ධීවරයකුට රු. ලක්‌ෂ දහයක රක්‍ෂණයක්‌;
වාරිකයක්‌ රජයෙන් ගෙවනවා

- ඇමැති මහින්ද අමරවීර

සී. ආර්. ඩික්‌සන් ඇන්ටනි - රාගම විශේෂ

ජීවිත පරිත්‍යාගයෙන් මුහුදට යන ධීවරයා වෙනුවෙන් රු. ලක්‌ෂ දහයක රක්‍ෂණයක්‌ රජයෙන් ලබා දෙනවා. ධීවරයාට සහනයක්‌ වශයෙන් එහි වාරිකය වන රු. 1080/- ද, වරාය නගර ව්‍යාපෘතිය මගින් ගෙවනවා. ධීවරයාට වටිනාකමක්‌, පිළිගැනීමක්‌ අප රට තුළ ඇති කිරීම අපගේ අරමුණයි.

ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා එසේ පැවසුවේ සීදූව, මැල්ලවත්ත ග්‍රාමයේ දී පැවැති ධීවර ජනහමුවක්‌ අමතමිනි.

ජාඇල ධීවර පරීක්‍ෂක කාර්යාල බල ප්‍රදේශයේ වහටියගම, මැල්ලවත්ත, රාජපක්‍ෂ පුරය හා කළඑළිය - වෑවල ග්‍රාමීය ධීවර ජනතා සංවිධාන හතරක්‌ සඳහා එකකට රුපියල් විසිලක්‍ෂය බැගින් රු. අසූලක්‍ෂයක්‌ වටිනා චෙක්‌පත් හා ධීවර දිරිය රක්‍ෂණ ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.

මීගමුව සහකාර ධීවර අධ්‍යක්‍ෂ රංජිත් බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ පරිදි ජාඇල ධීවර පරීක්‍ෂක කාර්යාලයේ සංවර්ධන නිලධාරිනී එච්. එම්. යූ. සිල්වා මහත්මිය උළෙල සංවිධානය කර තිබුණි.

ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කළ ඉල්ලීමක්‌ පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි.

මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.

ධීවර ජනතාවට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙනවා. නිවාස සම්පූර්ණ කර ගැනීමට රු. ලක්‍ෂය බැගින්ද, වැසිකිළි තනා ගැනීමට තිස්‌දහස බැගින්ද ආධාර කෙරෙනවා. ධීවර කාන්තා ස්‌වයං රැකියා සඳහා රු. ලක්‍ෂය බැගින් රජයෙන් ලබා දෙනවා. මේ දක්‌වා අප රටේ ධීවර ජනතාවට සහන සැලසුණේ අඩුවෙන්. ධීවරයාගේ ජීවන තත්ත්වය උසස්‌ කරන තාක්‌ උදව් කිරීම අපගේ අරමුණයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.