තරුණ දෙදරු මවක්‌ උන්නාරුවේ නිවසක සැක කටයුතු ලෙස මිය ගිහින්

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ නිවසක්‌ තුළ සැකකටයුතු අන්දමින් මියගොස්‌ සිටි 21 හැවිරිදි දෙදරු මවගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරික්‍ෂණයක්‌ පවත්වා ඇයගේ මරණයට හේතුව අධිකරණයට ඉදිරිපත්කරන ලෙසට ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් අතුල ගුණසේකර මහතා ඉකුත් 19 වැනිදා නියෝග කළේය.

මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ තාවකාලික පදිංචියේ සිටි නුවර වත්තේගම පදිංචි චාන්දනි කුමාරි අබේසේකර නමැති දෙදරු මවගේ මළ සිරුර 19 වැනිදා මිනුවන්ගොඩ දිසා රෝහලේ මෘත හරීරාගාරයේදී පරික්‌ෂාවට ලක්‌ කළ වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරයා මියගිය කාන්තාවගේ නිවස ද නිරීක්‍ෂණයට ලක්‌ කරනු ලබමින් මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්විය.

මියගිය කාන්තාවට මාස 18 ක පිරිමි ළමයෙකු සහ අවුරුදු 03 ක්‌ වයසැති ගැහැණුq දරුවෙකු සිටින බවටත් සැමියා ස්‌ථිර රැකියාවක්‌ නොකරන මත්වතුර පාවිච්චි කරමින් බිරිඳ සහ දරුවන්ට නොසලකන අයෙකු බවටත් පොලිස්‌ පරික්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පොලිස්‌ පරික්‍ෂක රත්නායක සහ සැරයන් රෝහණ (25697) යන නිලධාරීහු වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරයාට පැවසුහ.

එම සැකකටයුතු මරණය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකර ලබන මැයි 03 වැනිදාට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා මිනුවන්ගොඩ පොලිසියට නියෝග කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.