ජීවිතයෙන් විශ්‍රාම යැමට පෙර අපේ විශ්‍රාම වැටුප දෙන්න

විශ්‍රාම වැටුප යනු ජීවිතයේ හොඳම කාලයේ කළ සේවාවට බැරිවන කාලයේ යෙහෙන් කල් ගෙවන්නට රජයෙන් ලබා දෙන දීමනාවකි. විශ්‍රාම වැටුප උදෙසා ම රාජ්‍ය සේවයට බැඳෙන්නට වෙර දරන වත්මන් මිනිසුන් අතරේ, රජයට සේවය කොට විශ්‍රාම වැටුප අහිමිව කාලාන්තරයක්‌ දුක්‌ විඳි පිරිසක්‌ මෙරට වෙසෙන්නේය.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමිවූවන්ගේ සංගමය නමින් සංගමයක්‌ ද පිහිටුවා ගත් ඔවුහු මේ වන විට වයස අවුරුදු හැත්තෑවක්‌ අසූවක්‌ පසුකරමින් සිටින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසි පිරිසකි. ඇතැමුන් මිය පරලොව ද ගොස්‌ ඇත්තේය. එහෙත් ඔවුහු තවදුරටත් සිය විශ්‍රාම වැටුප ඉල්ලමින් රජයට ඉල්ලීම් කරන්නේ තමන් වෙහෙස වී කළ සේවයට ඇගයීමක්‌ කර දෙන ලෙසය. යන්ත්‍ර සේවිකාවන් වෑද්දුම්කරුවන් කැඳ යෙදවුම්කරුවන් කම්කරුවන් මුරකරුවන් සහ ස්‌ථානභාර නිලධාරීන් ලෙස රජයේ බලවේග පේෂකර්මාන්ත ව්‍යාපාරය වෙත වසර 1970 දී ඔවුහු සේවයට එක්‌ව ඇත. එකල මෙම පිරිසට රාජ්‍ය සේවක වරප්‍රසාද වන දුම්රිය බලපත්‍ර, වෛද්‍ය බලපත්‍ර, ප්‍රසූත නිවාඩු, සහිතව ලබා දී තිබිණි. පොල්ගොල්ල, මාතලේ, කුරුණෑගල, කළුතර, බණ්‌ඩාරවෙල, කුරුවිට, නුවරඑළිය, ලේවැල්ල, කෑගල්ල, නාත්තණ්‌ඩිය, අනුරාධපුරය, ගාල්ල යන ප්‍රදේශවල බලවේග පේෂකර්ම මධ්‍යස්‌ථාන පිහිටුවා තිබිණි. එම මධ්‍යස්‌ථානයන්හි සේවය කළ සේවක පිරිස දෙදහස්‌ පන්සියය ඉක්‌මවා සිටියහ.

එක්‌ යන්ත්‍රයකින් දිනකට යාර තිස්‌පහක්‌ යන අවමය වියන්නට විය. ජනතාව අතර හොඳම රෙදි යන නම රැකගත් මේ පිරිස අඟල් 64 පළල තිර රෙදි දොර රෙදි අමු රෙදි බතික්‌ සරොම් ආදිය එදා වියනු ලැබූයේ, රාජ්‍ය සේවක නිල ඇඳුම් සඳහාය. ආරෝග්‍ය ශාලාවල හිරගෙවල්වල සෞඛ්‍ය සේවාවන්ට අදාළ වෙනත් නිළ ඇඳුම්වලට රෙදි සපයා ඇත්තේ ද සෑම රෝහලකම ඇඳ ඇතිරිලි ශල්‍යාගාර රෙදිපිළි සියල්ල සපයා ඇත්තේ, මෙම බලවේග පෙහෙකම්හල් ආශ්‍රිතවය.

