"කසළ පිටිපස්‌සේ කසඩ දේශපාලනය
ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ."

- ඇමති පාඨලී චම්පික රණවක

අනුරාධ හිරිපිටියගේ

කසළ කඳුවල මාෆියාවල් හදාගෙන දේශපාලකයන්ට, නිලධාරීන්ට කෝටි ගණන් පගාව දීගෙන මහපොළව විනාශ කිරීමේ ක්‍රියාවලියත් මෙතනින් නතර කරනවා.

තැන තැන නටන පුංචි පඟර නැට්‌ටන්ට කැට කැබලිති විසිකරන්න අපට වෙලාවක්‌ නැහැ.

අපි දොම්පේ විද්‍යාත්මක කසළ රඳවනයක්‌ හදන්න හදපු වෙලාවේ, අද දොම්පෙට කුණු එපා කියලා පාරේ වාඩිවෙන අය තමයි එදත් වාඩිවෙලා ඒක වලක්‌වන්න හැදුවේ. ඔවැනි නොයෙක්‌ බලපෑම් එල්ළ කරපු කසඩ දේශපාලකයෝ අද වීරයෝ වගේ ඉදිරිපත් වෙලා තිබෙනවා. දොම්පෙ අපි හදපු ඒ විද්‍යාත්මක කසළ රඳවනය විතරයි මේ රටට අද ඉතුරු වෙලා තිබෙන්නේ. එදා ඒක හදන්න එපා කියපු දේශපාලකයොත් දැන් ඒක බේරගන්න දඟලනවා යෑයි මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ පසුගියදා (22 දා) මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්‌ෂ 95 ක වියදමින් කාපට්‌ අතුරා ප්‍රතිසංස්‌කරණය කරන ලද හෝමාගම, හබරකඩ බෝධිරාජ මාවත විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා, "මීතොටමුල්ලේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ තමයි අපි එපා කියද්දි කුණු දාලා තියෙන්නේ. ගිය පෙබරවාරි මාසෙත් මම කිව්වා මේකට කුණු දන්න එපා කුණු දැම්මොත් විනාශයක්‌ ඇතිවෙනවා කියලා. කොළඹ කුණු දාන්න වෙන තැනක්‌ නැහැ කොළඹට විකල්පයක්‌ හොයා ගන්නකන් මේකට ඉඩ දෙන්න කියලා පළාත් පාලන ඇමති µයිසර් මුස්‌තාµd ඉල්ලා සිටියා. අපි 2015 ඉඳන් අවස්‌ථා 3 කදි බස්‌නාහිර පළාත් සභාවට, කොළඹ නගර සභාවට කියලා තිබෙනවා කුණ දාන්න එපා අපේ ඉඩමට කියල. නමුත් කුණු දැම්මා. දාල ව්‍යසනය වුණාට පස්‌සේ ඒ ඉඩමට කුණු දාන්න දීපු පාපයට අපට ඇඟිල්ල දික්‌කරන්න උත්සාහ කරනවා. මේකට යටවෙලා ගෙවල් අහිමි වුණ පුද්ගලයන්ට ගෙවල් හොයාගෙන එන්නේ අපි ගාවට. ඔය විදිහේ හයමාසයෙන් විසඳන්න පුළුවන් වීරයෝ විසඳන්න එපායැ. කොළඹ මහ නගරයේ ජලඅපහරණ ව්‍යාපෘතියට හදපු ගෙවල් තමයි අපි ඒ ජනතාවට දුන්නේ. ඒ ගෙවල් ටික හදලා තිබුණේ නැත්නම් ඒක කරන්න වෙන්නේ නැහැ. මතක තියා ගන්න බණ්‌ඩාරවෙල, මහින්ද මහත්මයාගේ කාලේ නාය යැමක්‌ වුණා, අද වෙනකන් ගෙවල් දීලා නැහැ. අරණායක විපතක්‌ වුණා අද වෙනකන් ගෙවල් දීලා නැහැ. මේ විපතේදී ගෙවල් ටික හරි දුන්නේ අපි. ඒකේ කෙලෙහිගුණය දන්නේ නැතිව අපව විවේචනය කරන්න එනවා. ඔය තැන තැන නටන පුංචි පුංචි පඟර නැට්‌ටන්ට අපට කියන්න තියෙන්නේ අපට වෙලාවක්‌ නැහැ කැටකැබිලිති ගහන්න. හැබැයි මතක තියා ගන්න ඒගොල්ලොයි එයාලා නටවන අයටයි දේශපාලන වශයෙන් එයට අවශ්‍ය වෙලාවට අපි පිළිතුරු දෙනවා.

