මැයි රැලි හා පෙළපාලි 50කට
සහභාගී වූ සහෝදරයෙක්‌...

හැමදාමත් නොවෙනස්‌ සටන් පාඨය බඩු මිලයි

මැයි දිනය කම්කරුවන්ගේ දිනයකි. එහෙත් අද පවත්වනු ලබන මැයි රැලි හා මැයි දින කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කිරිමට, ඉල්ලිම් දිනා ගැනීමට හෝ කම්කරුවන්ගේ අරමුණු වෙනුවෙන් පවත්වන්නේ නැත. අද මැයි රැලි පෙළපාලි දේශපාලන පක්‌ෂවල ශක්‌තිය හා ධන බලය ප්‍රදර්ශනය කරන රැලි බවට පත්ව තිබේ. කොටින්ම කිවහොත් කම්කරුවන් මැයි රැළිවලට සහභාගි වන්නේ නැත. අද මැයි රැලි හා පෙළපාලිවලට සහභාගිවන්නේ දේශපාලන පක්‌ෂවල ක්‍රියාකාරින්ය. දේශපාලනඥයන්ද උත්සාහ කරන්නේ කුමන හෝ දෙයක්‌ පක්‌ෂ ක්‍රියාකාරින්ට ලබා දී මැයි දිනයට තම බලය ප්‍රදර්ශනය කිරීම සඳහා හැකි තරම් ජනතාව රැගෙන යාමයි.

එදා මැයි රැලි හා පෙළපාලි වලට සහභාගි වූයේ කම්කරුවන් නියෝජනය කරන පක්‌ෂ හා වෘත්තිය සමිති සංවිධානයි. එහිදී යොදාගත්තේ රතුපාට පමණි. එහෙත් අද නිල් හා කොළ මැයි රැලි දක්‌නට ලැබේ. එදා මැයි රැලිවල කියූ සටන් පාඨ වලට වඩා අද ඇත්තේ වෙනස්‌ සටන් පාඨයන්ය.

අප මේ කියන්නට යන්නේ එදා පැවැත්වූ මැයි රැලි හා පෙළපාලි ගැනය. මේ ලිපියේ කතානායකයා වෘත්තිය සමිති නායකයෙකු හා ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩල සභික ගා දෙනෙත්ති සහෝදරයාය. හේ 80 ජුලි වැඩ වර්ජනයට නායකත්වය දුන් වෘත්තිය සමිති නායකයෙකි. ඒ විතරක්‌ නොව එම වැඩ වර්ජනයේ දී ගාල්ලේ වෘත්තිය සමිතිවල කැඳවුම්කරු වශයෙන්ද කටයුතු කළේ දෙනෙත්ති සහෝදරයාය. මේ වන විට දෙනෙත්ති සහෝදරයා මෙරට පැවති මැයි රැලි හා පෙළපාලි 50 කට ආසන්න සංඛ්‍යාවකට අඛණ්‌ඩව සහභාගි වී තිබේ. ඒ නිසා ඔහුට මැයි දින හා පෙලපාලි ගැන ඇත්තේ හරි අපූරු අත්දැකීම් ගොන්නකි. ඒ විතරක්‌ නොව 53 හර්තාලය වන අවස්‌ථාවේ දෙනෙත්ති සහෝදරයා අවුරුදු 13 ක කොලු ගැටයෙකි. රත්ගම ගම්මැද්දගොඩ පැවති හර්තාලයට ද මොහු සහභාගි වී තිබේ.

ඔහු කියන කථා විටෙක රසවත්ය. තවත් විටෙක අති භයංකරය. ඔහු කියන මේ කථාව ඔහුගේම වචනවලින් අපි මෙසේ සටහන් කරමු.

මම 63 වර්ෂයේ ලිපිකරු තරග විභාගය සමත්වෙලා තමයි ලිපිකරු රැකියාවට ගියේ. මුල්ම පත්වීම් ලැබෙන්නේ ත්‍රිකුණාමාලයට. රැකියාවට ගිය දවසේ ඉඳලා මම සමස්‌ත ලංකා ලිපිකරු සංගමයට බැඳුනා. පසුව ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සමස්‌ත ලංකා රජයේ ලිපිකරු සංගමයේ ලේකම් ධුරයටත් පත්වුණා. මවු සංගමයේ කටයුතුවලට සම්බන්ධ වුණා. පසුව සමස්‌ත ලංකා රජයේ ලිපිකරු සංගමයේ උප සභාපතිවරයකු ලෙසත් මා පත්වෙනවා. 70 විතර වන විට ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‌ෂය විසින් ලිපිකරු සංගමයේ බලයත් ගන්නවා.

