ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතුවලට කළ යුතු ගෙවීම් පැහැර හැරීමෙන් ප්‍රවර්ධන කටයුතු කිරීමට බාධාවක්‌
ඇමැති ජෝන් අමරතුංග

ශ්‍යාම් නුවන් ගනේවත්ත

පසුගිය රජය යටතේ සිදුකළ ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතුවලට සිදු කළ යුතු ගෙවීම් පැහැර හැරීම නිසා ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට බාධාකාරී තත්ත්වයක්‌ උදාවී ඇතැයි සංචාරක සංවර්ධන හා ඉඩම් ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (20 දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මේ අනුව ඇමරිකානු ඩොලර් ලක්‍ෂ පහක මුදලක්‌ එම ආයතනවලට පියවීමට ඇති බවත්, අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ගෙන ඒවා පියවීමට කටයුතු කරගෙන යන බවත් ඇමැති අමරතුංග කීවේය.

කොළඹ 03 සංචාරක මණ්‌ඩලයේදී ඊයේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.

රටට වැඩි වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට අප ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධන කටයුතු සිදු කළ යුතුයි. එහෙත් පසුගිය රජය සිදු කළ එවැනි ප්‍රවර්ධන කටයුතුවලට අදාළ බිල්පත් පියවා නැහැ. ඒවා පියවීමට අනුමැතිය ලබා ගැනීමට තරමක්‌ කාලයක්‌ ගත වන බවද ඇමැතිවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ සංචාරක සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජානක සුගතදාස මහතා කීවේ අල් ජසීරා, ස්‌කයි නිව්ස්‌ සහ බ්ලුම්බර්ග් යන ආයතනවලට එම අදාළ ගෙවීම් කිරීමට තිබෙන බවයි.

ඇමැති මණ්‌ඩල අනුමැතිය ලබාගෙන එම ගෙවීම් කරන බවද සුගතදාස මහතා කීවේය.

ආසියානු පැසිෆික්‌ සංචාරක ආයතනයේ වාර්ෂික සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී මැයි 18 සිට 21 වැනිදා දක්‌වා මීගමුව බ්ලුජෙට්‌වින් හෝටලයේදී පැවැත්වෙන බවත් ඒ සඳහා රජය සම්පූර්ණ සහාය දක්‌වන බවත් මෙහිදී සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

මේ අවස්‌ථාවට සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් මල්රාඡ් කිරිඇල්ල සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් සුතීෂ් බාලසුබ්‍රමනියම් යන මහත්වරු ද කතා කළේය.

ඡායා - සමන් රණවීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.