අනුරාධපුර පොළොන්නරුව සහ හබරණ
කේන්ද්‍රකොටගත් ආරක්‌ෂක කැමරා පද්ධතියක්‌

ජනාධිපති අතින් මැයි 5 වැනිදා විවෘත කෙරේ


අනුරාධපුර, පොලොන්නරුව, හබරණ යන නගර කේන්ද්‍රකොට මාර්ග ආරක්‌ෂක කැමරා පද්ධතියක්‌ ස්‌ථාපනය කෙරේ. රුපියල් ලක්‌ෂ 85 ක වියදමින් ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර මහතාගේ සංකල්පයකි. මැයි මස 05 වැනි දින පෙරවරු 09.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අනුරාධපුර ආරක්‌ෂක කැමරා පද්ධතිය විවෘත වේ. මැයි මස 06 වැනි දින හබරණදී ප්‍රධාන ඇමැති සමුළුව පැවැත්වෙන අතර සමුළුවට සහභාගි වන ජනාධිපති අතින් එදින හබරණ නගරයේ ආරක්‌ෂක කැමරා පද්ධතිය විවෘත කිරීමට නියමිතය.

අනුරාධපුර, හබරණ, පොලොන්නරුව සංචාරක නගර වන බැවින් කැමරා පද්ධති මඟින් සංචාරකයන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීමත්, අනුරාධපුර සහ පොලොන්නරුව පුදබිම්වලට දෙස්‌ විදෙස්‌ සංචාරකයන් මෙන්ම බැතිමතුන් විශාල සංඛ්‍යාවක්‌ නිරන්තරව පැමිණෙන හෙයින් ඔවුන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ද ආරක්‌ෂාව තහවුරු කිරීමත් මෙම ක්‍රියාවලියේ අරමුණු වේ.

කොළඹින් බැහැරව ස්‌ථාපනය කරන ප්‍රථම කැමරා පද්ධතිය මෙය වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම රාත්‍රි වර්ණ කැමරා පද්ධතිය ද වේ. අධි තාක්‌ෂණයෙන් යුක්‌ත මෙම කැමරා පද්ධතීන් මඟින් රාත්‍රි කාලයේ වාහනවල අංක තහඩු ඉතා නිවැරැදිව හඳුනාගත හැක. වෙසක්‌, පොසොන් වැනි බෞද්ධ උත්සවවලට පැමිණෙන ජනතාවගේ ආරක්‌ෂාව සඳහා මෙම ආරක්‌ෂක කැමරා පද්ධතිය උපකාර කරගැනීමට ද නියමිතය.

අනුරාධපුර, හබරණ, පොලොන්නරුව පොලිස්‌ ස්‌ථාන මඟින් දවසේ පැය 24 පුරා මෙම කැමරා පද්ධති අධීක්‌ෂණය කෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.