එම්. වී. මෙන්ඩිස්‌ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් තමයි ලංකාවේ මුල්ම මැයි රැලිය පවත්වන්නේ. ඒ 1939 වර්ෂයේ දි. කොළඹ ප්‍රයිස්‌පාක්‌ පිට්‌ටනියේ ඒ මැයි රැලිය පවත්වන්නේ. ඒ මැයි රැලියට 15 දෙනෙක්‌ තමයි සහභාගිවෙලා තියෙන්නේ. ඊට පස්‌සේ එම්. වී. මෙන්ඩිස්‌ ඇතුළු වෘත්තිය සමිති නායකයන් එකතුවෙලා ලෝක යුද්ධයෙන් පසු හතලිස්‌ ගණන්වල විශාල මැයි රැලියක්‌ පවත්වලා තියෙනවා. 56 වර්ෂයේ දි බණ්‌ඩාරනායක මහත්තයා මැයි පළමුවැනිදා නිවාඩු දිනයක්‌ කළා. ඊට පසුව රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ විශාල පිරිසක්‌ මැයි දින රැලිවලට හා පෙලපාලිවලට සහභාගි වුණා. ඉස්‌සර ඕනැම වේලාවක කම්කරුවකු එළියට දමන්න පුළුවන් කමක්‌ තිබුණා. කම්කරු අයිතිවාසිකම් තිබුණේ නැහැ. නමුත් පසුව කම්කරු විනිශ්චය සභා පිහිටුවලා කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්‌ෂිත කළා.

සමස්‌ත ලංකා ලිපිකරු සංගමය මැයි දිනයට සහභාගි වුණේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය එක්‌ක. අවුරුදු උත්සව වගේ විවිධ අයුරින් හැම පිට්‌ටනියකම පාහේ ඒ කාලයේ මැයි දින රැලි පැවැත්වුණා. මැයි දිනය නිවාඩු දිනයක්‌ බවට පත්කිරීමත් එක්‌ක තමයි මේ සදහා රජයේ මැදිහත් වීම වුණේ. බණ්‌ඩාරනායක මහත්තයා නිවාඩු දිනයක්‌ කරන තුරු ධනපති පක්‌ෂ මැයි දිනය ගැන සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැහැ. එහෙත් අද වන විට මැයි දිනය තරගයට තියෙන උත්සවයක්‌ බවට පත්කරගෙන තියෙනවා. කම්කරුවන්ගේ බලපෑම කෙතරම්ද කිව්වොත් කම්කරුවන්ට විරුද්ධව සිටි ධනපති පක්‌ෂ හා ධනපතියන්ද දැන් මැයි දිනය සමරනවා.

ඇත්තටම ඒ කාලයේ මැයි දිනයට පෙර අපි නගරයේ කිහිප තැනක කැට ව්‍යාපාරයක්‌ පවත්ලා සල්ලි හොයා ගන්නවා. ටිකට්‌පතක්‌ ගහලත් මුදල් එකතු කරනවා. ඒ විදියට තමයි මැයි රැළියට යන්න මුදල් සොයාගත්තේ.

ඇත්තටම ලිපිකරුවෙකු විදියට තමයි ක්‍රියාකාරි ලෙස මා මුලින්ම මැයි දිනයට සහභාගි වුණේ. තරුණ වියේදිත් මැයි රැලිවලට ගිහින් තියෙනවා. පාසල් යන වියේ සිටම කොමියුනිස්‌ට්‌ පක්‌ෂය සමග එකතුවෙලා තමයි දේශපාලන කටයුතු කළේ. වාමාංශික දේශපාලන නැඹුරුවක්‌ තමයි අපට තිබුණේ. ඒ කාලයේ ධනපති ආණ්‌ඩුවට එරෙහිව තමයි අපි සටන් පාඨ කීවේ. එම්.වී. මෙන්ඩිස්‌ අපේ ප්‍රදේශයේ කෙනෙක්‌. වාමාංශික නැඹුරුවට එයත් හේතුවුණා.

