ගාලු කොටුවේ රජයේ ගොඩනැඟිලි විනාශ මුඛයේ

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

ගාල්ල කොටුවේ පිහිටා ඇති රජයේ ගොඩනැඟිලි බොහොමයක්‌ ගරා වැටෙමින් කඩා වැටීමට ආසන්න මට්‌ටමේ පවතින අතර සමහර ගොඩනැඟිලිවල මේ වන විටත් කොටස්‌ කඩා වැටී තිබේ.

ගාල්ල කොටුව තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ කොටසක්‌ මේ වන විට කඩා වැටී ඇති අතර කඩාවැටුන කොටසේ පැළවුනු විශාල නුග ගසක්‌ කඩාවැටුන ගොඩනැඟිලි කොටස වසාගෙන වර්ධනය වෙමින් පවතී.

කොටුව තැපැල් කාර්යාලය මේ වන විටත් පවත්වාගෙන යන්නේ මෙම ගොඩනැඟිල්ලේ තවමත් කඩා නොවැටුන කුඩා කොටසක වන අතර එයද කොයි මොහොතේ කඩා ඇටෙනු ඇත්තැයි සැක සහිතය.

ගාල්ල පල්ලිය වීදිය අසලින් දිවෙන මෙම ගොඩනැඟිල්ලේ කොටසක්‌ කොයි වේලේ හෝ පාරේ ගමන් කරන කිහිප දෙනෙකුද යටකර දමමින් කඩා වැටීමට ඉඩ ඇති අතර එය පවතින්නේ ඉතාමත් අවදානම් මට්‌ටමේය.

ගාල්ල පොලිසියේ පරිහරණයේ පැවති ගාල්ල රෝහල වීදියේ ගොඩනැඟිල්ලකද කොටසක්‌ මේ වන විට කඩා වැටී ඇත. මේවා ගරා වැටෙමින් පැවතීම ගාල්ල කොටුවේ සෞන්දර්යයට ඉමහත් බාධාවක්‌ වන බවද කොටුව වාසීන්ගේ මතය වී තිබේ.

ගාල්ල කොටුව ඊකෝට්‌ස්‌ ගොඩනැඟිල්ලද මේ වන විටත් පවතිනුයේ ඉතා අබලං තත්ත්වයේය. මෙහිද අලුත්වැඩියාවක්‌ කලකින් සිදු නොවීම හේතුවෙන් වාර්ෂා කාලවලදී වහලයෙන් ජලය කාන්දු වෙමින් පවතී. ගාල්ල ඕල්සෙන්ට්‌ විද්‍යාලයේ දරුවන් හය සියයක්‌ පමණ ඊකොට්‌ස්‌ ගොඩනැඟිල්ලේ අධ්‍යාපනය හදාරන අතර මෙම ගොඩනැඟිල්ල අලුත්වැඩියාව කඩිනමින් සිදුවිය යුතුව ඇත්තේ අනතුරක්‌ සිදුවන්නට කලිනි.

මේ සම්බන්ධයෙන් අප ගාලු කොටුවේ භාරකාරීත්වය දරන ගාලු උරුමය පදනමේන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය.

ගාල්ල කොටුවේ රජයට අයත් ගොඩනැඟිලි තිස්‌ අටක්‌ තියෙනවා කියලා අපි හඳුනාගෙන තියෙනවා. මේවා සංරක්‌ෂණය කර නඩත්තු කරන්න අපි දිගුකාලීන හා කෙටිකාලීන සැළසුම් සකස්‌ කරලා තියෙන්නේ.

කෙටිකාලීනව තැපැල් කාර්යාලයේ ගොඩනැඟිල්ලේ වහලය තාවකාලිකව සකසා පසුව එය සංරක්‌ෂණ කටයුතු කරන්න බලාපොරොතු වෙනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.