ඒ කවරක්‌ කෙසේ වුවද, දේශීය කර්මාන්ත නඟාසිටුවීමේ අරමුණ ඇතිව 1956 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රමුඛස්‌ථානයෙනි මෙම පේෂකර්ම බලවේගයන්ත්‍ර ක්‍රියාකරන්නියන් ඇතුළු සෙසු පිරිස්‌ රාජ්‍ය සේවයේ පිහිටුවා ගනු ලැබ ඇත්තේ. මොවුන්ගේ සේවයට වසර දහසක්‌ පිරෙන තැන සේවය නිම කොට පේෂකර්මාන්ත ආයතන පෞද්ගලික ආයතන වෙත පැවරීමට රජය කටයුතු කර ඇත. ඒ ඔස්‌සේය මෙම සේවකයන්ගේ ගැටලුව උද්ගතව ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ, රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමි වූවන්ගේ සංගමයේ සභාපති එච්. එම් තිලකරත්න මහතාය.

වසර දහයක්‌ පුරා සේවය කළ නිසයි මේ විදිහට අහිමි වුණ විශ්‍රාම වැටුප ඉල්ලා සිටින්නේ. මොකද අපට මහා ලොකු සල්ලි භාගේ නෑ. එදා ජීවත් වෙන්න පුරුදු වුණේ, රජයේ වැටුපෙන්. අනිත් කාරණාව අපට බලාපොරොත්තු දීලා තිබුණා, අපට හිමි විශ්‍රාම වැටුප ලබා දෙනවාය කියලා. රජයේ බලවේග පේෂකර්මාන්ත ව්‍යාපාර දොළහක්‌ රට පුරා ක්‍රියාත්මක වුණා. ඒ සියල්ලම පෞද්ගලික අංශ වෙත පැවරුවා. එකවර නෙවෙයි වරින් වර. කුරුණෑගල සහ කෑගල්ල පේෂකර්මාන්ත හයිබ්‍රයිට්‌ ආයතනයටත්, ලේවැල්ල පේෂකර්මය ලක්‌විව් ආයතනයටත්, පොල්ගොල්ල පේෂකර්මය වෙල්වෝවන් ආයතනයටත්, නාත්තණ්‌ඩිය කළුතර පේෂකර්මාන්ත ප්‍රිම්රෝස්‌ ආයතනයටත්, කුරුවිට, නුවරඑළිය බණ්‌ඩාරවෙල අනුරාධපුර, මාතලේ, ගාල්ල තවත් පුද්ගලික ආයතන කිහිපයකටත් විකුණලා දැම්මා. ඒ වන විට අපි සේවකයෝ දෙදහස්‌ පන්සියයකට අධික පිරිසක්‌ උදේ 6 හවස 2, හවස 2.10, රෑ 10 උදේ 6, කියන වැඩමුරවලට අනුගතව සේවය කළා. ඒ දවස්‌වල අපිට වයස 30-35 - 40 වගේ ගණන්වල හිටියේ. අපි සේවයට බැඳුනේ රුපියල් 110 වැටුපට. එතකොට රුපියල් 6 ක්‌ අර්ථසාධකයටත් කපනවා. අපේ වැටුප 1975 දී විතර රුපියල් 400 - 800 අතර ගණනක රැඳුණේ. අතිකාල දීමනාව පැයට රුපියල් 18 යි. විවාහ මංගල්‍යය කිට්‌ටු වෙනකොට ගෙවල් හදන කොට කට්‌ටිය අතිකාල කළා. බොහොම සාධාරණයට අපි හැමෝම සේවය කළා. කිසිම කෙනෙක්‌ නූල් පොටක්‌ වත් හොරකම් කළේ නෑ.

