සේවක වැටුප සාධාරණීකරණය කරන්න අක්‌ෂිදාන සංගමයේ රැස්‌වීමක්‌ හෙට

සමන්තී වීරසේකර

භාරකාර මණ්‌ඩලයේ අනුමැතියකින් තොරව වැඩි කළ සේවක වැටුප සාධාරණීකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමය විසින් හෙට (22 දා) පෙරවරු 9.00 ට විශේෂ මහා සභා රැස්‌වීමක්‌ කැඳවා තිබේ.

දොස්‌තර හඩ්සන් සිල්වා අක්‌ෂිදාන මූලස්‌ථානයේදී පැවැත්වීමට නියමිත මෙම විශේෂිත මහ සභා රැස්‌වීමේදී සංගමයේ නිලධාරීන් සංගමයේ චිරස්‌ථිතියට හානිදායක ලෙස කටයුතු කරන බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව එහි සභාපති දේශමානි ශ්‍රී ලංකා පුත්‍ර ඩී. සී. රණසිංහ මහතා විසින් සකසන ලද ආරාධනා ලිපියෙහි සඳහන් වේ.

තවද කාර්ය මණ්‌ඩලය වෙත වාර්ෂිකව ලබාදෙනු ලබන මාස දෙකක වැටුපට සමාන " "විශේෂ දිරි දීමනාව" එක්‌ මසක මුදලට පමණක්‌ සීමා කරන ලෙස භාරකාර මණ්‌ඩලයේ ලිපියෙන් දන්වා ඒවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් හා තවත් කරුණු තුනක්‌ පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම විශේෂ මහා සභා රැස්‌වීම කැඳවන බවද එහි සඳහන් කොට ඇත. මෙයට පෙර ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමය මඟින් ඉකුත් ජනවාරි මාසයේදී අර්ධ වාර්ෂික මහා සභා රැස්‌වීමක්‌ පවත්වා තිබිණි.

ඉදිරි මැයි මාසයේදී අක්‌ෂිදාන සංගමයේ සංවත්සරයද පැවැත්වීමට සැලසුම් කර තිබියදී මෙසේ හදිසි රැස්‌වීමක්‌ කැඳවා ඇත්තේ ඇයිද යන්න සාමාජිකයන් හට ගැටලුවක්‌ව ඇති බව පැවසේ.

"විශේෂ මහා සභා රැස්‌වීම සඳහා කාරුණික ආරාධනයි" යන ශීර්ෂය යටතේ එහි සභාපති ඩී. සී. රණසිංහ, ලේකම් ඩී. සී. ත්‍රිසාන්, භාණ්‌ඩාගාරික එම්. ඩබ්ලිව්. ගුණසේන සහ මහජන සම්බන්ධතා නිලධාරි ආර්. එච්. බස්‌නායක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ආරාධනා ලිපිය යවා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.