තෙවන ලෝක යුද්ධය අත ළඟද?
ආසියාව අවදානම්

ආර්. අයි. බී. ජයසිංහ

ලෝක යුද්ධයක ඊළඟ දිගැහැරුමකට බලපාන අනෙක්‌ ආසන්නතම කාරණය වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළයි. විශේෂයෙන් උතුරු කොරියා කලාපයට මේ වන විටත් ඇමරිකා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ පිටත්කර යවා ඇති බව සඳහන්ය. එසේම මීට කලකට පෙර සිටම දකුණු කොරියාව ආශ්‍රිතව ඇමරිකා සොල්දාදුවන් 28000 ක්‌ පමණ නතර කර සිටී. තවද දකුණු කොරියාව තුළ "තාඡ්" නැමැති මිසයිල පද්ධතිය ද ස්‌ථාපනය කර ඇත. කෙසේ වෙතත් ඇමරිකාව මෑතක උතුරු කොරියා කලාපයට එවන ලද ගුවන්යානා ප්‍රවාහන නෞකාව මගින් කොරියාවේ නගර 24 ක්‌ විනාශ කළ හැකි න්‍යෂ්ටික බල යුද්ධ ශීර්ෂ 100 ක්‌ පමණ තිබූ බව පැවසේ.

අද වන විට ලෝක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන විට දැකගත හැකි වන්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ ඔඩුදුවමින් පැමිණෙන නොනිමි අරගලයන්ය. ඒවා විවිධ අරමුණු මත ක්‍රියාත්මකය. සිරියානු අර්බුදය එහි එක්‌ අංශයක්‌ පමණක්‌ නියෝජනය කරන අතර, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මෙන්ම, විවිධ රටවල පවතින, IS ඉරාකය, FARC (කොලොම්බියාව, බොකොහරාම්) නයිජීරියාව, අල්කයිඩා( ඇෆ්ගනිස්‌තානය, තලෙබාන්( ඇෆ්ගනිස්‌තානය හමාස්‌( පලස්‌තීනය, මාවෝ( නේපාලය, හූථි( යේමනය, ශාන්ති බහිනී( ඉන්දියාව/ බංග්ලාදේශය, අල් ශේබාබ්( සෝමාලියාව අල් නස්‌රා (al-Nusra)( සිරියාව, උයිහර් (Uyghurs)( චීනය, ටෙලෝ( දකුණු ඉන්දියාව. යනාදී කණ්‌ඩායම් ඒ ඒ රටවලට ඇති කරන බලපෑම් ද විශාලය. මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට ආයුධ, ආදී යුද්ධ ශක්‌තිය ප්‍රබල රට වලින් හිමි වන අතර ඒ තුළ ඔවුන් පාලනය කිරීම අසීරුය. ඔවුන් තවත් වර්ධනය වීමද නොවැළැක්‌විය හැකිව පවතී. 2012 සිට 2016 දක්‌වා ගිනි අවි වෙළඳාම පිළිබඳ දැක්‌වෙන වාර්තාවන් අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිෂේධ බලය හිමි රටවල්, ලෝකය තුළ විවිධ ප්‍රදේශ වල සිදුවන අවි වෙළඳාමේ 73% කම සැපයුම්කරුවෝය. ඒ තුළ බලවතුන් යුද්ධ වැළැක්‌වීමට කිසිසේත් ඉදිරිපත් නොවේ.

සිරියානු අර්බුදය පිළිබඳ අවධානයේ දී, "අරාබි වසන්තය" යනු මැදපෙරදිග කලාපයේ පාලනයන් බිඳ දැමූ, පාලකයන් ඝාතනය වූ, පාලකයන් සිරගෙට යෑවූ ඉතා සුවිශාල ක්‍රියාදාමයකි. මෙය වර්ෂ 2010 දී ටියුනීසියාවෙන් ආරම්භ වී ලිබියාව, යේමනය, ඊජිප්තුව යන රටවලද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර, එයට බටහිර රටවල් හා බටහිර මාධ්‍ය විශාල ලෙස ඉන්ධන සැපයීය. ඒ අනුව එහි ආදර්ශය ගත් සිරියානුවන් පිරිසක්‌ද, (free siriyan army) තම රටේ පාලකයා තනතුරින් නෙරපා වඩා හොඳ සිරියාවක්‌ උදෙසා 2011 මාර්තු මාසයේ සිට විරෝධයක්‌ ආරම්භ කරන ලදී. එයට ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන්වලින් සහය ද හිමි විය. (තවත් හිමිවේ) එසේම සිරියානු ජනාධිපති බසර් අල් අසාද්ගේ පක්‌ෂයට ද රුසියාව, ඉරානය, තුර්කිය යන රාජ්‍යයන්ගේ සහය හිමිවේ.