මේ කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමේ වගකීම අපි බාර අරන් තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රශ්නය නැවත නොඑන්න, විධිමත් විද්‍යාත්මක කසළ රඳවනයක්‌ හා විද්‍යාත්මක විසඳුම් ගණනාවක්‌ ගේනවා. කරුණාකරලා මේ වතාවෙවත් ඒවට විරුද්ධ වෙන්න එපා. විශේෂයෙන්ම ඔය රතු සහෝදරවරුන්ගෙන් පරිස්‌සම්වෙන්න. නොයෙක්‌ බොරු, නොයෙක්‌ අවලාද නගමින් මේ අය මේක වලක්‌වන්න උත්සාහකරනවා. ඒ නිසා විද්‍යාත්මක විසඳුමකට ඉඩ දෙන්න. අර මීතොටමුල්ලේ වුණා වගේ සහසික අපරාධවලට නැවත ඉඩ දෙන්න එපා මේ මහපොළව මත.

තැන තැන පුංචි පුංචි පඟර නැට්‌ටෝ නොයෙක්‌ නොයෙක්‌ චෝදනා ඉදිරිපත් කළාට අපි ඒවායින් සැලෙන්නෙවත් ඒවට ප්‍රතිචාර දක්‌වන්නෙවත්, ඒවට කුලප්පු වෙන්නෙවත් නැහැ. ඒවට නිසි දේශපාලන පිළිතුරු අනාගතයේ ඒ ඇත්තන්ට ලැබෙයි. ඒ නිසා මේක ජාතික වගකීමක්‌ හැටියට සලකළා සියලුම දේශපාලන පක්‌ෂවල වගකීමක්‌ හැටියට සලකළා වගකීමෙන් ක්‍රියාකරන්න. කසළ පිටිපස්‌සේ කසඩ දේශපාලනය ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම මින් ඉදිරියට කසළ කඳුවල මාෆියාවල් හදාගෙන දේශපාලකයන්ට, නිලධාරීන්ට කෝටි ගණන් පගා දීගෙන මහපොළව විනාශ කිරීමේ ක්‍රියාවලියත් මෙතනින් නතර කරන්න අපි අධිෂ්ඨාන කර ගන්න ඕනේ මීතොටමුල්ලේ නැතිවුණ ජීවිතවලට කරන ගෞරවයක්‌ හැටියට. ඉදිරියේදී මේ හෝමාගමටත් විධිමත් කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්‌ නොතිබ්බොත් මේ හෝමාගමත් විනාශ වෙනවා. ඒ නිසා හෝමාගමටත් එවැන්නක්‌ ගොඩනගන්න අපි අනාගතයේ කටයුතු කළ යුතුයි. ඒ සඳහා මේ පක්‌ෂ විපක්‌ෂ සියලු දෙනාම අපේ පළාත් සභාවේ ඇමති ගාමිණී තිලකසිරි මැතිතුමා, ඒ වගේම විපක්‌ෂ නායක මංජු ශ්‍රී අරංගල මැතිතුමා ඇතුළු අපි සියලු දෙනාම එකතු වෙලා කරුණාකරලා අපට යෝජනාවක්‌ ගෙන එන්න. එවිට ඒක අපි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනවා."

හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තරිදු දිලීප ගමගේ මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර මෙම අවස්‌ථාවට ප්‍රදේශවාසීහු රැසක්‌ ද සහභාගී වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.