එංගලන්තයේදී මුරලිට සුපිරි අයි.සී.සී. සම්මානයක්‌

ලොව ජාත්‍යන්තර ටෙස්‌ට්‌ සහ එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස ලෝක වාර්තාව සතු කරගෙන සිටින ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරිතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට ජාත්‍යන්තර ක්‍රිකට්‌ සභාව විසින් පිරිනමන ලොව විශිෂ්ටතම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ලැයිස්‌තුවට ඇතුළත්වීම සම්මානය ලබන ජුනි මාසයේදී එංගලන්තයේදී පිරිනැමීමට නියමිතව තිබේ.

එදා මෙදා තුර අදාළ 'යශෝරාවයේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ නාමාවලියට' ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයාද මුත්තයියා මුරලිදරන් වේ. අදාළ සම්මානය සඳහා ඉකුත් 2016 වසරේ ජූලි මසදී මුත්තයියා මුරලිදරන්ව නිර්දේශ වුවද එම සම්මානය පිරිනමනු ලබන්නේ ජුනි මාසයේදීය.

ලොව කිසිම පන්දු යවන්නකුට ළඟා විය නොහැකි කඩුලු දඩයමක නියෑලුන මුත්තයියා මුරලිදරන් ටෙස්‌ට්‌ තරග 133 කදී කඩුලු 800 ක්‌ ලබා ගෙන එහි වාර්තාව සන්තකයට ගෙන සිටියි. සිය අවසන් ටෙස්‌ට්‌ තරගයේදී කඩුලු 800 දවා ගැනීම සඳහා කඩුලු අටක්‌ මුරලිට අවශ්‍යව තිබුණි. ''මට තව ටෙස්‌ට්‌ තරග ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් මේ තරගයේදී කඩුලු අටක්‌ අරගෙන අටසීය ගත්තොත් තමයි මම දක්‍ෂයා වෙන්නේ. ඒක කරන්න බැරි නම් වැඩක්‌ නැහැ. මට හැමෝම කිව්වා මේ තරගාවලියේ ඉතිරි තරග දෙකත් ක්‍රීඩා කරල ලේසියෙන්ම කඩුqලු අටසීය ලබා ගන්න කියලා. නමුත් මට අවශ්‍ය මේ තරගයේදීම ඒ කඩඉමට එන්න' යෑයි පැවසූ මුරලිදරන් එම තරගයේදී කඩුලු අටක්‌ දවා ගනිමින් 800 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල සටහන් කිරීමට සමත් විය.

මුරලි එක්‌දින තරග 350 කදී කඩුලු 534 ක්‌ද විස්‌සයි විස්‌ස තරග 12 කදී කඩුලු 13 ක්‌ බිඳ දමා තිබේ. මේ වන විටත් ක්‍රිකට්‌ ක්‍රීඩාව සමග පුහුණුකරුවකු ලෙස සේවය කරන මුරලිදරන් මේ දිනවල අයි.පී.එල්. තරගාවලියේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරනු ලබයි. මුරලිට අදාළ සම්මානය ජුනි මස 7 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී පිරි නැමීමට නියමිතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.