යුද්ධ කාලයේ අප කීවේ දිනාගන්න බැහැ යුද්දේ, දිනලා වැඩක්‌ නැහැ යුද්දේ එහෙම කීවාට අපි යුද්ධය දිනුවා. ඒ සටන් පාඨය යටපත් කරමින් යුද්ධය දිනුවා. අපේ හැමදාම සටන් පාඨය වුණේ බඩු මිල, කම්කරුවන්ගේ අයිතිවාසිකම්.

70 කියු සටන් පාඨ විරුද්ධවාදින් අනික්‌ පැත්තටද යොදා ගත්තා. සීනි නැතිව තේ බොන්නම්, මිරිස්‌ නැතිව හොදි කන්නම් වැනි සටන්පාඨ කියමින් පෙලපාලි ගියා. අගමැතිනිය කියනවා නම් ඕනෑ දුකක්‌ විඳින්නම්. නමුත් අපේ පක්‌ෂය එදා මේ සටන්පාඨ කීවේ නැහැ.

අපි ජාතිවාදය ප්‍රතික්‌ෂේප කළා. උතුරේ හා දකුණේ සහෝදරවරු එක්‌වී සටන් කළ යුතුයි. අරගල කළ යුතුයි කියලා තමයි අපි කීවේ. දොස්‌තර් එස්‌.ඒ වික්‍රමසිංහ, පීටර් කෙනමන්, එම් වී. මෙන්ඩිස්‌ වැනි නායකයන් සමග මැයි දින පෙලපාලිවලට සහභාගිවෙලා තියෙනවා. ඡේ. ආර්. ජයවර්ධන මැයි දිනය තහනම් කළ අවස්‌ථාවේත් අපි ගාල්ලේ මැයි රැලියක්‌ පැවැත්වුවා. ඒ කාලයේ මම කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් අපේ පක්‌ෂ කාර්යාලය තිබුණේ ගාල්ල හැව්ලොක්‌ පාරේ. පොලිසියට මේක ආරංචිවේලා අපේ අය විසුරුවා හැරියා. පීටර් ජයසේකර, ජෝර්ඡ්Ê රත්නායක වැනි නායකයන් සමඟ පොලිස්‌ අණ නොතකා කලුවැල්ලේ සිට අපේ පක්‌ෂ කාර්යාලයට පෙළපාලියකින් ආවා. 150 ක්‌ විතර පෙළපාලියට සහභාගි වුණා.

ෂෙන් ගුණරත්න කියලා ප්‍රසිද්ධ නළුවෙක්‌ හිටියා. ඒ කාලයේ ඔහු අපේ පක්‌ෂයේ තරුණ බට කණ්‌ඩායමේ ඉදිරියෙන්ම ගියා. එයා තමයි කමාණ්‌ඩ් කළේ. ඒ කාලයේ අදට වඩා මැයි රැලියේ දී උද්යෝගිමත් ඉදිරිපත් වීමක්‌ තිබුණා. කාටවත් අපහාසවන අයුරින් සටන් පාඨ කීවේ නැහැ. අපි යන්නේ කොයි පාරේ මාක්‌ස්‌ ලෙනින් ගිය පාරේ. අපේ සටන පංති සටනයි. කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන තමයි කීවේ.

77 න් පසු ඒකාධිපති වියරුවට තමයි මැයි දින රැලිවලදි ලොකු බලපෑමක්‌ කළේ. පොලිසියේ ක්‍රියාකලාපය හා රජයේ අණපනත් ගැන අප්‍රසාදය පළ කරන්න මැයි දිනය යොදාගත්තා.

66 අවුරුද්දේ මම ඉඩම් අමාත්‍යාංශයේ තමයි වැඩ කළේ. එතකොට ඉඩම් ඇමති සී.පි. ද සිල්වා මහත්තයා. ඒ කාලයේ තරුණ වියේ හිටපු කෙල්ලන්ගේ කොල්ලන්ගේ මේසවල කවරයට දමලා තිබුණේ මල් පොකුරු. වගේ දේවල්. නමුත් මගේ මේසය මත තිබුණෙ දෑකැත්තයි මිටියයි සඳහන් ඡායාරූප. ඒ කාලයේ තිබුණා එක්‌දින වැඩ වර්ජනයක්‌. නමුත් අමාත්‍යාංශයේ අය වැඩවර්ජනය කරනවා අඩුයි. 66 ජනවාරි 08 අපි වැඩ වර්ජනය කළා. සී.පී. ද සිල්වා ඇමතිවරයා වැඩ වර්ජනය පැවති දින මේස ළගට ඇවිත් බලලා තියෙනවා. මගේ මේසය ළගට ඇවිත් බලලා මම වැඩවර්ජනයට එක්‌වූ නිසා මාව පසුදින ඉඩම් රෙජිස්‌ටාර් කාර්යාලයට මාරු කළා. ඒ කාලයේ ඇත්ත පත්තරය මම කන්තෝරුවට ගෙනි යනවා. නමුත් ඇතැම් අය පත්තරය බලන්නේ හංගාගෙන. වමේ අය මා ළඟට එනවා පත්තරය ඉල්ලාගෙන යන්න.