මෙතන තියෙන තවත් නොගැලපෙන සිදුවීම තමයි අනුරාධපුර සහ ගාල්ල පේෂකර්මවල වැඩ කළ සේවකයන්ට විශ්‍රාම වැටුප ලබා දීම. ඒ අයට ලැබුණාට අසතුටකින්වත් ඊර්ෂියාවෙන්වත් කියනවා නෙවෙයි මෙම මුදල අපි කාටත් පොදුවේ ලැබෙන්න ඕනැ. අපි අතරේ අදටත් ඉන්නවා සල්ලි නැතුව විවාහ වෙන්න බැරි වුණ අය අපි අතරේ අදටත් ඉන්නවා. ඊළඟට ඒ අයට කරන්න වෙන රස්‌සාවක්‌ නැතුව මොනතරම් පීඩාවට පත්වුණාද..?

මේවා ගැන කියලා ඉල්ලීම් කරලා එකම දවසේ ටෙලිග්රෑම් දාහක්‌ ගහලා කෑ ගහලා ඉන්නේ අපි. ඒ විතරක්‌ නෙවෙයි, ජනාධිපතිතුමාට අගමැතිතුමාට, ඇමතිවරුන්ට මේ ගැන කියලා ලිපි දැම්මා. ඒවට අපට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවා පිළිතුරු ආවා. නමුත් තවම නිසි පිළිතුර ලැබුණේ නැහැ. අපට දැන් වයසයි. මහන්සි වෙන්න අමාරුයි. ඒත් අපේ ඉල්ලීම් වෙනුවෙන් අපි සටනක්‌ කරන්න ඕනෑ. මොකද අපි අනුන්ගෙන් කඩා වඩාගෙන ඉතුරු කරලා නැහැ. ඉන්න ඩිංග කාලේ හරි සතුටින් ඉඳලා මැරෙන්න ඕනිනේ. අපේ ඉල්ලීමෙත් තියෙන්නේ අපි ජීවත්වන තුරාවට පමණක්‌ අපට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන්න කියලා තමයි.

රාජ්‍ය සේවකයා යනු රජුගේ දැක්‌ම මහජනතාව වෙතට ගෙන යන සේවාදායකයාය. ඔහු නිරන්තරයෙන් ම ජනතා සේවය වෙනුවෙන් කැපව සිටිය යුතුවෙයි. රජයේ සේවය වෙනුවෙන් බැඳෙන්නට තරුණ පිරිස්‌ පොරබදින්නේ ඒ නිසා විය යුතුය. එහෙත් 1980 දී පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ බලවේග පෙහෙකම්හලක දිවි හිමියෙන් සේවය කළ රජයේ සේවක පිරිසට විශ්‍රාම වැටුප් නොගෙවා සිදුවූ අගතිය දුටුවේ නම්, රාජ්‍ය සේවයට බැඳෙනවා විනා එදෙසට පාතබන්නට වත් සිතන්නේ නැත. මන්ද රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව අද බාල පරම්පරාවෙන් ගරු බුහුමන් ලබමින් සිටිය යුතු පිරිසක්‌ වන මොවුහු තවමත් තමන්ගේ ඉල්ලීම් ඉල්ලා මහ මඟ ඇවිදින නිසාය. තමන් එදා කළ සේවය වෙනුවෙන් වෙන්ව ඇති විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි ඉල්ලමින් මෙම පිරිස මෙම විසි හයවැනිදා හෙවත් බදාදා ද යළි මහ මඟ සරන්නෝය.

ඔවුහු අද වන විට ඉල්ලා සිටින්නේ, වසර අසූවක්‌ ආයු විඳ ඇති අපට ජීවත්වන ඉතිරි කාලයට පමණක්‌ අපට හිමි විශ්‍රාම වැටුප ලබා දීමට කාරුණික වන්න කියාය. මෙම ඉල්ලීම ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට ජනාධිපති මැඳුර දක්‌වා පා ගමනින් යන මෙලක ජ්‍යෙෂ්ඨ පුරවැසි පිරිසට දැන් පිහිටට ඉන්නේ වත්මන් ජනපති අගමැති පමණකි.

සමන්තී වීරසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.