විශේෂයෙන් බටහිර රාජ්‍යයන් බසර් අසාද්ගේ විරුද්ධවාදීන්ට සහය දෙමින් ද, රුසියාව ඇතුළු රටවල් අසාද්ට සහය වෙමින්ද, කටයුතු කිරීම තුළ ගල්ෆ් කලාපයේ තම භූ දේශපාලනික උපායමාර්ග ක්‍රියාවට නැංවීම සිදු කරයි. ඒ තුළ ලෝකයේ බලවත් රාජ්‍යන් අතර බල අරගලයක්‌ ඇති කිරීමට මෙම සිරියා අර්බුදය හේතුවක්‌ වී ඇති බව පෙන්වාදිය හැකිය. මෙහි නවතම බරපතළ තත්ත්වය ලෙසින් සිරියාවේ සාමාන්‍ය ජනතාවට පසුගියදා රසායනික අවි ප්‍රහාරයක්‌ එල්ලවීම හඳුනාගත හැකිය. (එයින් 89 මරණයට පත්විය) එය සිරියා රජයේ කටයුත්තක්‌ බව බටහිරින් චෝදනා එල්ලවූ අතර රුසියාව දෙසට ද ඇඟිල්ලක්‌ දික්‌ විය. (එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තවමත් පර්යේෂණ ප්‍රතිඵලය කියා නැත) එයට පිළිතුරක්‌ ලෙස සිරියා ගුවන් කඳවුරකට ඇමරිකාව විසින් කෲස්‌ මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කරන ලදී. එයින් සිරියාවේ ගුවන් බලය 20% ක්‌ විනාශ වූ බව ඇමරිකා ආරක්‌ෂක දෙපාර්තමේන්තුව කියයි. මේ සම්බන්ධ අනෙක්‌ වැදගත්ම කරුණ නම් G7 සමුළුවට මහා බ්‍රිතාන්‍ය විසින් යෝජනාවක්‌ ගෙන ආවේ රුසියාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවයි. නමුත් එය සම්මත නොවීය.

ඒ අනුව ලෝකයේ රටවල් පැහැදිලි ලෙසම දෙකට බෙදී ඇති බවක්‌ හඳුනාගත හැකිය. නමුත් ඇමරිකාව මෙය රාජ්‍යතාන්ත්‍රික කටයුතු මගින් විසඳීම සඳහා ඉදිරිපත් වෙමින් රෙක්‌ස්‌ ටිලර්සන් රුසියාවට ගොස්‌ ඇත. ඒ සිරියා අර්බුදයේදී අසාද්ට සහය නොදෙන ලෙස ඉල්ලීමටය. ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ අසාද් බලයෙන් ඉවත් කිරීමටය. ඒ තුළ අපට රසායනික අවි ප්‍රහාරය ගැන ද සැකයක්‌ මතුවේ. ඒ සදාම් හුසේන් බලයෙන් පහකිරීමට ඇමරිකාව ගත් නින්දිත ක්‍රියාව සාධාරණීකරණයට ද පෙන්වා දුන්නේ ඉරාකය තුළ රසායනික අවි පවතින බවය. නමුත් එහි තිබී අද වන තෙක්‌ එවැනි අවි හමු නොවීය. අනෙක්‌ අතට අසාද් තමන්ගේ ජනතාවටම මෙලෙස රසායනික අවි ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඒ අතර රුසියාව තව දුරටත් අසාද්ට සහය දෙන බවත් ඇමරිකාව විසින් සිරියාවේ ඩමස්‌කස්‌ නගරයට තවත් රසායනික ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සූදානමක්‌ ඇති බවට හා එහි වගකීමත් අසාද්ට බැර කිරීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ව්ලැඩිමීර් පුටින් පෙන්වාදී ඇත.

මේ අතර ඉරානයේ ජනාධිපතිවරණය සඳහා නැවත වරක්‌ මහමුද් අහමදි නේදාඡ්(ජාත්) ඉදිරිපත් වීමට නියමිත බවය සඳහන්. මොහු 2005 සිට 2013 දක්‌වා ඉරානයේ බලය දැරූ අතර, බටහිර මාධ්‍ය පෙන්වා දෙන්නේ මොහු දැඩි මතධාරියකු බවයි. විශේෂයෙන් ඔහුගේ පාලන කාලය තුළ ඉරානය දැඩි සම්බාධකවලට යටත්ව පැවතිණ. ඇමරිකාව සමඟ පැවති මතවාදී ගැටුම් හා ඉරාන න්‍යෂ්ටික කටයුතු නිසාවෙනි. නමුත් වත්මන් හසන් රොහානිගේ රජය යටතේ කලාපීය වශයෙන් යහපත් තත්ත්වයක්‌ පවත්වාගෙන යැමට කටයුතු කළ අතර 2015 වියානා සම්මුතිය තුළින් ඉරානය තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කළ අතර, ඒ තුළ සම්බාධක ද ඉවත් විය. නමුත් නැවත එම තත්ත්වය අහමදි නේදාඡ් බලයට පැමිණියොත් වෙනස්‌වීමට ඉඩ ඇත. (ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අහමදි නේදාඡ්ට නැවත බලයට නොඑන ලෙස ඉල්ලා ඇත.)

