රැකියා දස ලක්‌ෂයක්‌ බිහි කිරීමට
මහජන බැංකුවෙන් ස්‌වශක්‌ති ණය

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ව්‍යාපාරිකයෙකු වෙත ස්‌වශක්‌ති ණය මුදලක්‌ ප්‍රදානය කරන අයුරු. නුවරඑළිය ප්‍රාදේශීය කළමනාකාර ප්‍රසාද් ආරියවංශ මහතාද මෙහි වේ.

මහජන බැංකුවේ සියලුම ශාඛාවන්වල සිරිත් පරිදි මේ වසරේදීද අලුත් අවුරුදු ගනුදෙනු චාරිත්‍රය සිදුකෙරුණු අතර නුවරඑළිය ශාඛාවේ අවුරුදු ගනුදෙනු මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එමෙන්ම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිරිනමන ස්‌වශක්‌ති ණය යෝජනා ක්‍රමයට මහජන බැංකුවේ දායකත්වය සංකේතවත් කරමින් ව්‍යවසායකයන් වෙත ණය මුදල් ප්‍රදානය කිරීමද මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අතින් සිදු විය.

මහජන බැංකුවේ කුරුණෑගල, ත්‍රිකුණාමලය, හතරලියද්ද, කැලණිය යන ශාඛාවන් ඇතුළු ශාඛාවන්හිදී ද මෙම ණය ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

රැකියා දස ලක්‌ෂයක්‌ බිහිකිරීම සඳහා වූ රජයේ පියවරක්‌ ලෙස හඳුන්වා දුන් ස්‌වශක්‌ති ණය යෝජනා ක්‍රමය තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ණය සහ පවත්නා ව්‍යාපාර සඳහා උපරිමය රු 250,000 දක්‌වා වූ ව්‍යාපාර ණය ඉතාම සහනදායි 5.5 % කි පොලී අනුපාතයක්‌ යටතේ පිරිනැමේ. එමෙන්ම නව ව්‍යාපාර ණය සඳහා රු 50,000ක උපරිමයට යටත් ප්‍රදානයක්‌ පිරිනැමේ. මෙම ණය මුදල පියවීම සඳහා උපරිම වසර 5 ක ආපසු ගෙවීමේ කාලසීමාවක්‌ හිමිවන අතර අවශ්‍යතාවය මත මාස 12 ක උපරිමයකට යටත් සහන කාලයක්‌ හිමිවේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.