මාස එකහමාරකට පෙර පිපිරූ
ඉතියෝපියාවේ 'මීතොටමුල්ල'
මළ ගණන 113 යි

අනුර සොලමන්ස්‌

කොළඹ කුණු මීතොටමුල්ලට ගෙනගොස්‌ අතහරින ලද්දේ යම් සේ ද, ඉතියෝපියාවේ අගනුවර වූ අඩිස්‌ අබාබා ඇතුළු නගර ගණනාවක එකතු වන කුණු ගෙනගොස්‌ දමන ලද්දේ 'රෙපි' නමැති කුඩා ගම්මානයටය. පසුගිය අවුරුදු 50 පුරාම ඉතියෝපියානු ජනතාව රෙපි ගම හඳුන්වන ලද්දේ 'කෝෂ්' යනුවෙනි. එය ඉතියෝපියානුවන් කතා කරන අමරික්‌ භාෂාවට අයත් වචනයකි. එහි තේරුම කුණු යá නොහොත් කසළ ය. මෙයට වසර 52 කට පෙර වර්ග අඩි 10 ක භූමි ප්‍රමාණයකට ගෙන ගොස්‌ දමන ලද කුණු ස්‌වල්පයකින් ඇරඹුන කෝෂ් කුණු ගොඩ වසර 2014 වන විට වර්ග හෙක්‌ටයාර් 36 ක්‌ පුරා පැතිර ගිය අඩි 100 කට වඩා උස සුවිශාල කුණු කන්දක්‌ බවට පත් විය. වසර 50 කට පෙර රෙපි ගම අවට භූමිය මිනිසුන්ගෙන් හිස්‌ වූ භූමියක්‌ව තිබිණි. එහෙත් කුණු ගොඩ ක්‍රමයෙන් විශාල වත්ම කුණුගොඩ වටා ජනාවාස ඇති විය. ඒ ජනාවාසවල ජීවත් වූ ජනයාගේ ජීවනෝපාය ද කුණුගොඩම විය. කට්‌ටියක්‌ කුණු ගොඩට වැද එහි වූ ප්‍රතිචක්‍රීය කළ හැකි ප්ලාස්‌ටික්‌ සහ යකඩ එකතු කර අලෙවි කළහ. තව කට්‌ටියක්‌ කුණු ගොඩට කුණු බාන්නට එන ලොරිවලට තේ කෝපි සහ දේශීයව පෙරූ මත්පැන් (කසිප්පු) විකුණූහ. ඊළඟ කට්‌ටිය කළේ කුණු හලන්නට එන ලොරි වලින් කප්පම් ගැනීමය. මේ තුන්ගොල්ලගෙන් වැඩිම මුදලක්‌ ඉපැයූවෝ කප්පම් කාරයෝ ය. ඔවුහු කුණුගොඩ අවට ඉඩම්වල විශාල මන්දිර තනාගෙන ජීවත් වූහ. මේ අනුව අවුරුදු 52 කට පසු ආපසු හැරී කෝෂ් කුණුගොඩ දෙස බලන විට පෙනී ගියේ මන්දිරයේ සිට පැල්පත දක්‌වා වූ නිවාස 2000 ක පමණ ප්‍රමාණයක්‌ එතැන හැදී තිබෙන බව ය. ඒවායේ 20000 ක ජනගහනයක්‌ ජීවත් වූහ.

සෑම කුණු ගොඩක්‌ම සෑහෙන කලක්‌ එකතැන පල් වන විට, එහි අඩියේ මීතේන් වායුව හට ගන්නේය. මීතේන් යනු ගිනි ගන්නා වායුවකි. අධික පීඩනයක්‌ යටතේ ඇතිවන උණුසුමකදී මීතේන් වායුව ගිනි ගන්නා අතර පිපිරීමක්‌ ඇති කරයි. ඉතියෝපියානු කුණු කන්ද තුළ ද අවුරුදු 52 ක්‌ තිස්‌සේ මීතේන් නිෂ්පාදනය විය. ඒවා හැම විටෙකම පාහේ කුණුගොඩ පතුලේ සිට කුණු අතරින් උඩට කාන්දු වී වායු ගෝලයට එක්‌ විය. කෝෂ් කුණු කන්ද තුළ හටගෙන තිබූ තත්ත්වය ද මෙයම ය. කුණු කන්ද මතුපිට තැන තැන කවදාවත් නොනිමෙන ගිනි ජාලා ඇවිළෙමින් තිබිණි. එම ගිනි ගොඩවල්වල ප්‍රධාන ඉන්ධනය වූයේ කුණු නොව මීතේන් ය.

