ජීවිතය එපා වෙලා වගේ දැනෙන විට මතුවන ලෙඩ රෝග

මට නම් දැන් ජීවිතය එපා වෙලා තියෙන්නේ... සමහරු නිතර එසේ පවසති. මෙලෙස පවසන පුද්ගලයන් සියලු දෙනාම වාගේ කිසියම් හෝ මානසික පීඩාවකට ලක්‌ව සිටිති.

එය කිසියම් රෝගයක්‌ නිසා දිගු කලක්‌ පීඩා විඳීම, ආර්ථක ගැටලුවලින් පීඩා විඳීම විවාහ දිවියේ ගැටලු මතුවීම, තමා නිරතවන වෘත්තියෙහි පවතින අතෘප්තිකර බව ආදී ලෙසින් සෞඛ්‍යමය,

සමාජමය සහ ආර්ථිකමය ගැටලු නිසා මතුව පැවතිය හැකිය.

මෙලෙස කිසියම් හෝ ගැටලුවක්‌ නිසා මානසිකව පීඩා විඳින විට මානසික ආතතිය ඇති වේ. මෙම මානසික ආතතිය දිගු කලක්‌ පැවැතීමට ඉඩහැරීම නිසා දරුණු මානසික හා කායික රෝග ඇතිකරවීමට හේතු වේ.

අධික මානසික ආතතිය හඳුනාගත හැකි

කායික ලක්‍ෂණ

නින්ද නොයැම හෝ නිදා ගැනීමේ රටාවේ වෙනස්‌කම් පැවතීම, බඩගින්න අඩු හෝ අධික ලෙස ආහාර ගැනීම, බඩරිදුම ආහාර නොදිරවීම, හිසරදය, අධි රුධිර පීඩනය, පපුවේ ගැස්‌ම හා වේදනාව, අධික ලෙස දහදිය දැමීම, අසාත්මිකතා ඇතිවීම, ලිංගික ආශාව නැතිවීම, මස්‌පිඬු වේදනාව, නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ඇතිවීම, හුස්‌ම ගැනීම වේගවත් වීම, පපුවේ තදගතිය, අධික වෙහෙස සහ සමේ රෝග මතුවීම වැනි කායික රෝග ලක්‍ෂණ මතු වේ.

අධික මානසික ආතතිය හඳුනාගත හැකි

මානසික ලක්‍ෂණ

අධික දුක, කනගාටුව, මානසික සැහැල්ලුව නැතිකම, මතකය දුර්වල වීම, අධික කෝපය, ආවේගශීලී හැසිරීම, අන් අය හා සුහද නොවීම, මත්පැන් දුම්වැටිවලට ඇබ්බැහි වීම, එදිනෙදා කටයුතු නිසි ලෙස සංවිධානය කරගත නොහැකි වීම, දැඩි මතවල සිටීම, යම් කටයුත්තක්‌ නිසි ලෙස අවසන් කරගත නොහැකි වීම ආදී මානසික ලක්‍ෂණ මතු වේ.

මෙම රෝග ලක්‍ෂණවලින් එකක්‌ හෝ දෙකක්‌ පැවතීම යනු එම තැනැත්තා අධික මානසික ආතතියෙන් පෙළීම නොවේ. නමුත් ඔවුන් තුළ යම් මානසික ආතතියක්‌ පවතී.


මානසික ආතතියෙන් මිදීම

මානසික ආතතිය හානිදායක වුවත් සෑම පුද්ගලයකුටම ඉන් ආඝාතය (Stroke) ඇතිකරන මොළයේ රුධිර නාළ අවහිර වීම හෝ පුපුරා යැම සිදු නොවේ. නමුත් මානසික ආතතිය නිසා එදිනෙදා සාමාන්‍ය ජීවන රටාව පවත්වාගෙන යැමට නොහැකි බවක්‌ හටගනී. එබැවින් තමා තුළ කිසියම් මානසික, කායික හෝ සමාජමය පීඩාවක්‌ මතුව ඇත්නම් එය සිතේ සිරකර ගෙන නොසිට විශ්වාසවන්ත අයකුට පැවසීම කළ යුතුය.

ඔබ දැනට සිටින තත්ත්වය ගැන නිසි පරිදි තේරුම් ගන්න. මුහුණදී ඇති ප්‍රශ්න ගැන පමණක්‌ සිතා වෙහෙස නොවන්න. විනෝදාස්‌වාදය ගෙන දෙන ගීත ඇසීම, චිත්‍රපට නැරඹීම, රූපවාහිනි ගුවන්විදුලි වැඩසටහන් වෙත යොමුවීම, පුවත්පත් සඟරා ආදිය කියවීමට යොමුවන්න.

තමාගේ ආගම කුමක්‌ වුවත් එහි ඇති වත්පිළිවෙත් ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතුව ඉටුකරන්න.

අන් අය සමග කටයුතු කිරීමේදී සීමා ඇතිකර ගන්න. අවශ්‍ය විටදී "නෑ, බෑ" කීමට ද පුරුදු වන්න. තමාගේ ශක්‌තීන් හැකියාවන් සහ දුර්වලතා පිළිබඳව අවබෝධය ලබා ගන්න. අනවශ්‍ය ලෙස වැඩ පටලවා ගන්න එපා. කළ හැකි දේ පමණක්‌ බාරගන්න. තමාට වෙනස්‌ කළ හැකි දේ පමණක්‌ නොව වෙනස්‌ කළ නොහැකි දේද ඇති බව පිළිගන්න.

මෙලෙස කටයුතු කිරීමෙන් මානසික ආතතිය නැතිකර ගත හැකිය. එහිදී තමාට කායික රෝගයක්‌ මතුව ඇත්නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යය.

රේණු ශිරෝමාලා කරුණාමුණි,
උපදේශන නිලධාරි,
ආඝාත ඒකකය, ජාතික රෝහල.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.