80 වර්ෂයේ පැවති වැඩ වර්ජනයට සහභාගි වුණා. ගාල්ලේ සියලු වෘත්තිය සමිතිවල වැඩ වර්ජනයේ කැදවුම්කරු වුණේ මම. දැන් නම් මැයි දිනවලට දේශපාලනඥයන් විසින් බස්‌ අරගෙන සෙනගපුරවාගෙන යනවා. නමුත් ඒ කාලයේ අපේ සේවාවේ ඉන්න අය මැයි දිනයට කලින් නම් ලියලා ලැයිස්‌තු ගහනවා. කලින් ඉඳලා මැයි දිනයට සූදානම් වෙනවා. මුල් කාලයේ දුම්රියෙන් තමයි මැයි දිනයට ගියේ. ඒ වෙනුවෙන්ම කැපවෙලා තමයි මැයි දිනයට ගියේ. දැන් මැයි දිනය ඇතමුන් ටුවර් එකක්‌ කරගෙන තියෙනවා.

බස්‌ රථවලට මගදි පහරදීම්ද වෙනවා. එක අවස්‌ථාවක වස්‌කඩුව හරියේ දි අපේ බස්‌ රථ කිහිපයකට පහර දුන්නා. බත්ගොට්‌ටෝ කියන කථාවත් ඒ කාලයේ ජනප්‍රිය කථාවක්‌. යු.එන්.පී අයට තමයි එහෙම කිවේ. දැන් වෘත්තිය සමිතිවලත් කෑම එක දෙනවා. ගමන් වියදම් දෙනවා. මුල් කාලයේ එහෙම වුණේ නැහැ. මැයි දිනයට ගියේ කෑවේ අතින් වියදම් කරගෙන.

70 ගණන්වල ශ්‍රී ලංගමයෙන් හැම පක්‌ෂයටම පාහේ බස්‌ රථ ලබා දුන්නා. ඒ කාලයේ එක්‌ අයකුගෙන් අය කළේ ශත 50 වගේ මුදලක්‌. පෙලපාලි යන විට එක එක දේශපාලනඥයන්ගේ නම් කියමින් එයාගේ බලවේගේ මෙයාගේ බලවේගේ කියලා කියනවා. මම නම් කවදාවත් ඒ වගේ සටන් පාඨ කියන්නේ නැහැ. මැයි දිනයේ දි අපේ හැඟීම් එළිපිට සටන්කාමි ලෙස ප්‍රදර්ශනය කරන්න අවස්‌ථාව ලැබෙනවා. එය අපට විශාල සතුටක්‌.

ආණ්‌ඩුවල අඩුපාඩු ගැන අපට හැමදාම සටන් පාඨ තිබුණා. කැස්‌ත්‍රොaගේ කෙලින් යන්න ඒ වගේ සටන්පාඨ කියනවා. 80 වැඩවර්ජනය අවස්‌ථාවේ වෘත්තිය සමිතිවල කැඳවුම්කරු මම. අද මැයි දිනයේ අරමුණ යටපත් වෙලා තියෙනවා. මැයි දිනය සැණකෙළියක්‌ වෙලා. මැයි දිනය වෙනත් සටන්පාඨවලට යට කරන්න දෙන්න බැහැ. කම්කරුවන්ගේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරාක්‌ෂා කරන එක තමයි අපේ බලාපොරොත්තුව.

53 හර්තාලය වන විට මගේ වයස අවුරුදු 13 යි. රත්ගම ගම්මැද්දගොඩදී පාරේ රොටි පිච්චුවා. වෘත්තිය සමිති නායකයකු වන අල්බැරදුර එල්මිස්‌ වෙඩි තියලා මැරුවා. මමත් ඒ කාලයේ තරුණයෙක්‌ හැටියට හර්තාලයට සම්බන්ධ වූ බැව් දෙනෙත්ති සහෝදරයා කීවේය.

ලලිත් චාමින්ද

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.