එම තත්ත්වයන් තුළ මෙම සිරියා අර්බුදය ලෝකයේ බල කඳවුරු අතර ගැටුමක්‌ දක්‌වා ගමන් කිරීමේ සම්භාවිතාවක්‌ පවතී. ඒ බොහෝ බලවතුන් මෙම කලාපයේ බලය සඳහා තරගකාරී ලෙසින් සම්බන්ධ වීමත් කිසිදු බලවත් රාජ්‍යක්‌ බලය අතහැරීමට හෝ සටන් නතර කිරීමට රුචිකත්වයක්‌ නොදක්‌වන බැවිනි.

ලෝක යුද්ධයක ඊළඟ දිගැහැරුමකට බලපාන අනෙක්‌ ආසන්නතම කාරණය වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළයි. විශේෂයෙන් උතුරු කොරියා කලාපයට මේ වන විටත් ඇමරිකා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ පිටත්කර යවා ඇති බව සඳහන්ය. එසේම මීට කලකට පෙර සිටම දකුණු කොරියාව ආශ්‍රිතව ඇමරිකා සොල්දාදුවන් 28000 ක්‌ පමණ නතර කර සිටී. තවද දකුණු කොරියාව තුළ "තාඡ්" නැමැති මිසයිල පද්ධතිය ද ස්‌ථාපනය කර ඇත. කෙසේ වෙතත් ඇමරිකාව මෑතක උතුරු කොරියා කලාපයට එවන ලද ගුවන්යානා ප්‍රවාහන නෞකාව මගින් කොරියාවේ නගර 24 ක්‌ විනාශ කළ හැකි න්‍යෂ්ටික බල යුද්ධ ශීර්ෂ 100 ක්‌ පමණ තිබූ බව පැවසේ. එසේම උතුරු කොරියාවේ fire power (ගිනි බලය) පිළිබඳව වාර්තාවල දැක්‌වෙන්නේ ඇමරිකාව උතුරු කොරියාවට විරුද්ධව යුද ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ නම්, ඒ පළමු පැය ඇතුළත කාලතුවක්‌කු ප්‍රහාර පමණක්‌ 350,000 යොදවා දකුණු කොරියාවේ හා ජපානයේ ඇති ඇමරිකා යුද්ධ ශක්‌තිය විනාශ කළ හැකි බවයි.

මෙම තත්ත්වයන් සලකා බැලීමේ දී මෙය කලාපීය වශයෙන් විශාල තර්ජනයක්‌ සහිත බව හඳුනාගත හැකිය. උතුරු කොරියාවට බලපෑමක්‌ කළ හැකි එකම රට වන චීනයේ ජනපති ෂී ජිං පිං විසින්, ඇමරිකාවට උතුරු කොරියාවට විරුද්ධව කටයුතු කිරීමට හදිසි නොවන ලෙසත්, තවදුරටත් සිතා බලන ලෙසත් දැනුම් දී ඇත. කෙසේ නමුත් මෙම ගැටුම ඇවිලුනහොත් එය තුළින් ඉතා විශාල බලපෑමක්‌ සිදුවන බව නම් පෙන්වාදිය හැකිය. එය ආසියානු කලාපයටම තර්ජනයකි.

මෙම තොරතුරු විශ්ලේෂණය කර බැලීම තුළින් පෙනෙන්නට ඇති තත්ත්වය නම් ලෝක බලවතුන්ගේ බලකාමීත්වය තුළ ගැබ්ව ඇති භූ දේශපාලනික උපායමාර්ගවල අවසානය තෙවන ලෝක සංග්‍රාමයක්‌ වෙතට ලෝකය ගෙනයාම දැයි යන්නය. පළමු හා දෙවැනි ලෝක යුද්ධ පූර්ව ලෝක සංදර්භයන් ද මෙම වර්තමාන තත්ත්වයන්ට බොහෝ සෙයින් සමගාමීව පැවති බවත් දැක්‌විය හැකිය. ඇමරිකා ජනපති ට්‍රම්ප් මැතිවරණයට පෙර දුන් පොරොන්දු කඩ වෙමින් ඇමරිකාව සුපුරුදු න්‍යාය තුළ ගමන් කරන බවද හඳුනාගත හැකිය. මෙම සියලු තත්ත්ව ගොඩනැඟෙන ආකාරය දෙස රුසියාව නිහඬ ප්‍රතිපත්තියක සිට බලා සිටීම කෙරෙහි ද විද්වත් අවධානය යොමුව පවතී. තත්ත්වය එසේ වුවත් තෙවැනි ලෝක යුද්ධයක්‌ ඇති නොවේවායි අපි පතමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.