිරවී මිය ගිය සිව් දරු පියකුගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‌ෂි දෙමින් විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු වන අනගිපුර ඥානරත්න (අවු. 67) යන අය කීය.

මෙම සිද්ධියෙන් මිය ගියේ මීගම ඉඳිගස්‌තුඩුව මිල්ලගහවත්තේ පදිංචිව සිටි ප්‍රනාන්දු ප්‍රේමසිරි නම් වූ 58 හැවිරිදි අයෙකි.

වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයකාන්ත මහතා ඉදිරියේ කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති එම හදිසි මරණ පරීක්‍ෂණයේදී තවදුරටත් සාක්‌ෂි දුන් සාක්‌ෂිකරු මෙසේද කීය.

මියගිය අය මගේ බුලත් කොටුවේ වැඩ කරනවා. සිද්ධිය වූ දින උදේ 6.00 ට පමණ ඔහු වැඩට ආවා.

ඔහු නෙළාගත් බුලත් එක්‌ බෑගයක්‌ ගෙදරට ගෙනැවිත් දී මගේ බිරිඳගෙන් තේ එකක්‌ ඉල්ලුවා. බිරිඳ ඔහුට කේක්‌ කෑලි දෙකක්‌ සහ අතිරස සමඟ තේ බොන්නට දුන්නා. ඔහු පළමු කේක්‌ කෑල්ල කා දෙවන කේක්‌ කෑල්ලද කනවිට වාඩි වී සිටි පුටුවෙන් එක පාරටම බිමට පෙරළුනා.

මෙහිදී කාරියවසම් හපුතන්ත්‍රි ගමගේ අයිරාංගනි පුෂ්පමාලා (අවු. 46) යන අය සාක්‌ෂි දෙමින් මෙසේ කීවාය.

මියගොස්‌ ඇත්තේ මගේ සැමියයි. අපි විවාහ වී අවුරුදු 26 ක්‌ වනවා.

සිද්ධිය වූ ඉකුත් 16 වැනිදා උදේ 6 ට පමණ මොහු වැඩට යන බව කියා ගියා.

මොහු කේක්‌ කෑල්ලක්‌ කමින් සිටින විට ඇද වැටුණු බැවින් රෝහල් ගත කිරීමට එන ලෙස කළ දැනුම්දීම අනුව මා කඩිනමින් එහි ගියා. මා යනවිට සැමියා බිම වැටී සිටි අතර ඒ වන විටත් ඔහු අතේ කේක්‌ කෑල්ලක්‌ ඉතිරිවී තිබුණා.

ග්‍රාම නිලධාරි මහතාගේ ත්‍රිSරෝද රථයෙන් ඔහු ධර්ගා නගරය රෝහලට ගෙන ගියත් ඒ වනවිට මිය ගොස්‌ තිබුණා.

අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී එල්. බී. එම්. ප්‍රනාන්දු මහතාගේ වාර්තාව අනුව මෙය කේක්‌ කැබැල්ලක්‌ උගුරේ සිරවීමකින් සිදුවූ මරණයක්‌ බව තීරණය කරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.