මෙයට මාස එකහමාරකට පමණ පෙර, එනම් 2017 මාර්තු මස 10 වැනිදා මධ්‍යම රාත්‍රියේදී කෝෂ් කුණු කන්ද තුළ භයානක යමක්‌ සිදු විය. ඒ වූ කලී කුණු කන්ද අඩියේ එක්‌රැස්‌ව තිබූ ටොන් කිහිපයක්‌ වූ මීතේන් වායු තොගයක්‌ හදිසියේම ගිනි ගැනීමය. එම ගින්නෙන් හටගත් පීඩනය මතට කුණු කන්දෙහි බර විසින් බලගතු පීඩනයක්‌ යොදා තිබිණ. එබැවින් මීතේන් ගින්න පුපුරා ගියේය. එම පිපිරුම් හඬ බෝම්බ පිපිරුමකට සමාන වූ බැවින්, ඒ මහ රෑ ගෙවල් තුළ නිදාගෙන සිටි වැසියෝ උඩගොස්‌ බිම වැටුණහ. ඒ සමඟම කුණු කන්දෙන් කොටසක්‌ ඔවුන්ගේ වහලවල් මතට කඩා පාත් වී නිවාස සම්පූර්ණයෙන්ම යට කළේය. සැණෙකින් කුණු කන්ද නාය යන්නට විය.

එසේ නාය ගිය ටොන් ගණනක්‌ බර කුණු කුට්‌ටිවලට යටවුණ ගෙවල් ඒවායේ සිටි මිනිසුන් ද සමඟ නොපෙනී ගියේය. ඝන අන්ධකාරය තුළින් ඇසුනේ කුණු කන්දේ කොටස්‌ විටින් විට නාය යන හඬත් ඒවාට යටවන මිනිසුන්ගේ මර විළාපයත් පමණි. ඉතියෝපියාව 8 වැනි සියවසේදී ධනවත් රාජධානියක්‌ව තිබුණ නමුදු අද වන විට ඉතා දුප්පත් රටකි. ලංකාව මෙන් දහසය ගුණයක්‌ විශාල නමුදු මේ රටේ ඒක පුද්ගල ආදායම අවුරුද්දකට ඩොලර් 799 කි. (ලංකාවේ ඒක පුද්ගල ආදායම අවුරුද්දකට ඩොලර් 3870 කි. ඒ නිසා ලංකාව තවදුරටත් දුප්පත් රටක්‌ නොවේ.) ඉහත සඳහන් කාරණය නිසා රෙපි ගමේ ගම් සභාවට බැකෝ යන්ත්‍ර සොයාගෙන කුණුගොඩට යටවූවන් සෙවීමට ඇත්තටම බැරි විය. එළි වී බලන විට කුණු ගොඩට යට වීමෙන් 500 ක්‌ පමණ අතුරුදන් වී ඇති බව හෙළි විය. එදා සවස්‌ වන විට ඒ 500 න් 387 ක්‌ පණපිටින් ද, 113 ක්‌ මළ කඳන් වශයෙන් ද ගොඩ ගැනීමට හැකි විය. මළ අය අතුරින් 38 ක්‌ පිරිමිය. 75 ක්‌ ගැහැනුය. ඉතියෝපියානු රජය වහාම දින 3 ක ශෝක කාලයක්‌ ප්‍රකාශයට පත් කළේය.

රෙපි නගරයේ එම කෝෂ් කුණුගොඩ නාය යන තුරුම ස්‌වකීය ජනපදවාසීන්ට කිසියම් සේවයක්‌ කරමින් පසුවිය. යකඩවලින් කළ විශාල කොක්‌කක හැඩය ගත් උපකරණයක්‌ අතින් ගත් ගැහැනු ද, පිරිමි ද ළමයින් ද 500 ක්‌ දෙන හැම උදයකම මේ කුණු කන්ද තරණය කළහ.සිය අතෙහි වූ යකඩ කොක්‌කෙන් කුණුගොඩ පෑදූ ඔවුහු විකිණිය හැකි සෑම දෙයක්‌ ම පහළට ගෙනාවෝය. කුණු කන්දට කිලෝ මීටරයක්‌ ඈතින් මෙගාවොට්‌ 50 ක විදුලි බලාගාරයක්‌ විය. ඒ විදුලි බලාගාරය තනිකරම වැඩ කළේ කුණු කන්දෙන් ගත් කුණු පිළිස්‌සීමෙන් ලද තාපයෙනි. ඒ අතර කුණු කන්ද ආසන්නයෙහි ජීව වායු යන්ත්‍රාගාරයක්‌ ද සාදමින් තිබිණි.

++++++++++++++++++++++++
කෝෂ් කුණු කන්දේ උපත සිදුවන්නේ 1964 දී ය. ඊට පෙර එතැන තිබූ හිස්‌ භූමියෙහි කරන ලද්දේ මියගිය සතුන්ගේ සිරුරු පිළිස්‌සීමය. 1964 දී පළමු කුණුගොඩ දැමීමෙන් කුණු කන්ද ඇරඹීමත් සමඟම ඒ වටා ගම්මානයක්‌ බිහි විය. එහි පාසල් රෝහල් යනාදිය ද විය. ගිය අවුරුද්දේ මේ විනාශයට පෙර අගෝස්‌තුවේදී කුණු කන්ද වසා දැමූ ඉතියෝපියානු රජය වෙනත් තැනක්‌ තෝරාගෙන එහි කුණු දමන්නට පටන් ගත්තේය. එවිට කුණු කන්දෙන් යෑපෙන පිරිස සංවිධානය වී විශාල උද්ඝෝෂණයක නිරත වෙමින් කෝෂ් කුණු ගොඩටම කුණු ගෙනවුත් දමන ලෙස ආණ්‌ඩුවට බල කර අලුත් කුණුගොඩට කුණු ගෙන යන ලොරිවලට පහර දෙන්නට වූහ. මෙහිදී ඇත්ත වශයෙන් ම උද්ඝෝෂණ දෙකක්‌ තිබිණි. පළමුවැන්න අලුත් කුණු ගොඩ පිහිටි තැනට කුණු නොදමන ලෙසට ඒ පළාතේ ගොවියන් කළ උද්ඝෝෂණයය. දෙවැන්න කෝෂ් කුණුගොඩ පෝෂණය කරමින් එහි කුණු දමන ලෙස ට කෙරුණු උද්ඝෝෂණය ය. අවසන් පලයේදී මේ දෙගොල්ලගේම අවසාන අරමුණ එකක්‌ නිසා දෙපිරිස ගැටුණේ නැත. ගැටුමක්‌ ඇති වී නම් ඉතියෝපියන් වැසියා සටනට එන්නේ තමන්ටත් වඩා උස සාම්ප්‍රදායික කඩු ලෙළවමින් ය.

කුණු කන්ද නාය යැමෙන් පැය 24 කට පසු අවට විසූ ජනපදවාසීන් සියලු දෙනා ඉවත් කර ඔවුන් අලුත් නිවාසවල පදිංචි කරන්නට ඉතියෝපියන් රජයට හැකි විය. සිද්ධියෙන් සතියකට පසු, එනම් වසර 2017 මාර්තු 18 වැනිදා කෝෂ් කුණු කන්ද හරිත කලාපයක්‌ කරන බව රජය ප්‍රකාශ කළේය. එසේම එය දැන් ඊළඟ මීතේන් පිපිරුමටත් සූදානම් ය.




 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.